පුංචි පුංචි වෙනස්කම්වලින් අවුරුද්දේ නිවෙසට සැබෑ වෙනසක්

අප්‍රේල් 14, 2021

අවුරුද්දක් ලබනවා කියන්නේ නිවෙසේ ගෘහණිය බෙහෙවින් ම කාර්යබහුල වන කාලයක්.එදා අනවශ්‍ය දේ ඉවත් කරලා, මකුළු දැල් කඩලා, ගොම ගාලා අලුත්වැඩියා කරගත්ත නිවෙස සෞභාග්‍යයෙන් ඉතිරිලා.

 

ගොම මැටි නොගෑවට අදටත් අවුරුද්දක් ලබද්දි ගෘහණියන් කරන්නේ ඒ දේමයි. මෙවර සෞඛ්‍ය නීතීරීතිවලට අනුගත වෙමින් අවුරුද්ද සමරන්නයි කාගේ කාගෙත් සූදානම.

වෙනදා තරම් බොහෝදෙනකුගේ ආර්ථිකය එතරම්ම සරු නැහැ. ඉතිං අලුත් අවුරුද්දේ අලුතින් තීන්ත ගෑම අපහසු කෙනකුට හොඳින් බිත්ති සෝදා හරින්න පුළුවන්.සේදීමට පුළුවන් තීන්ත වැඩි මුදලක් හෝ වැය කොට ආලේප කිරීමේ වාසිය තියෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකදී.බිත්ති සේදූ පසු අලුතින් ම තීන්ත ආලේප කළා හා සමාන පෙනුමක් ගෙන දේවී. හොඳින් මතක තබා ගන්න අලුතින් ම තීන්ත ආලේප කරනවා නම් තීන්ත පැල්ලම්, තීන්ත බිංදු බිමට හෝ වටේ ගෑවෙන්න දෙන්න එපා.හරිම අවලස්සනයි. තීන්ත නො ආලේප කර සිටියා නම් කියලා හිතේවි. මකුළු දැල් ශුද්ධ කරලා, බිත්ති සෝදා හැරලා බිමත් හොඳින් සෝදා හරින්න.

ටයිල් පොළොවේ ග්‍රවුට් අපවිත්‍ර වුණාමයි පරණ පෙනුමක් අපිරිසුදු පෙනුමක් දිස්වෙන්නේ. ග්‍රවුට් සඳහා එතරම් මුදලක් වැය නොවන නිසා තිබූ ග්‍රවුට් සූරා දමා අලුතින් දැමීමෙන් අත්‍යලංකාර බවක් ගෙන දේවි.

ඇසට ඒකාකාරි බවක් ගෙන දෙමින් එකම පෙනුමට එකම තැන තැබූ විසිත්ත කාමරයේ හා සෙසු කාමරවල ගෘහභාණ්ඩ එහා මෙහා කිරීමෙන් නැවුම් බවක් දිස් වේවි.මෙහිදී පළමුව කළ යුතුවන්නේ මිනුම්පටියක් ගෙන ගෘහභාණ්ඩයේ දිග පළල මැන ගැනීම.අලුතින් ස්ථානගත කිරීමට බලාපෙරොත්තුවන ස්ථානයේ ඒ සඳහා ඉඩක් ඇත්නම් පමණක් එතැනට ගෙන එන්න. නැතිනම් බඩු එහා මෙහා කරන්නට ගිහින් කොන්දේ වේදනාවකුත් හදාගන්නට වේවි.

විසිත්ත කාමරයේ සෝෆාව පරණ වී ඇත්නම් කවර ටිකක් මසා උඩින් දමන්න පුළුවන්. මින් දිස්වන්නෙත් අලුත් ම පෙනුමක්.තිරරෙදි ආදිය හොඳින් සෝදා වේළා නැවත එල්ලීම වගේම අලුත් අවුරුද්දේ තේමාවකට අනුව නිවෙස සරසන්න සිතුවේ නම් මේ තිරරෙදිවලට තමන්ගේ අතින් ම රෙදිවලින් නිම කරගත්

සූරියකාන්ත මලක්, බුලත් කොළයක්, ඉර හඳ මෝස්තරයක් මේ ආදී ඕනෑම දෙයක් තැනින් තැනට මසා ගැනීම හෝ

කටුවකින් රඳවා ගැනීම කළ හැකියි.

සෝෆාවේ කුෂන් ආදිය අලුත් කරන්න එතරම් මුදලක් වැයවන්නේ නැහැ.

තිබෙන පාපිසි වෙනුවට අලුත් පාපිසි එකතු කරන්න පුළුවන්.මේ වෙනස එකතු කරගන්න එතරම් මුදලක් වැයවන්නේ නැහැ. හැමවිටම බිත්තිවලට සුදු පැහැය වැනි උදාසීන වර්ණයන් එකතු කර ගැනීමෙන් සෙසු සියලු අලංකරණයන් හරි අපූරුවට කරගත හැකියි.දහවලට ස්වාභාවික ආලෝකය සහ රාත්‍රියට කෘත්‍රිම ආලෝකය මඟින් නිවෙස හැඩවැඩ කරගන්න පුළුවන් වෙන්නේ බිත්ති, සිවිලිම සහ පොළොව යන පසුතලය උදාසීන වර්ණයන්ගෙන් යුතු වූවොත් පමණයි.

ඉර,හඳ මෝස්තර රැගත් බිත්ති සැරසිල්ලක් විසිත්ත කාමරය එළිය කරාවී.අවුරුදු සඳහා වඩාත් යා වෙන්නේ රතු, කහ වැනි පැහැයන්. ඉතිං අභ්‍යන්තර අලංකරණයන් සඳහා මෙවැනි පැහැයන් එකතු කරගන්න පුළුවන්.

කොෆි ටේබල් එක, කෑම මේසය, නානකාමරය පවා සරසන්න ස්වාභාවික මල්, කොළ එකතු කරගන්න පුළුවන්.මේ දිනවල අරලිය මල් ගස්වල පිරිලා. විනිවිද පෙනෙන මල් බඳුනකට වතුර දාලා,අරලිය මල් පාවෙන්න දාන්න පුළුවන්. අරලිය ඉති උඩ අතට වෙනුවට අනෙක් අතට දාන්න පුළුවන්.හැමදාම උඩට මල් ටික පේන්න, ඉති ටික වතුරේ තියන්න ඕනමයි කියලා නැහැ. ගංගා, ඇළ දොළවලට හානියක් නොවන පරිද්දෙන් සොයා ගත්ත ගල් ටිකක් මෙවැනි වීදුරු මල් බඳුනකට දැම්මම එතැන ඇත්තේ කලාවක්. වැටවල්වල ඇති ක්‍රෝට්න් අතු පවා ඔබේ නිවෙස අලංකෘත එකක් කරාවී.මිදුලට, වත්තට ගොස් බලන්න. කලාත්මක අදහස්වලින් පිරුණු ඔබේ සිතට නිවෙස අලංකරණයට බොහෝ දේ හමු වේවි.වෙනසක් කරන්න.ඒ වෙනස සැබෑ වෙනසක් කරමින් ඔබේ නිවෙස කලඑළි කරාවි.අන්තර්ජාලයේ සැරිසරද්දී මෙවැනි අලංකරණයන් සඳහා අදහස් බොහෙමයක් ලබාගත හැකි වේවි.

අනවශ්‍ය දේ ඉවත දැමීම ම නිවෙස අලුත් කරන්න හේතුවක් වේවි.

තරුපහේ හෝටල්වල පවා කෑම ‍ෙම්සයේ ඇති හබරල කොළය, කෙසෙල් කොළය ඔබේ මේසයටත් එකතු කරන්න පුළුවන්.හැමදාම පිඟන් වෙනුවට පන් වට්ටි ටිකක් අරන් ඒවට අවුරුදු කැවිලි

දමන්න පුළුවන්.නිවෙසට එන අමුත්තෝ පවා ඔබේ නිර්මාණශීලීබව අගය කරාවි. ඔබව අනුකරණය කරාවී.

ගෘහඅභ්‍යන්තර අලංකරණයට අනුව වැඩි වියදමක් නොදරාම මේ වෙනස්කම් සමඟින් සෞභාග්‍යය, සතුට සපිරි අවුරුද්දක් ගත කරන්නට මේ වසරේ දී හැකි වේවි.

උපදෙස්: ප්‍රවීණ ගෘහඅලංකරණ

නිර්මාණ ශිල්පිනි : ආචාර්ය දිලිනි හල්විටිගල