වගාවට ගම්මිරිස් පැළයක් තෝරා ගන්නේ කොහොමද?

අප්‍රේල් 28, 2021

 

මුළුතැන්ගෙයි නැතිවම බැරි රසකාරකයක් වූ ගම්මිරිස් කුළුබඩු ලෝකයේ රජු ලෙසින් හැඳින්වේ. නිරන්තරයෙන්ම ආහාර රසවත් කිරීමට භාවිත කරන මේ ගම්මිරිස් බොහෝදෙනකු මිලදී ගන්නේ වෙළෙඳපොළෙනි. නමුත් ඊට විවිධ දේ මිශ්‍ර කිරීම වැනි දෑ සිදුවන බැවින් ගුණාත්මක තත්ත්වයේ ගම්මිරිස් ටිකක් මිලදී ගැනීම තරමක් දුෂ්කර කටයුත්තකි.

 

සාමාන්‍යයෙන් සාමාජිකයන් හතරදෙනකු සිටිනා පවුලකට වසරක් සඳහා අවශ්‍ය වන්නේ වියළි ගම්මිරිස් කිලෝග්‍රෑම් 1½ ක් පමණි. මේ ප්‍රමාණය සකසා ගැනීමට ගෙවත්තේ ගම්මිරිස් වැල් දෙකක් තිබීම ප්‍රමාණවත්. ඉතින් ගුණාත්මක, පිරිසුදු ගම්මිරිස් ටිකක් සපයා ගන්නට ඔබේ ගෙවත්තෙත් වැලක් දෙකක් සිටුවා ගන්නට හැකිනම් එය මොනතරම් අපූරුද?

ඇත්තටම කොහොමද අපි ගම්මිරිස් පැළයක් සිටුවා සාර්ථකව අස්වැන්නක් නෙළා ගන්නෙ? වැඩිදෙනකු සිත පෙළන ගැටලුවක් තමයි මේ. ඒ නිසා අද අපි ගෙවත්තේ ඉඩකඩ අනුව ගම්මිරිස් පැළයක් සිටුවා රැකබලා ගන්නා ආකාරය ගැන දැනගනිමු.

ගම්මිරිස් පැළයක් සිටුවා ගන්නට ප්‍රථම ඒ සඳහා ගෙවත්තේ සුදුසු ස්ථානයක් තෝරා ගැනීම හරිම වැදගත්. එනම් තද සෙවණ නැති හොඳින් හිරු එළිය පතිතවන ස්ථානයක් තෝරා ගත යුතුය. එමෙන්ම ජලය හොඳින් බැස යන තැනක් වීමත් වැදගත්. එලෙස ජලය බැස නොයන්නේ නම් ගෙවත්තේ කාණු කපා ජලවහනය ක්‍රමවත් කරගන්න. එමෙන්ම බෑවුම අධික ගෙවත්තක මේ ගම්මිරිස් වගා කරන්නට අදහස් කරන්නේ නම් ගල්වැටි හෝ සුදුසු ශාක යොදාගනිමින් ජීව වැටි සකසා පස ආරක්ෂා කරගැනීමට කටයුතු යොදන්න.

 

ගම්මිරිස් වැල සරුසාරව වැඩෙන්නට නම් ආධාරකයක් අවශ්‍යම වේ. ඒ සඳහා අඩි 08 ක් පමණ දිග අඟලක් පමණ ඝනකම සහිත ග්ලිරිසීඩියා දණ්ඩක් අවශ්‍ය වේ. ඇල්බීසියා, වැටහිර, වැටමාර, නන්චි වැනි නම්වලින් ද මෙම ග්ලිරිසීඩියා හඳුන්වන අතර මේවායේ පත්‍ර ඔබට පොහොර ලෙස භාවිත කළ හැකියි.

මේ ග්ලිරිසීඩියා ආධාරකය සිටුවා එහි ඉහළ කෙළවර තෙත පස් ටිකක් තබා පොලිතින් කොළයකින් ආවරණය කරන්න. එවිට ආධාරකය වියළී මියයෑම සිදුනොවේවි. ඔබ ගම්මිරිස් පැළ කිහිපයක් සිටුවනවා නම් පැළ දෙකක් අතරේ අඩි 08 ක පමණ පරතරයක් තබාගන්නට මතක තබාගන්න. ඒවාගේම ඔබ ජීවත්වන්නේ ඉඩකඩ සීමිත ගෙවත්තක නම්, වගා කටයුතු සඳහා එතරම් ඉඩ නොමැති නම් කණගාටු නොවන්න. දැනට ගෙවත්තේ වැඩී ඇති පොල්, පුවක්, අඹ, කොස් වැනි ගසක් ආධාර කරගෙන මේ ගම්මිරිස් වැල වගා කළ හැකියි. එහිදී ගම්මිරිස් වැල වෙත වැඩි සෙවණක් ලබා නොදී හිරු එළිය හොඳින් පතිතවීමට අවශ්‍ය ඉඩකඩ සපයන්න.

 

සරුසාර ගම්මිරිස් අස්වැන්නක් ලබාගන්නට නම් නිරෝගී, හොඳින් වැඩෙන ගම්මිරිස් පැළයක් සිටුවා ගත යුතුය. එහිදී ඔබට අවශ්‍ය නිරෝගී පැළ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැළ තවානකින් ලබාගත හැකියි.

සාමාන්‍යයෙන් පැළයක් තෝරා ගැනීමේ දී පරිණත පත්‍ර 5 - 6 ක් සහිත ලෙඩ රෝගවලින් තොර නිරෝගී පැළ තෝරාගන්න. එය පොළොවට මුල් ඇදී නැති හොඳින් වැඩුණු මූල මණ්ඩලයක් සහිත පැළයක් වීම වැදගත්. ගම්මිරිස් පත්‍රවල වර්ණය ළා කොළ පැහැයට තිබේ නම් එය නිසි ලෙස වර්ධනය වූ වගා බිමේ සිටුවීමට සුදුසු පැළයක් ලෙස හැඳින්විය හැකියි. මෙහිදී දුර්වල වර්ධනයක් සහිත තද කොළ පැහැති පත්‍ර සහිත පැළ තෝරා නොගැනීමට ඔබ වගබලාගන්න.

ගම්මිරිස් පැළ සිටුවා රැකබලා ගන්නා ආකාරය අපි ලබන සතියේ දී දැනුවත් වෙමු.

 

 

 

උපදෙස්

අපනයන කෘෂිකර්ම

දෙපාර්තමේන්තුවේ (මාතර),

සහකාර අධ්‍යක්ෂ

සුජිතා චතුරංගි

 

 

 

ඡායාරූප - ලසන්ත අබේරත්න

වි‍ෙශ්ෂ ස්තූතිය - දිශාන්ති කොඩිතුවක්කු