වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
බිත්ති පුපුරනවා නම් අත්තිවාරම දුර්වලයි
ගොඩනැඟිලි තාක්ෂණයත් නිර්මාණාත්මක හැකියාවත් මුසු ගෘහ නිර්මාණ ශිල්පය අපූරුතම කලාවකි. අතීතයේ මේ කලාව අපේ රටේ ඉතාම දියුණු මට්ටමක පැවැති බවට සාක්ෂි බොහෝය. අනුරාධපුර, පොළොන්නරු යුගයේ නටබුන් හෙළි කරන්නේ එම ශ්‍රී විභූතියේ මහිමයයි.
එම නටබුන් අතර වූ අත්තිවාරම් අදටත් නොනැසී පවතින්නේ එම විශ්වකර්ම නිර්මාණවල මහිමය නිසයි. මෙවන් වූ සාර්ථක නිර්මාණ කලාවක් වර්තමානයේ ගෘහ නිර්මාණ ශිල්පයට ද යොදා ගන්නා අවස්ථා වෙයි.
ශක්ත්මත් වූ අත්තිවාරමක් මත ඉදිවෙන නිවහනක ඇත්තේ එවැනි දියුණු වූ තාක්ෂණ ශිල්පයකි.
අත්තිවාරම ඉතා හොඳින් දැමූ නිවෙසක් පවතින කාලය බොහෝය. එසේම ශක්තිමත් වූ අත්තිවාරමක් මත තනන නිවෙසක වටිනාකම ද අපමණය.
අත්තිවාරමක ප්‍රධාන අරමුණ වන්නේ ගොඩනැඟිල්ලේ සම්පූර්ණ බර සහ පිටතින් එන බර (අව්වෙන්, වැස්සෙන් සහ නිවෙසට එන පුද්ගලයන්ගේ බර) දරා සිටීමයි. ගොඩනැඟිල්ලක වහලයට බර පැමිණියත් එය දරා සිටින්නේ අත්තිවාරමේ ශක්තිය මතයි.
එසේම පොළොවේ සිදුවන වෙනස්කම් නිසා (ගිලා බැසීම, භූමි කම්පා, ලිස්සායෑම) දරා සිටින්නේ ද අත්තිවාරමයි.
නිවෙසක් තැනීමේදී හොඳ තිරස් පොළොවක් තිබිය යුතුය. අත්තිවාරමක් දැමීමෙන් සිදුවන්නේ ද එවැනි ශක්තිමත් තිරස් පොළොවක් තනා ගැනීමය.
ඕනෑම බුරුල් පොළොවක අපට ශක්තිමත් අත්තිවාරමක් දැමිය හැකි වෙයි. එය තීරණය කරන සාධකය වන්නේ ගොඩනැඟිල්ලේ බරයි. අප මුලින් සඳහන් කළ පිටතින් එන බර සහ නිවෙසට එන බර අනුව අත්තිවාරම දැමීම තීරණය වෙයි.
සාමාන්‍යයෙන් ගැඹුරු ලෙස අත්තිවාරමක් දමන්නේ වැලි සහිත පොළොවකය. පළල සහිත අත්තිවාරමක් සාදන්නේ මඩ සහිත පොළොවකය.
සාමාන්‍ය පොළොවක දමන්නේ මේ දෙකටම පොදු වූ අත්තිවාරමකි.
මීට අමතර මඩ ගොහොරු පොළොවක ගෙයක් තැනීමේදී අත්තිවාරමක් දැමිය යුත්තේ අප මුලින් සදහන් කළ බර දරා ගැනීමට හැකි පසක් හමුවෙන තෙක් හාරා ගැනීමෙන් පසුවය. අතීතයේ දී මෙම තාක්ෂණය වැඩි වශයෙන්ම යොදා ගැනීම විශේෂිතය.
අත්තිවාරම දුර්වලවීමට බලපාන සාධක
අත්තිවාරම දුර්වලවීමට ප්‍රධාන හේතුවක් වන්නේ අනපේක්ෂිත බරක් මෙම නිවෙසට දැමීමය. එය තවත් සරල ලෙස දක්වනවා නම් ඔබ පදිංචියට තැනූ නිවෙස රථවාහන ගාල් කිරීමට යොදා ගැනීම හෝ ගබඩා කාමරයක් ලෙස බර අධික දේ ගබඩා කර තැබීමයි. නැතිනම් අත්තිවාරම නිතරම තෙමෙන්නට අවකාශය ඇත්නම් ද එය දුර්වල වෙයි.
මෙවැනි අත්තිවාරමක් නිසා නිවෙස ගිලා බැසීම සිදුවන්නේ ජලය කාන්දු වූ පැත්තෙන්ම නොවෙයි.
වෙනත් පැත්තකින් ගිලා බැසීම සිදුවෙයි. ඔබගේ නිවෙස තෙමෙන්නේ නාන කාමරය ප්‍රදේශයෙන් යැයි අපි සිතමු.
එවිට ගිලා බැසීම සිදු වන්නේ වෙනත් පැත්තකිනි. අත්තිවාරම දුර්වල නිසා ගිලා බැසීම සිදුවන බව අපට නොපෙනේ. නමුත් බිත්ති පුපුරා ඇත්තේ අත්තිවාරම ගලා බැසීමෙනි.
එසේම සතුන් අත්තිවාරම හෑරීම සිදුකරයි. මීයන්, හාවන්, වේයන් වැනි සතුන් නිසා ද මෙලෙස අත්තිවාරමට හානි වෙයි.
තවද අප පසුකාලීනව කරන ඉදිකිරීම් නිසා ද අත්තිවාරමට හානි සිදුවේ.
පෙර අප සැලසුම් නොකර බටයක් නොදමා පසුව අත්තිවාරමේ ගලක් ඉවත් කර බටය දැමීම නිසා අත්තිවාරමට හානි වී දුර්වල වෙයි. අත්තිවාරමක් දිගු කලක් ආරක්ෂා කර ගැනීම සඳහා නිසි පරිදි කාණු පද්ධතියක් තිබිය යුතුය.
එයට හේතු රාශියකි. එක් හේතුවක් වන්නේ ගස්වල විශාල මුල් නිවෙසට ඇතුළුවීම හා අත්තිවාරමට ජලය ඉනීමයි.
අප ඒ සඳහා අත්තිවාරමෙන් ඉහළ වූ කොටස (කයිරු බැම්ම) හොඳින් කපරාරු කර සුදු මැදිය යුතුයි. තවද අත්තිවාරම හා බිත්තිය වෙන්වන ලේයරය සුදු මැද DPC යොදා තෙත් නිවාරණ වැටියක් යෙදීම කළ යුතුමය.
එහෙත් වර්තමානයේ මෙවැනි DPC එකක් නොදැමීම විශාල වරදකි.
එම කොටසට තාර යොදා බිත්තියට වදින ජලය අත්තිවාරමට නොවදින ලෙස ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත් පියවරකි.
උපදෙස් කුරුණෑගල කැදැල්ල හෝම්ස්හි අධ්යක්ෂ දේශමාන්‍ය ආචාර්ය
මහින්ද ඒකනායක