වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නිර්මාණ කියන්නෙම අත්දැකීම්
මාධ්‍යවේදිනියක සහ ලේඛිකාවක වන සුරේකා නිල්මිණි ඉලංකෝන් විසින් රචිත අලුත්ම කෘතිය පෙම් දියවර මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව සිලිකා ප්රකාශනයක් ලෙස නිකුත් විය.
දශක දෙකක අත්දැකීම් සහිත මාධ්‍යවේදිනියක වන සුරේකා නිල්මිණි ඉලංකෝන් 2020 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උලෙළේදී හොඳම විශේෂාංග රචකයාට හිමි සම්මානයෙන් සහ 2021 ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මාන උලෙළේදී හොඳම සෞඛ්‍ය රචකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය. 2024 ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී මුද්‍රිත මාධ්‍ය සිංහල අංශයේ රන් සම්මානය ද දිනාගනු ලැබූ ඇයගේ අලුත්ම නවකතාව සහ ලේඛන දිවිය පිළිබඳ කළ කෙටි පිළිසඳරකි මේ.
පෙම් දියවර ඔබේ කී වැනි කෘතියද?
මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව මුද්‍රිත මාධ්‍යයෙන් දොරට වඩින පෙම් දියවර කෘතිය මගේ 18 වැනි නවකතාවයි. මේ වන විට මම නවකතා 20ක් රචනා කර තිබෙනවා. 2003 වසරේ හිරුනි යොවුන් පුවත්පතට කඳුළු වස්සානය නවකතාව රචනා කරමින් මම නවකතාකරණයට පිවිසියා. නමුත් පළමුවරට මගේ නවකතාවක් මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් වන්නේ 2013 වසරේදී. ඒ, ‘මුතුකුමාරි නොවේ‘ මා නවකතාව. එතැන් සිට 2024 දක්වා කාලය තුළ මවිසින් නවකතා 18ක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. සඳින් සඳට, සිලූ, සායම් කිරිල්ලි, රිදුණු පියාපත්, සසල මන්දිර, වීදුරු පවුරු, තරු මැදියම, සංසාර ආදරී, පායා, සරස වසන්තය, සුළං සීනු, හිත් ඇහිදින හිත්, අස්ත බන්ධන, ඉසිදාසි, කුරවි සහ දිය සිත්තම් මවිසින් රචිත සෙසු නවකතා.
පෙම් දියවර ලිවීමෙන් ඔබ සමාජයට කියන්න හැදුවෙ කුමක්ද?
පෙම් දියවර තවත් එක් ආදර කතාවක් ලෙස බැලූ බැල්මට හැඟෙන්න පුළුවන්. නමුත් ඒ තුළින් තරමක් ගැඹුරින් ආදරය, විවාහය සහ ජීවිතය ස්පර්ශ කිරීමට මම උත්සාහ කළා. විවාහක යුවළක් සහ තෙවැනි පාර්ශ්වයක් අතර ඇතිවන ඝට්ටනයක් වටා මෙම නවකතාව ගෙතී තිබෙනවා. ඒ වගේම විෂාදය යන මානසික රෝගී තත්ත්වය පිළිබඳවත් මෙහිදී වැඩිපුර කතාබහට ලක්වෙනවා. වත්මන් සමාජය තුළ විශාදය සුලබ රෝග තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙනවා. අපේ සමීපතමයකු එවැනි තත්ත්වයකට ගොදුරු වුවහොත් ඒ බව ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර කරා යොමු කරවීමේ වැදගත්කමත් මේ නවකතාව තුළින් සමාජයට ගෙනහැර පෑමට මා උත්සාහ කළා. එවැනි බරසාර කරුණු පාඨකයාගේ මනසට වෙහෙසක් වීම වැළැක්වීම සඳහා සුන්දර ආදර කතාවක් පෙම් දියවර තුළට ඇතුළත් කළා. ඒ නිසා පෙම් දියවර කියන්නේ ප්‍රේමය, මානුෂිකත්වය සහ සහකම්පනය ගැබ්වුණු සුන්දර ආදර කතාවක් ලෙස හැඳින්විය හැකියි.
ජීවිතේ මුහුකුරා යද්දී ලබන අත්දැකීම් හරහා නිර්මාණකරුවකුගේ පරිකල්පන ශක්තිය දියුණු වෙනව කියල හිතනවාද?
අනිවාර්යෙන්ම එය එසේ වනවා. මුල් කාලයේ මා ලියූ නවකතා ආපසු කියවද්දි මට හිතෙනවා එදාට වඩා අද මගේ පරිකල්පන හැකියාව දියුණු වෙලා කියලා. එදාට වඩා අද ඒ චරිත දෙස ගැඹුරින් සහ විනිවිද බැලීමේ හැකියාවත් ලැබී තිබෙනවා. කාලය සහ අත්දැකීම් නිර්මාණකරුවකුගේ ප්‍රතිභාව සහ පරිකල්පන ශක්තිය දියුණු කරන කදිම මෙවලම් කියා මම විශ්වාස කරනවා.
ඔබ සාහිත්‍ය ඉසව් කීපයකම සැරිසරනවා. ඒ අතරින් වැඩියෙන් පෙම් බඳින්නේ මොන ඉසව්වටද?
මාධ්‍යෙව්දිනියක් ලෙස විශේෂාංග රචනය සහ ප්රවෘත්තිකරණය මගේ වෘත්තිය බවට පත්වී තිබෙනවා. නවකතාකරණය මගේ අමතර හැකියාවක් වගේම එය මගේ විනෝදාංශයක්. ඒ දෙඅංශයටම මා එක ලෙසටම ඇලුම් කරනවා වගේම එයින් මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා. ඒ අතරේ විඩාව නිවාගන්න ඉඳහිට කාව්‍ය නිර්මාණයෙත් යෙදෙනවා. එයට මා අතිශයින් දුහුනෙක් වුවත් කවියටත් මගේ හිතේ විසල් ප්‍රේමයක් තිබෙනවා. කවිය කියන්නෙ හිත නිවන අපූරු ඔසුවක්.