විජිත හදපු අඩි විස්සෙ කේක් එක

ඔක්තෝබර් 7, 2024

රතුපැහැ රෝස මල් සැරසිලි, දෑත් එකිනෙකට පටලවා ගත් සොඳුරු විවාහක යුවළක්, සියුම් සංගීතයක් සමඟ මුසු වුණු විවාහ මංගල සාදයක්. ආසිරි පැතීමට ආ අමුත්තන්, ඒ හැමදේම මැද, හරි අපූරු විස්මිත කේක් එකක්. මේ කොළඹ ITC රත්නදීප හොටෙල්හි පැවැති මංගල උත්සවයක්. හැබැයි මේ මංගල උත්සවයේ හැමෝගෙම ඇස් සොරාගෙන තිබුණේ වෙන කිසිවක් නොව ඒ විස්මිත කේක් එකයි.

 

අඩි 20ක් උස, තට්ටු 13ක් සහිත මේ හරි අපූරු කේක් එක හදලා තිබුණේ A Taste Of Heaven හි හිමිකරුවන කේක් ශිල්පී විජිත කුමාර සහ ඔහුගේ පිරිසයි. කේක් විජිතයේ අගරජු කිව්වම ඔහුව නොදන්න කෙනෙක් නම් නැහැ. ඩුබායි රජ පවුලටත් කේක් හදපු ඔහු මේ අපූරු කේක් එක නිර්මාණය කර තිබුණේ අනුරාධ සහ එම්ලිගේ හෝම් කමින් එක වර්ණවත් කිරීමටයි.

 

හැමෝම කතා වෙන ඒ කේක් එක හදපු කේක් නිර්මාණ ශිල්පී විජිත තරුණී සමඟ අදහස් බෙදාගත්තෙ මේ විදිහට.

 

මේ කේක් එක හදන්න පටන් ගද්දි බාධක ගොඩකට මුහුණ දෙන්න වුණා. කේක් එක හදන්න ගත්ත පළමු පියවරේදීම මාත් එක්ක වැඩ කරපු පිරිමි ළමයි තුන් දෙනෙක් අනතුරකට මුහුණ පෑවා. ඉතින් බාධක මැද තමයි මේ වැඩේ කරගෙන ගියේ. මාත් එක්ක මුළු ස්ටාෆ් එක 16 දෙනෙක් මේ කේක් එක හදන්න සම්බන්ධ වුණා.

මේ කේක් එක තට්ටු 13ක් උස නිසා මැද ස්ටෑන්ඩ් එකක් සම්බන්ධ කරලයි මේක සැකසුවේ.

 

මේ විවාහ අපේක්ෂිත යුවළට ඕනෙ වුණේ එයාලගේ හෝම් කමින් එකට කවුරුත් නොකරපු දෙයක් කරන්න. ඉතින් වෙනස්ම විදිහක කේක් නිර්මාණයකින් ඒ වෙනස ඇති කරන්න හිතුවා. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික හෝම් කමින් එකක තේමාව වෙන්නෙ රතු වර්ණය. ඒ වගේම මේ උත්සව ශාලාවත් සැරසිලි කරලා තිබුණේ රතු වර්ණයෙන්. හැබැයි එයාලට ඕනෙ වුණා මේ කේක් එක හරහා ඒ සාම්ප්‍රදායික බව වෙනත් මානයකට යොමු කරන්න.

ඒ නිසා මේ යුවළගේ ඇඳුම්වලට ගැළපෙන ලෙස කේක් එකටත් වර්ණ යොදාගත්තා. ඔවුන්ගේ ගෝල්ඩ් සහ ඕෆ් වයිට් වර්ණ සහිත මංගල ඇඳුමට ගැළපෙන ලෙස කේක් එකටත් ඒ වර්ණම යොදා ගත්තා. ඒ තුළින් උත්සව ශාලාවේ රතු වර්ණ සැරසිලිවලටත් වෙනස්ම ආලෝකයක් ලැබුණා.

 

සම්පූර්ණ කේක් එක පුරාවටම ක්‍රිස්ටල් එකතු කරලා තියෙනවා. ගෝල් වර්ක් එක නිසා කේක් එකට වෙනස්ම ආලෝකයක් ලැබිලා තියෙනවා. ඉතාම සියුම් දේ ගැන පවා වැඩි අවධානයක් යොමු කරලා හදපු කේක් එකක්. සියුම්ව නිර්මාණය කරපු රෝස මල් විශාල ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා. විශේෂම දේ මේ කේක් එක පුරාම ලයිට්ස් පත්තු වෙන විදිහට වයරින් කළා. ඒ ලයිට්ස් නිසා කේක් එකට අමුතුම ආලෝකයක් ලැබුණා.

 

කේක් එක තිබුණේ හෝල් එක මැද. කේක් එකේ ආලෝකය මුළු හෝල් එක පුරාවටම විහිදී ගිහින් තිබුණේ. කේක් එකේ උඩ කොටස් ගොඩක් බරයි. උඩ කොටස් ටික සම්බන්ධ කරන්න ලොකු වෙහෙසක් ගන්න වුණා. ෆෝක්ලිෆ්ට් එකක් යොදාගෙන තමයි උඩ කොටස් ටික සම්බන්ධ කළේ. වෙඩින් එකට ආපු ගොඩක් දෙනෙක් කතා කළේ කේක් එක ගැන. පෙනුම ගැන වගේම රස ගැන එයාලා කතා කළේ හරිම සතුටින්.