පන්සියයකට වඩා රූප හඳුනා ලෝකයම දිනූ අවුරුදු එකහමාරේ දියණිය අයිරින්

මාර්තු 14, 2022

 

“මගේ දුවට අවුරුද්දක් වෙනකොට මම එයාට සත්තු හඳුනා ගන්න කියා දුන්නා. එයා ඒකට පුදුම ආසාවක් තිබුණේ. දුව උදේ නැඟිට්ට ගමන් ඒ සත්තු ගැන තමයි අහන්නේ. ලස්සනට පාට කරපු චිත්‍රවලට දුව ආසා වුණේ හිතාගන්න බැරි විදිහට. දවසක් දුව අයියාගේ පුතත් එක්ක සෙල්ලම් කර කර හිටියා.

මම එයාට නිකමට කිව්වා දුවේ මට පරවියාගේ පිංතූරය දෙන්න කියලා... එයා කියපු ගමන් හොයලා දුන්නා. ඒ වගේ සත්තු ඉන්න පිංතූර හොයලා දෙන්න එයාට කිව්ව ගමන් එයා පුදුම ඉක්මණින් හොයලා දුන්නේ හිතා ගන්න බැරි විදිහට. එයාට දැන් සත්තු සීයක් විතර කියපු ගමන් පිංතූරෙන් හඳුනා ගන්න පුළුවන්.“

මේ පුදුමාකාර හැකියාව ගැන අපට අසන්නට ලැබෙන්නේ අනුරාධපුරයේ, විජිතපුර, අලහප්පෙරුමාගම දැරිවියකගෙනි. අයිරින් කස්මීර් නම් වූ ඇයගේ වයස අවුරුද්දයි මාස හයකි.

යාන්තමින් බහ තෝරන අයිරින් ඇත්තේ විස්මිත හැකියාවකි. විවිධ පාට වර්ග, මල් වර්ග, සත්තු වර්ග, එළවළු, පලතුරු පමණක් නොව ලෝකයේ විවිධ රටවල නායකයන්ගේ ඡායාරූප රථ වාහන පවා පෙන්වූ සැණින් ඇයට හඳුනා ගැනීමේ හැකියාවක් පවතී. මේ ආකාරයෙන් ඇයට විවිධ රූප 500 කට වැඩි ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකිවීම ගැන අපට පැවසුවේ අයිරින් දියණියගේ ආදරණීය මව මුනාසිරා බේගම් මහත්මියයි. පෞද්ගලික පාසලක ගුරුවරියක ලෙසින් සේවය කළ ඇය එම වෘත්තියෙන් ඉවත්වී තම දියණිය වෙනුවෙන්ම කැපවී සිටින්නේ තම එකම දියණියට ඇති ලෙන්ගතු ආදරය නිසාමය. අයිරින් දියණියගේ පියා වන මොහොමඩ් ෆස්මීර් මහතා ජපානයේ රැකියාවක් කරන අතර ඔහු ද තම දියණියට දක්වන්නේ අපරිමිත ආදරයකි.මේ ආදරය පිරි සෙනෙහෙවන්ත කැදැල්ලේ පුංචි දියණියගේ හැකියාව අපට සිත් ඇදහිය නොහැකි තරම්ය. පෙර ආත්මයක සිට පැවත එන හැකියාවක් ඇයට ඇතැයි සිතෙන තරමටම ඇය දක්ෂය. ඒ හැකියාව බේගම් මහත්මිය දැඩි ආයාසයෙන් කට පාඩමින් හුරු කළ එකක් ද නොවේ. නැතිනම් දිනපතා හුරු කිරීමෙන් දරුවාගේ මනසට කාවැද්දූ හැකියාවක් නොවන බවට සාක්ෂි බොහෝය. මේ ඇය සහජයෙන් ලද කුසලතාවකි. ඒ කුසලතාවට ජාත්‍යන්තර සම්මානයක් ද හිමි වී ඇත්තේ බේගම් මහත්මිය ඉදිරිපත් කළ වීඩියෝ දර්ශනයක් අධීක්ෂණය කිරීමෙන් ලබා දුන් තරග තීරණයකට අනුවය. ඒ ගැන ද බේගම් මහත්මිය අපට සඳහන් කළේ මහත් අභිමානයෙනි.

“මම Internet එකේ දැක්කා 'World Book Of records' ගැන. ඒ තරග මාලාවේ ළමා අංශයේ තරගයට දුවගේ vedio Clip එකක් හදලා මම ලින්ක් එක යැව්වා. ඒ තරගයේදී මිනිත්තු 7යි තත්පර 06 ක කාලයකින් දුව කුරුල්ලෝ වර්ග 73ක් හඳුනාගත්තා. මේ තරගය පවත්වන්නේ අමෙරිකාව, ඉන්දියාව, ස්විස්ටර්ලන්තය කියන රටවල් ඒකාබද්ධව. තරගය පැවැත්වුණේ ගිය වසරේ නොවැම්බර් මාසයේදී. ඇත්තටම මට හිතා ගන්නටත් බැහැ. අපේ දුව ඒ තරගයෙන් ජයග්‍රහණය කිරීම ගැන.“

අවුරුදු 1 1 /2 දැරියක් තම බහතෝරන වියේදීම දක්වන මේ හැකියාව ලබා ඇත්තේ මවගෙන ලැබු ආභාෂයෙනි.

ඉතා කුඩා වයසේදීම දරුවාට පාට, හැඩතල හා වර්ණ හඳුනා ගැනීම පිළිබඳ හුරු කිරීම මව්වරුන් මහත් වෙහෙසක් ගනියි. එසේ හුරු කරන දරුවන්ට එලෙසින් හඳුනා ගැනීමට හැකි වන්නේ වර්ණ කිහිපයක් හෝ හැඩතල කිහිපයකි. එසේම සතුන්ගේ නම් වශයෙන් හඳුනාගැනීමට මෙවැනි වයසක දී හැකිවීම ගැන අසා නොතිබෙයි. මේ අසාමන්‍ය වූ හෝ කුසලතාවය හිමි අයිරින් දියණිය මෙවැනි කුඩා වයසකදී මෙවැනි කුසලතාවක් පෙන්වයි නම් පාසල් වයස පැමිණෙන විට කෙතරම් දක්ෂයකු වේ දැයි අපට සිතා ගන්නටත් බැරි තරම්ය.