වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ලෝකයේ දුර්ලභ සහ අසාමාන්‍ය උඩවැඩියා
යෝධ මිරිවැඩි උඩවැඩියා රටින් පිට කළොත් දඬුවම්
දඬු කැබැල්ලක් ඩොලර් 5000 ක් වන කාන්තා මිරිවැඩි උඩවැඩියා
මනරම් මල් ලෝකයේ කිරුළ පළන් රැජිනිය ඕකිඩ් කොමළිය තරම් සොඳුරු මලක් තවත් නම් කොයින්ද? විවිධාකාර වර්ණ, හැඩ රටා මවනා ඇය ගෙමිදුල ආලෝකමත් කරනවා සේම ඔබේ අතමිට සරු කරන්නට ද සැදී පැහැදී සිටින්නීය.
ඉතින් ඈ ඔබේ ගෙමිදුලටත් කැඳවාගන්නට, සිටුවා රැකබලා ගන්නට සේම ඒ ඇසුරෙන් ආදායමක් උපයාගන්නට ප්‍රථම ඈ පිළිබඳ හොඳින් දැනුවත් වීම අත්‍යවශ්‍යමයි. විශේෂයෙන්ම ලෝකය පුරා පැතිරී ඇති ඕකිඩ් වර්ග සහ ඒවායේ වෙනස්කම් මෙන්ම වටිනාකම් පිළිබඳ ද යම් දැනුමක් අප සතුව තිබිය යුතුය.
එබැවින් අද අපි ලෝකයේ දුර්ලභ සහ අසාමාන්‍ය උඩවැඩියා වර්ග දැන හඳුනා ගනිමු.
යෝධ මිරිවැඩි උඩවැඩියා
(Giant Slipper orchid)
අඟල් 12 ක් පමණ ප්‍රමාණයකින් යුක්ත මේ ඕකිඩ් මල සම්පූර්ණයෙන්ම විවෘත වූ මලකි. ලතින් ඇමෙරිකානු රටවල දකින්නට ලැබෙන මේ වර්ගය මල් වගාකරුවන් සීමිත පිරිසකට පමණක් වගා කිරීමට අවසර ලැබී ඇත. එමෙන්ම එය වගා කරනා රටින් පිටතට ගෙනයාම ද තහනම් කරඇති අතර රහසේ හෝ රටින් පිටතට ලබාදුනහොත් එය දඬුවම් ලැබිය හැකි වරදකි.
බල්බොෆයිලම් නොක්ටර්නම්
(Bulbophyllum Nocturnum)
මෙය පැපුවා නිව්ගිනියා රාජ්‍යයේ දී දැකිය හැකි ඕකිඩ් වර්ගයකි. එමෙන්ම ඔබට මේ මල දැකිය හැකි වන්නේ ද රාත්‍රී කාලයේ දීය. එනම් මේ ඕකිඩ් මල විවෘත වන්නේ රාත්‍රි කාලයේ දී පමණි.
කහ සහ දම් පැහැ කාන්තා මිරිවැඩි උඩවැඩියා
(Yellow and Purple Lady Slipper)
අතිශයින්ම දුර්ලභ ඕකිඩ් වර්ගයක් වන මේවා දැකිය හැක්කේ බ්‍රිතාන්‍යය තුළදීය. ඒවාගේම මෙය අධික මිලකින් ද යුතු වන අතර සිටුවිය හැකි ප්‍රමාණයේ කුඩා කොටසක් ඇමෙරිකානු ඩොලර් 5000 ක් ද ඉක්මවයි.
අවතාර උඩවැඩියා
(Ghost orchid)
කියුබාවේ සහ අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දැකිය හැකි මෙම ඕකිඩ් වර්ගය දැනට වසර 30 කට පමණ ඉහත දී වඳ වී ගොස් ඇතැයි ද උපකල්පනය කර තිබේ. නමුත් පසුව කියුබාවේ දී මේ වර්ගය නැවතත් හමුවූ බැවින් තවමත් මේවා ලොව තුළ වඳ නොවී පවතින බවට ජීවමාන සාක්ෂියකි.
මෙම දුර්ලභ සහ අසාමාන්‍ය ලක්ෂණ සහිත ඕකිඩ් වර්ගවලට අමතරව විවිධාකාරයේ ඕකිඩ් වර්ග ලෝකය පුරා දැකිය හැකිය. විශේෂයෙන්ම විවිධ සතුන්ගේ හැඩ රුව සහිත ඕකිඩ් මල් බොහෝමයකි. සමනලයන්, මකුළුවන්, ගෝනුස්සන් වැනි සතුන්ගේ හැඩ සහිතව මෙන්ම මුව අංතට්ටුවක ස්වරූපයක් ගන්නා ඩෙන්ඩ්‍රෝබියම් වර්ගයේ ඕකිඩ් මල් ද දැකිය හැකියි.
ඊට අමතරව ලංකාවටම ආවේණික වූ වෙසක් ඕකිඩ්, පරෙවි ඕකිඩ්, තාරකා ඕකිඩ් ආදී වශයෙන් හඳුන්වනු ලබන ඕකිඩ් වර්ග ද දැකිය හැකි අතර අපි ලබන සතියේ දී මෙරට ඕකිඩ් පිළිබඳ දැනගනිමු.
උපදෙස්
සුමුදු ඕකිඩ්ස් හි ජයන්තිමාලා එදිරිසිංහ