ලංකාවේ අම්මා තියපු නම ස්වීඩ්න් අම්මා වෙනස් කරලා නැහැ

මැතිල්ඩා කාර්ල්සන්
ජනවාරි 31, 2022

 

මැතිල්ඩා ලංකාවට ඇවිත් තරුණීට කියූ කතාව

 

ඔලිම්පික් උළෙලින් පසුව විවාහ උත්සවයක් ගන්න හිටියත් බැරිවුණා

 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් දක්වා ගිය ගමන සිහිනයක් වගේ

 මම මගේ ස්වීඩ්න් අම්මාට හරිම ආදරෙයි

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලාංකිකයන් වන අපට සුවිශේෂි අවස්ථාවක් වූවා. ඒ ප්‍රථම වතාවට ඔලිම්පික් ඉතිහාසයේ අශ්වාරෝහක තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩිකාවකට සහභාගිවන්නට වරම් ලැබුණු නිසා.

කේවල තරග ඉසව්වක් ලෙස ‘ෂෝ ජම්පින්‘ සඳහා ඇය සහභාගි වනවා. මැතිල්ඩා කාර්ල්සන් නම් වූ ඇය යන්නේ නිකම්ම නොවේ. කෝටි 142ක පමණ වටිනාකමින් යුතු අශ්වයෙක් සමඟ. එහෙත් චොපින්වා නොසිතූ මොහොතක කඩුළු දෙකකින් පැනීම මඟහරිනවා. බලාපොරොත්තු දල්වා සිටි ප්‍රේක්ෂකයින්ගේ ඒ බලාපොරොත්තු සුනුවිසුණු වෙනවා.

මැතිල්ඩා කාර්ල්සන් නාමය එදා පටන් ශ්‍රී ලාංකේය හදවත් තුළ ජීවත්වනවා.

කළු වෙළඹ යන විරුදාවලිය ලත් සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කමක් ගෙන එමින් ශ්‍රී ලාංකේය නාමය ලොව බබළවද්දී අශ්වයෙක් පිට නැඟ අශ්වාරෝහක තරඟ ඉසව්ව නියෝජනය කළ මැතිල්ඩා පිළිබඳ කවුරුත් කතා බහ කරනවා.

උපන් බිම නොහොත් ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන්නට ඇය පැමිණි බව ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් ඔස්සේ අපට දැන ගන්නට ලැබෙනවා. ඒ අනුව ‘තරුණී‘ සමඟින් සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙන්නේ ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමයේ සභාපති සුරංජිත් ප්‍රේමදාස මහතා. අපි ඇයව සජීවීව මුණගැසෙන්නේ නුගේගොඩ පිහිටි ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමයේදී.

ඉතාම කාර්යබහුල මොහොතක දී වුවත් ඇය නිහතමානීව මා සමඟ සුහද පිළිසඳරක යෙදෙන්නට, හිරන්තගේ කැමරා කාචයට සුන්දර දසුන් පෙළක් එක් කරදෙන්නට වූවා.

ඔබේ සම්පූර්ණ නම.

මැතිල්ඩා තනුජා කාර්සන්. මගෙ ශ්‍රී ලාංකේය අම්මා තියපු මැද නම (Middle Name) තනුජා. ස්වීඩ්න් ජාතික අම්මා ඒ නම වෙනස් කරලා නැහැ.

දැන් ඔබට වයස.

අවුරුදු 37ක්.

ඔබේ උස, බර, ආගම.... මේ දේවලුත් දැන ගන්න කැමැතියි.

උස - සෙන්ටිමීටර් 155 ක්

බර - කිලෝ ග්‍රැම් 42 ක්

ආගම - කතෝලික

උපන් දිනය - සැප්තැම්බර් 27 දා

* ස්වීඩ්න් ජාතික මාපියන්ගේ භාරකාරත්වයට පත්වන්නේ - වයස මාස 3දී.

 ශ්‍රී ලාංකේය මව ඔබ හඳුනනවාද? එය දැන ගැනීමට කැමැතෙන් ද ඉන්නේ.

මම තවම ඇයව හඳුනන්නේ නැහැ. එය දැන ගැනීමට ඉතා ඕනෑමක් තියෙනවා. ඒත් මගේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඒ සඳහා ඉඩක් ලැබුණේ නැහැ.

දරුකමට හදාගත් දරුවකු බව අවබෝධ වෙද්දී දැනුණේ මොන වගේ හැඟීමක් ද?

මගේ සමේ පැහැයයි ඒ අයගේ පැහැයයි සමඟ ගනිද්දි ඒ බව කොහොමවත් සඟවන්න බැහැ. යන්තම් දැනුම් තේරුම් ඇති වයසට පා තබද්දීම මම එය අවබෝධ කරගත්තා.

නමුත් ඒ දෙය මට කොහෙත්ම ආගන්තුක වුණේ නැහැ. මගේ වයසේම වගේ තවත් ශ්‍රී ලාංකේය දරු දැරියෝ (භාරකාරත්වයට පත්) කිහිප දෙනෙක්ම අපි ජීවත්වුණු ප්‍රදේශය අවටම හිටියා.

ඔබේ ශ්‍රී ලාංකේය මවට යම් යම් ආර්ථික අපහසුතා හේතුවෙන් ඇතැම්විට ස්වීඩන් ජාතික දෙමාපියන්ගේ භාරකාරත්වයට පත් කළා වෙන්න පුළුවන්. ඒත් අද ඔබ ඉතාම සුඛෝපභෝගි ජීවිතයක් ගතකරන තැනැත්තියක්.

අම්මා කෙනෙක් දරුවෙක්ව දෙන්නේ මොනතරම් අමාරුවෙන් ද කියලා මට දැන් අවබෝධ වෙනවා.

කොහොම නමුත් මම හරිම වාසනාවන්තයි. මාව එකතුවෙන්නේ හරිම ආදරණීය පවුලකට. ඒ අය මාව ආදරයෙන් රැකබලා ගත්තා. මගේ ස්වීඩ්න් අම්මා මා එක්කමයි. මේ නිසාම මගේ ජීවිතයට සුවිශේෂි දේවල් ගණනාවක් එක්කර ගන්න ලැබුණා. මම මගේ ස්වීඩ්න් අම්මට හරිම ආදරෙයි.

ස්වීඩ්න් ජාතික මාපියන්ගේ විස්තර දැන ගන්න කැමැතියි.

මගේ අම්මා Mona Lis Andersson. එයා නිදහස් මාධ්‍යවේදිනියක්. තාත්තා Ake Karlsson. ඔහු ඒ කාලේ Volvo සමාගමේ සේවය කළේ. අද ඔහු ජීවතුන් අතර නැහැ.

ඔබේ සොයුරු සොයුරියන්

මට අයියා කෙනෙක් ඉන්නවා. ඔහුත් මං වගේම ශ්‍රී ලංකාවෙන් රැගෙන ගොස් තියෙන්නේ. මට වඩා අවුරුදු 6ක් වැඩිමල්. ඔහු නමින් යාකොබ්. යුද හමුදා සේවයේ නියුතුව සිටින ඔහු ස්වීඩනයේමයි ඉන්නේ. දැන් ඔහු විවාහකයි. පුංචි දරුවෝ දෙන්නෙක් ම ඉන්නවා.

මගේ නංගි ස්වීඩ්න් ජාතික යුවළකගෙන් අම්මා අරන් තියෙන්නේ. නිල් ඇස් තියෙන ඇය ගොඩක් උසයි.

ඔබේ ළමා කාලය ගෙවුණේ කොහොමද?

ශ්‍රී ලංකාවේ ළමයි ක්‍රිකට් සෙල්ලම් කරනවා වගේ එහේ ළමයි බොහෝ දෙනෙක් පුංචි කාලේ අශ්වයන් පදිනවා. එතැන මිතුරු මිතුරියන් හම්බවෙන හරිම ප්‍රියජනක තැනක්. මම දිගටම අශ්වයන් පැද්දා. මගේ මව්පියෝ හොඳ සහයෝගයක් ලබලා දුන්නා. මම හොඳට පාසලේ අධ්‍යාපන කටයුතුත් කළා.

දැන් ඔබේ පදිංචිය ජර්මනියේ. කොහොමද ඒ ගමන සිදුවුණේ?

මම විද්‍යා විෂයයන් හැදෑරුවේ. ස්වීඩ්නයේ අධ්‍යාපනය යහපත් වුණත් හොඳම අශ්වයෝ හිටියේ ජර්මනියේ. ජර්මනිය කරා එන්නේ ඒ අනුව.

ජර්මනියේ දි ඔබට හමුවන ඔබේ සහකරු පිළිබඳත් කතා කරමු.

ලොව මිල අධිකම අශ්වයන් අභිජනනය කිරීමේ ව්‍යාපාරයක් ඔහු සතුයි. අපි විවාහ ගිවිසගෙනයි සිටින්නේ. ඔලිම්පික්වලින් පසුව විවාහ උත්සවයක් ගැනීමට සිටියත් එය කරගන්න බැරි වුණා. ඉතාම ළඟදී දිනයක එයත් සිදුවේවි.

ඔලිම්පික් බලා ගිය චොපින්-වා ඇතුළු ඔබේ අශ්වයන් පිළිබඳ දැනගන්නත් කැමැතියි.

ඔහු අපේ අශ්ව ගාලක ඉපදෙන අයුරු පවා මම බලා ගෙන සිටියා.

එදා පටන් ඔහුත් සමඟ ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර තරග කිහිපයකටම සහභාගි වූවා. ඔහු වැනි අශ්වයෙක් මට කිසිදා ලැබෙන්නෙ නැහැ. තවත් මිල අධික අසුන් කිහිප දෙනකුම මෙහි සිටිනවා.

ඔබ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජපානයේ පැවැති 2020 ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වෙනවා. ශ්‍රී ලාංකේය ධජය රැගෙන පිටියට පිවිසෙනවා. ප්‍රේක්ෂකයින් ඔබ කෙරෙහි යම් බලාපොරොත්තුවක් තබා ගන්නවා. එහෙත් නොසිතූ මොහොතක මූලික තරගාවලියෙන් ඔබට ඉවත් වන්නට සිදුවෙනවා.

ඇත්තටම මම පරාජය වූවා යැයි හිතන්නේ නැහැ. කුඩා කාලේ ඉඳන් ම මම ජවසම්පන්නයි. එහෙම ලෙහෙසියෙන් කඩා වැටෙන්නේ නැහැ. ඉවසීම හරිම වැදගත්. ඉවසීමෙන්මයි මම මගේ ගමන යන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් දක්වා ගිය ගමන සිහිනයක් වගේ. බාධක වැටකඩොලු මතින් ගිය ගමනක්. මම පසුබසින්නේ නැහැ. ඉදිරියේදී ආසියානු ක්‍රීඩා උළෙල, ඊළඟට ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරග කිහිපයකට ම සහභාගි වීමේ බලාපොරොත්තුවෙනුයි ඉන්නේ.

ඔබ අසුරුවෙක් නොවුණා නම්.

මොහොතකටවත් මට ඒ ගැන හිතන්න බැහැ. මම විවිධ කෑමවර්ග කන්න ආසයි. අත්හදා බලන්නත් එක්ක විවිධ කෑම වර්ග කනවා.

නිරූපිකාවක් ලෙසටත් අපි ඔබව දකිනවා.

මම නිරූපිකාවක් නෙවෙයි. මට අනුග්‍රහය ලබාදෙන ආයතනවල දැන්වීම් ප්‍රචාරණය සඳහා සහභාගිවන අවස්ථා තියෙනවා.

ඔබේ ජීවිතයේ අමතක නොවෙන සිදුවීම.

2020 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා අවස්ථාව ලැබුණු බව මම දැන ගත්තේ 2019 දෙසැම්බර් 31 දා. එදා තමයි මගේ ජීවිතයේ අමතක නොවෙන දවස.

ඔබට භාෂා කීයක් කතා කරන්න පුළුවන්ද?

ස්වීඩ්න්, ඉංග්‍රිසි, ජර්මන්, ස්පාඤ්ඤ, නෝර්වීජියන් යන භාෂාවන්.

රටවල් කීයක පමණ සංචාරය කොට තියෙනවාද?

රටවල් 50කට විතර. ඒ අතරින් මගේ උපන් බිම ශ්‍රී ලංකාවේ සංචාරයට හරිම කැමතියි. මහනුවර ඉපදුණු මට ඒ සුන්දරත්වයට හරිම කැමතියි. මුලින්ම මම ශ්‍රී ලංකාවට ආවේ 2017 දී.

මෙක්සිකෝව, රෝමය වගේ රටවලටත් කැමතියි.

ශ්‍රී ලාංකේය මව් භාෂාව සිංහල. ඔබ දන්නා සිංහල වචන තිබේද?

‘ස්තූතියි‘ කියන්න මම දන්නවා.

ඔබ සමාජ මාධ්‍ය ජාලා හොඳින්ම භාවිත කරන්නියක් නේද?

ස්වීඩ්නය, ජර්මනිය, ශ්‍රී ලංකාව කියන රටවල් අතර මට නිතර ගනුදෙනු කරන්න වෙනවා. තවත් රටවල් තිබෙනවා. ලෝකයේ ඉන්න සෑම කෙනෙක් ම එකම මොහොතකදි මුණ ගැසෙන්න සමාජ මාධ්‍යවලට පුළුවන්. ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක් අතරේ මම නිතර සැරිසරනවා.

ඔබේ ජීවිතයේ ආදර්ශමත් චරිතයක් සිටියි ද?

ස්වීඩ්න් ජාතික අම්මා තමයි මගේ Role Model එක. ඇය නොවන්නට මා වැනි තැනැත්තියක බිහි නොවේවි.

යාල උද්‍යානයේ අසිරිය ඇතුළු කොළඹ හා දකුණේ පිහිටි සුන්දර ස්ථාන දැකබලා ගත් ඇය සතියක පමණ කාලයකට පසු නැවත ස්වීඩ්නය බලා පිටත්ව ගියා.

මේ ලිපිය කියවන මොහොත වනවිටත් ඇය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිවර් නගරයේ පෙබරවාරි 7 සිට 13 දක්වා පැවැත්වෙන අශ්වාරෝහක තරග මාලාවක් සඳහා සහභාගිවීමට සූදානමින් සිටියි. එහිදී 1* Cera va, 2** Apollonaia, 2** Chopin va. CSIYH 1 Diamant de operette va, CSIYH 1 Jade va, CSIYH 1 Forino යන අශ්වයින් සමඟින් තරග ඉසව් කිහිපයකටම සහභාගි වේවි.

 

 

ඡායා - හිරන්ත විතානගේ

 

විශේෂ ස්තූතිය - ශ්‍රී ලංකා අශ්වාරෝහක සංගමයේ සභාපති සුරංජිත් ප්‍රේමදාස

මහතාට