අපේ උරුම ලෝකයටම රැගෙන යන නදීෂා

මම හොඳම තීරණ හොඳම වෙලාවෙදි ගත්තා
ඔක්තෝබර් 14, 2024

 

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ සැඟවුණු හරි අපූරු මැණිකක්. හැමෝම කියන්නේ එහෙමයි. මොකද ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ලෝක උරුමයන්ට නිජබිමක් වූ ශ්‍රී ලංකාව විවිධ ජාතින්ට සෙවණ දෙන සංස්කෘතිකමය වටිනාකම් රැසක් සහිත අපූරු භූමියක්. ඒ විතරක්ද සොබා සෞන්දර්යයෙන් පරිපූර්ණ ලංකාව විදේශීය සංචාරකයින්ගේ නිතර අවධානයට ලක්වෙන තෝතැන්නක්.

ඉතින් මේ පුංචිම පුංචි දූපතේ වටිනාකම ගැන ලොවක් ඉදිරියේ කියා ලෝකයේ දෙවැනි ස්ථානයට පත් වෙන්න ලංකාවේ පුංචි වෛද්‍යවරියකට අවස්ථාව හිමි වුණා. ඇය නදීශා ශ්‍යාමනි පතිරාජ චීනයේ චැන්සා, නැන්ජිං නගරයේ පැවැති යුනෙස්කෝ සංස්කෘතික සහ උරුමයන් පිළිබඳ සමුළුවේදී රටවල් 53ක් අබිබවමින් ඇය දෙවැනි ස්ථානයට පත්වුණේ ශ්‍රී ලංකාවේ අබිමන ලෝකයටම කියාපාමිනි. එය ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණ අවධානය නගා සිටුවීමට මහඟු අවස්ථාවක් විය.

ලෝකයක් ඉදිරියේ ඈ ලැබූ ජයග්‍රහණය ගැන රටටම කියන්න ඇය හඬ අවදි කළේ මේ විදිහට.

 

"එයාලා ජයග්‍රහණය නිවේදනය කරද්දි ශ්‍රී ලංකා කියලනේ හඳුන්වා දෙන්නේ. ඉතින් ඒ මගේ රට ගැනනේ කියවෙන්නෙ. ගොඩක් අය ශ්‍රී ලංකාව කියලා රටක් තියෙනවා කියලා දන්නෙ නැහැ. ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ තියෙන කොලනි එකක් කියලයි හිතන්නේ. මේ ජයග්‍රහණයත් එක්ක ශ්‍රී ලංකාව කියලා මෙහෙම ලෝක උරුම සහිත හරි ලස්සන රටක් තියෙනවා කියලා හැමෝම දැනගත්තා. මම ලංකාව නියෝජනය කරලයි මේකට ඉදිරිපත් වුණේ. ඉතින් ලංකාව නියෝජනය කරලා ආපු මට ලොකු වගකීමක් තියෙනවා කරන වැඩේ හරියට කරන්න. ලංකාව නියෝජනය කරලා ආපු මට මේ ජයග්‍රහණය ලැබීම ලොකු සතුටක්"

කොහොමද මේ අවස්ථාව හිමි වුණේ?

 

පසුගියදා මම සම්බන්ධ වුණා ජාත්‍යන්තර තරුණ සමුළුවට (International Youth Forum - 2024).

චීනයේ චැන්සා, නැන්ජිං කියන නගර දෙකේ තමයි මේ සමුළු පැවැත්වුණේ. ඒවා සංස්කෘතිය සහ උරුමයන් ගැන පැවැත්වුණු සමුළු. ඒක යුනෙස්කෝ එකෙන් කරන්නෙ. යුනෙස්කෝ එකට හැම රටකින්ම ලෝක උරුම ගැන කතා කරන්න නියෝජිතයන් එනවා. එක රටකින් එක්කෙනයි ගන්නේ. රටවල් 53කින් 60 දෙනකු සහභාගි වෙලා තිබුණා.

මම කතා කරන්න තෝරගත්තේ සීගිරිය. සීගිරිය ලෝක උරුමයක් වුණේ කොහොමද? එහි විශේෂත්වය, තාක්ෂණය ගැන, ජල පද්ධතිය ගැන සාක්ෂි සහිතව මම ඒ ඉදිරිපත් කිරීම කළා. තව ඒ ව්‍යාපෘතියේ පැති කිහිපයක් තිබුණා. ඒ එකකදි ඉදිරිපත් කරන්න තිබුණා අපි ඉන්න ප්‍රදේශයේ විශේෂ කෑමක් ගැන පොඩි වාර්තාවක්.

 

ඒ අවස්ථාවේදී ලංකාවේ ආහාර සංස්කෘතිය ගැනත් ඔබට කතා කරන්න හැකි වුණා...

 

මගේ ගම මිනුවන්ගොඩ. ලංකාවේ නගරයෙන් නගරයට විතරක් නෙවෙයි මුළු ලංකාවටම ආවේණික කෑම වර්ග තියෙනවනේ. අවුරුදු කැවිලි විශේෂයිනේ. එතකොට ලංකාවේ පොළක අලෙවියට තියෙන කෑම වර්ග, පැණිරස වර්ග.. එතකොට කරවල වර්ග ගැන සයිඩ් ප්‍රොජෙක්ට් එකක් කළා. ඉතින් අන්තිමට එයාලා ඒ ආහාර ගැන ලංකාව ඉහළින්ම ඇගයීමට ලක් කළා. ඉතින් කොහොම හරි ලංකාවට දෙවැනි තැන ලබා දීලා තිබුණා. පළමු ස්ථානය දිනා ගත්තේ පාකිස්තානය.

එයාලගේ රටේ රූපවාහිනි නාළිකාවකින් තමයි ඒ රටේ වීඩියෝ එක කරලා තිබුණේ. මම තනියමමයි ඒ හැමදේම කළේ. මගේ ෆෝන් එකෙන් කළේ. ලංකාව වෙනුවෙන් මම තනියම ගමනක් ආවා. මේක ජයග්‍රහණය කළේ ලංකාව වෙනුවෙන්. ඉතින් මට හිතෙනවා මේ ජයග්‍රහණය හැමෝටම හොඳ අවස්ථාවක් කියලා. ඉතින් ලංකාවෙ අනිත් අයටත් මේ වගේ දේවලට ඉදිරිපත් වෙන්න පුළුවන්.

 

එය සාර්ථකව කර ගැනීමට කරුණු සපයා ගත්තේ කොහොම ද?

මහාවංශය වැනි සාහිත්‍යමය ග්‍රන්ථ පරිශීලනය කළා. මම දන්න කියන මහාචාර්යවරුන්ගෙන් තොරතුරු ගත්තා. මේක සංවිධාන කරන්නෙ යුනෙස්කෝ එකෙන්නෙ. ඒ නිසා හරිම තොරතුරු එයාලට ලබා දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට සීගිරිය සම්බන්ධ විවිධ මිථ්‍යා මත තියෙනවා. රාවණා ගැනත් විවිධ මිත්‍යා මත තියෙනවා. හැබැයි අපි දැනට හොයාගෙන තියෙන්නේ සීගිරිය කාශ්‍යප රජතුමා රජ කරපු තැන කියලා. එතකොට අපි දෙයක් ඉදිරිපත් කරද්දි මේක මිථ්‍යා මතයක්. හැබැයි මෙහෙම පුරාවෘත්තයකුත් තියෙනවා කියලා ඒ දෙක අතර පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. ඒ නිසා සාක්ෂි තියෙන ඇත්තම තොරතුරු තමයි මම එයාලට දුන්නෙ. පුස්තකාලයෙනුත් තොරතුරු ලබා ගත්තා.

ලංකාවේ ආහාර සංස්කෘතිය ගැන ඉදිරිපත් කරද්දි ඒ සම්බන්ධ ලොකු දැනුමක් තියෙන මහාචාර්යවරුන්ට වඩා සාමාන්‍ය මිනිස්සුන්ට ගමේ ඉන්න ආච්චි අම්මලා වගේ අය ගොඩක් උදව් වුණා. මෙහෙම කැවුම් ජාතියක් තියෙනවා. ඒක හදන්නේ මෙහෙමයි. ඒක පැවතගෙන ආවේ මේ මේ අයගෙන්. ඒකෙ ගුණය මෙහෙමයි කියලා කියන්න පුළුවන් තරමේ දැනුමක් එයාලට තිබුණා. ඉතින් මහාචාර්යවරු වගේම සාමාන්‍ය පිරිසකගෙනුත් උදව් අරගත්ත නිසා වෙන්න ඇති මේ දේ මෙතරම් සාර්ථක වුණේ.

 

මේ ගමන පටන් ගත්ත තැන ගැන කතා කළොත්?

 

ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හැදෑරීමෙන් පසු රුසියාවට ආවේ MBBS උපාධිය සඳහා. අවුරුදු 6ක් මෙඩිසින් කළා. ශාස්ත්‍රපති උපාධියත් කළා. ඊට පස්සේ මම ලංකාවට ආවා. පූර්ව සීමාවාසික වෛද්‍යවරියක් විදිහට කටයුතු කරනවා. දැන් ලංකාවේ විභාගයට ලෑස්ති වෙන ගමන් ඉන්නේ.

 

මින් පෙරත් ඔබ තරුණ සමුළුවලට සහභාගි වී තිබෙනවා...

 

අධ්‍යාපන කටයුතු අතරතුර මම තරුණ සමුළු, සම්මන්ත්‍රණවලට අයදුම් කළා. රුසියාවේ සෝජි අගනුවර තිබුණ සමුළුවකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. එක් රටකින් එක් නියෝජිතයෙක්ට අවස්ථාව හිමි වෙනවා. ඉතින් ලංකාව නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුණා. ඊටපස්සෙ මම අමෙරිකාවේ තිබුණ තරුණ සමුළු දෙකකට ඔන්ලයින් සහභාගි වුණා. ඊට පස්සේ අබුඩාබිවල තිබුණ තරුණ සමුළුවකට සහභාගි වුණා. ඒ හැම සමුළුවකටම ලංකාව නියෝජනය කළේ මම.

පවුලෙන් ලැබුණ සහයෝගය කොහොමද?

 

මම පවුලේ එකම දරුවා. මගෙ අම්මා හෙද නිලධාරිනියක්. එයා වැඩ කළේ කොළඹ ජාතික රෝහලේ. මට වයස අවුරුදු 12 දි මගෙ තාත්තා නැති වෙනවා. අම්මා එම්. ඒ. එස්. ආර්. මල්ලිකා. තාත්තා පී. ඒ. ගුණරත්න. මගේ තාත්තා නායකත්ව පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිය කෙනෙක්. මම හිතනවා ඒ ආභාසය තමයි මටත් ඇවිල්ලා තියෙන්නේ කියලා. එයා රටට දෙයක් කරපු කෙනෙක්. එයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු විනය පරීක්ෂක.

මේ ජයග්‍රහණය ගැන අම්මට ගොඩක් සතුටුයි. මොකද මාව හැම දේකින්ම ගොඩක් පරිපූර්ණ කරලා හදලා වෛද්‍යවරියක් කළේ අම්මා. හැබැයි මම එතැනින් ඔබ්බට ගිහින් ලෝකය ඉදිරියේ නමක් තිබ්බා. ඒකට අම්මට තියෙන්නේ කියාගන්න බැරි සතුටක්.

 

මේ ජයග්‍රහණයත් එක්ක ඉදිරි බලාපොරොත්තු මොනවාද?

 

ඉස්සරහටත් මගේ නායකත්වයත් එක්ක මම කැමැතියි ලංකාව වෙනුවෙන් මොනවා හරි අලුත් දෙයක් කරන්න. ඒ වගේම වෘත්තීමය පැත්තෙන් මම ස්වෙච්ඡා සේවයේ යෙදෙනවා විශේෂ අවශ්‍යතා තියෙන ආබාධිත දරුවන් සඳහා. මගේ වෛද්‍ය සේවය එයාලට නොමිලේ ලබා දෙනවා. සමාජය එයාලා වෙනුවෙන් කාලය යොදවනවා අඩුයි. ඒ අය ගැන විශේෂ අවධානයක් යොමු කරන්නෙ නැහැ. ඒ නිසා මම හිතුවා ඒ අය වෙනුවෙන් දෙයක් කරන්න ඕනෙ කියලා.

මේ ලෝකේ අපිට කරන්න බැරි දෙයක් නැහැනේ. අපිට දෙයක් ඕනෙ නම් අපි උත්සාහ කරන්න ඕනේ. මොකද ලැබිලා තිබුණේ පහසුවෙන් ගෙනියන්න පුළුවන් ජීවිතයක් නෙවෙයි. ආපස්සට හැරිලා බලද්දි මම හොඳම තීරණ හොඳම වෙලාවෙදි ගත්තා.