ඕකිඩ් ප්‍ර චාරණය සඳහා යොදා ගන්නා ක්‍රම

මැයි 12, 2021

 

සොඳුරු මල් ලෝකයේ ආඩම්බරකාර රැජන උඩවැඩියා මලට පෙම් නො බඳින්නේ කවුරුන් ද ? ඒ නිසාම නේක වර්ණයෙන් මෙන්ම විවිධ හැඩයෙන් අලංකෘත උඩවැඩියා මල් යායක් තමන් සතු කරගන්නට අපි කවුරුත් පෙරුම් පුරන්නෙමු.

 

ඒ විතරක් ද ?......මල් ලොව ඉහළ වටිනාකමක් සහිත මෙම උඩවැඩියා වගාවෙන් අතමිට සරු කර ගන්නටත් අපිට පුළුවනි. විශේෂයෙන්ම නිවෙසේ එදිනෙදා වැඩ කටයුතුවල යෙදෙන අතරතුරේ මෙවැනි වගාවක නියැළීමෙන් ඔබට හිමිවන ආත්ම තෘප්තිය ද ඉමහත් .

 

ගෙමිදුලේ හැඩට වැඩට උඩවැඩියා ගසක් දෙකක් වවා ගන්නවා මෙන් නොව ආදායම් මාර්ගයක් ලෙසින් මෙය වගා කිරීමේ දී අප සැලකිලිමත් විය යුතු කරුණු කාරණා රාශියකි. එහිදී උඩවැඩියා ප්‍රචාරණය වඩා වැදගත් වන අතර අද අපි ඒ පිළිබඳ සොයා බලමු.

 

සාමාන්‍යයෙන් උඩවැඩියා ප්‍රචාරණය ක්‍රම කිහිපයකටම කළ හැකියි. එහිදී පැළෑටිය සහ අවශ්‍යතාව අනුව එය වෙනස් වේ.

 

බීජ ඵල මාර්ගයෙන්

 

ඔබ දන්නා පරිදි ඕනෑම ශාකයක පුෂ්ප හටගැනීමෙන් අනතුරුව ඒවා පරාගනය වීම සිදුවේ. අනතුරුව ක්‍රමයෙන් පුෂ්පය මියයන අතර එය ඵලයක් ලෙසින් ඉතිරි වේ. ඕකිඩ් ශාකයේ ද මෙලෙස ඵල හට ගන්නා අතර එම බීජ ඵල ( seed pods)මෝරන්නට තැබිය යුතුය. ඉන්පසුව විශේෂ ජීවානුහරණ ( sterilize) තත්ත්වයන් යටතේ රසායන මිශ්‍රණයක් තුළ තැන්පත් කිරීම ( seed culture) හරහා ඔබට ඕකිඩ් පැළ බෝකර ගත හැකිය.

 

පටක රෝපණය

 

ඕකිඩ් ශාකයේ පටක රෝපණය (Tissue culture ) හරහා ද ඔබට ගුණාත්මක තත්ත්වයේ ඕකිඩ් පැළ ලබාගත හැකිය. මෙහිදී මව් ශාකයට බෙහෙවින් සමාන පැළ විශාල සංඛ්‍යාවක් ලබා ගත හැකි වීම විශේෂත්වයකි.

 

පඳුරු වෙන්කර සිටුවීම

සාමාන්‍යයෙන් ඩෙන්ඩ්‍රෝබියම් ,ඔන්සීඩියම්, සිම්බීඩියම් වැනි ඕකිඩ් වර්ග වැඩෙනුයේ පඳුරු වශයෙනි. මෙවැනි බහුපාදී (sympodial ) ඕකීඩ් වර්ගවල පඳුරෙන් පැළ වෙන් කරවා ගත හැකිය. මෙහිදී දඬු තුනක් බැගින් වූ පඳුරකින් ඔබට පැළ වෙන් කරගත හැකි අතර අනතුරුව ඒවා වෙන් වෙන්ව සිටුවාගන්න.

 

උඩ කොටස් වෙන්කර සිටුවීම

 

වැන්ඩා, ඇරැන්ඩා වැනි ඕකිඩ් වර්ග අයිති වන්නේ ඒක පාදී (monopodial) ඕකිඩ් සමූහයටයි. මෙවැනි ඒක පාදී ඕකිඩ් වර්ගවල උඩ කොටස මුල් කිහිපයක් සමඟ වෙන්කර ගන්න. අනතුරුව ඔබට ඒවා වෙන් වෙන්ව පැළ වශයෙන් සිටුවා ගත හැකිය.

 

පැති පැළ කපා වෙන් කිරීම

 

ඕකිඩ් මල් නටුවෙන් හෝ අධික ලෙස මේරූ දණ්ඩෙන් පැති පැළ (keikis) හටගැනීම දැකිය හැකිය. මෙලෙස හටගන්නා පැළ කපා වෙන්කර සිටුවා ගත හැකියි. විශේෂයෙන්ම ඩෙන්ඩ්‍රෝබියම් , පැලනෝප්සිස් වැනි ඕකිඩ් වර්ගවල මෙලෙස පැළ හටගන්නා අතර ඔබට පහසුවෙන්ම ඒවායේ පැළ සකසා ගැනීම කළ හැකිය.

 

 

 

උපදෙස් -

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ