වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
වැඩ කල්දාන පුරුද්ද ඔබටත් තියෙනවද?
අපි හැමෝටම ජීවිතේ සාර්ථක වෙන්න තදබල වුවමනාවක් තියෙනවා කිව්වොත් ඒක බොරු නෙවෙයිනේ. විශේෂයෙන්ම දැන් කාලේ විදිහට ගත්තත්, අපිට එක්කෝ කොහොම හරි සාර්ථක වෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම ගොඩක් අයට තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න සිහින තියෙනවා. දැන් ඔය වොරන් බුෆේගේ, ජැක් මාගේ, ස්ටීව් ජොබ්ස්ගේ එහෙම චරිත කතා කියවලා අපිටත් හිතෙනවා ඇයි අපිටත් ඒ විදියට වැඩ කරලා ජීවිතේ දිනන්න බැරි කියලා. ඇත්තටම එහෙම පුළුවන්.
හැබැයි ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ නෑ. ඇයි? එක්කෝ අපිට ඒ අවශ්‍ය දක්ෂතාවය නෑ, එහෙම නැතිනම් මඟ පෙන්වීම නෑ. ගොඩක් වෙලාවට අපි එහෙම අති සාර්ථක මිනිස්සු නොවී, සාමාන්‍ය කවුරුත් නොදන්න කෙනෙක් විදියට මැරිලා යන්නේ අපිට අවශ්‍ය කඩාගෙන බිඳගෙන කාගෙන වැඩ කරන හැකියාව නැති නිසා. ඇත්තටම දක්ෂතාවය පවා එහෙම වැඩ කරලා ලබාගන්න ඕනෙ දෙයක්නේ. මේකට ප්‍රධානම හේතුවක් තමයි ගොඩක් අයට තියෙන වැඩ කල්දැමීමේ පුරුද්ද. හරි, වැඩ කල්දැමීමේ පුරුද්ද අත්හැරලා හෙට කරන්න තියෙන දේ අද වෙනකොටම ඉවර කරලා, ෆුල් ඩම් එකෙන් ඉස්සරහට යන මිනිස්සුන්ට සාර්ථක වෙන්න පුළුවන්. අපි ඇත්තටම මීට කලින් කතා කරලත් තියෙනවා කොහොමද ජීවිතේ සාර්ථකත්වය අඩාළ කරවන වැඩ කල්දාන පුරුද්ද අත්හැරගන්නේ කියන එක ගැන.
හැබැයි ඒකට මූලික පියවර වෙන්නේ, තමන්ට ඇත්තටම මේ වැඩ කල්දාන, අද නෙවෙයි හෙට කියන බාලගිරි දෝෂය තියෙනවද කියලා දැනගන්න එක. ආන්න ඒ නිසා, අපි හිතුවා තමන්ටත් වැඩ කල්දාන පුරුද්ද තියෙනවද කියලා හොයාගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන කතා කරන්න.
අවධානය රඳවා ගැනීම ගැටලුකාරී වීම
වැඩ කල්දාන එක මානසික ගැටලුවක් විදියටම පවතින කෙනෙක්ගේ තවත් ලක්ෂණයක් තමයි, එයාට එක වැඩකට එක දිගට අවධානය රඳවා ගන්න අසීරු වීම. හැබැයි වරදවා වටහාගන්න එපා. අවධානය එක දිගට එක තැනකට රඳවාගන්න අසීරු වෙන්න වෙනත් කරුණු කාරණාත් තියෙන්න පුළුවන්. හැබැයි වැඩ කල් දාන කෙනෙක් තමන් කළ යුතු දේ කරනවා වෙනුවට වෙන දහසකුත් එකක් දේවල් කරන්න නොයෙකුත් හේතු තමන් නොදැනුවත්වම හොයාගන්නවා. උදාහරණයක් විදිහට වැඩක් ඉවර කරන්න තියෙද්දි, ෆේස්බුක් යන්න එයා තමන්ටම කියා ගන්න කාරණාව තමයි, අලුතෙන් රටේ ලෝකේ මොනවද වෙලා තියෙන්නෙ කියලා ෆේස්බුක් එකට ගිහිල්ලා දැනගන්න ඕනෙ කියන එක. හැබැයි ඇත්තටම රටේ ලෝකෙ දේවල් දැනගන්න එක වැඩ ඉවර කරලත් කරන්න පුළුවන්. ඒක ප්‍රමුඛතාවයකුත් නෙවෙයි. ඒත් එයාට එහෙම කරන එකෙන් ගැලවෙන්නත් බෑ. අන්න ඒක වැඩ කල් දමන කෙනකුගේ ලක්ෂණයක්.
ප්රමුඛතාවයන් තෝරා ගන්න අසමත් වීම
සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩ සැලසුම් කරනකොට, දවසේ කළ යුතු වැඩ ටික ලැයිස්තුගත කරනවා වගේම, ඒ වැඩවලින් ප්‍රමුඛතාවය හිමි විය යුතු වැඩ මොනවාද කියන එක හඳුනා ගන්නත් උනන්දු වෙන්න ඕනෙ. අන්න එතකොට තමයි හරිම කාර්යක්ෂමතාවයකින් දවසේ නියමිත වැඩ ටික ප්රමුඛතාවයන්ගේ අනුපිළිවෙළට ඉවර කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි වැඩ කල් දාන කෙනෙක්ට මේ ප්රමුඛතාවයන් අඳුනගන්න එක ගැටලුවක්. ගොඩක්ම වෙලාවට සිද්ධ වෙන දේ තමයි වැඩ කල්දාන ලක්ෂණ තියෙන කෙනෙක්, තමන් ප්‍රමුඛතාව දීලා කළ යුතු වැඩේ වෙනුවට, වෙනත් නොවැදගත්, පුංචි පුංචි බොරු වැඩ කරමින් බොරුවට කාලය ගත කරන එක.
පුද්ගලික ජීවිතයත් කල්දාන එක
අපි සාමාන්‍යයෙන් හිතනවා මේ වැඩ කල්දාන නරක පුරුද්ද තියෙන්නේ තමන්ගේ රාජකාරී වැඩ හෝ ඉගෙනුම් වැඩ සම්බන්ධයෙන් විතරයි කියලා. ඇත්තටම එහෙම නෑ. වැඩ කල්දාන පුරුද්ද තියෙන මනුස්සයෙක් තමන්ගේ පුද්ගලික ජීවිතයේ වැඩ කටයුතු වුණත් ඒ විදියටම කල්දාන ප්රවණතාවයක ඉන්නවා. උදාහරණයක් විදිහට කවුරු හරි නෑදෑයෙක්ට දුරකතන ඇමතුමක් දීලා බලන එක හරිම සරල, විනාඩි කිහිපයක් ගත වෙන වැඩක්. හැබැයි ඒ විනාඩි කිහිපය ගතවන වැඩේ වුණත් අපි කරන්නේ නැහැ සති ගාණක් යනකල්. ඒක කරන්න බෑ බෑ වගේ කියලා හිතනවා. සමහර වෙලාවට අපි ඒ වගේ සුළු වැඩක් කල්දාන්න නිදහසට කරුණුත් හදාගන්නවා. උදාහරණයක් විදිහට අපි හිතනවා ඒ නෑයාට කෝල් එකක් දීලා කතා කරන්න නම්, සම්පූර්ණයෙන්ම වෙන වැඩ නැති නිදහස් වෙලාවක් එනකල් ඉන්න ඕනෙ කියලා. හැබැයි ඒක තමන්ටම කියාගන්න බොරුවක්. ඇයි? තමන්ට ඇත්තටම තියෙන්නෙ වැඩ කල් දාන පුරුද්ද නිසා. අනාගතය ගැන අනවශ්‍ය විදිහට සිහින මවමින් විතරක් සිටීම
අපි හැමෝටම වගේ අනාගත සිහින තියෙනවනේ. ඒ කියන්නේ, අනාගතයේ මම ලෝක ප්‍රකට නිර්මාණ ශිල්පියෙක් වෙනවා, අනාගතයේ මම හොඳට මුදල් හොයාගෙන ලෝකෙ රටවල් දකින්න යනවා. මගේ රැකියාවෙන් ඉහළටම ගිහිල්ලා සමාගමක ප්‍රධාන විධායක නිලධාරියෙක් වෙනවා. ඔන්න ඔය වගේ හීන ඕනෙම කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඇත්තටම එහෙම හීන තියෙන එක හොඳයි. හැබැයි අපි ඒ හීන සාක්ෂාත් කර ගන්න නම්, අද ඉඳන්, දැන් ඉඳන්, මේ මොහොතේ ඉඳන් ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කරන්න ඕනෙ. තමන්ගේ අනාගත අරමුණුවලට යන්න සැලසුම් ක්‍රියාත්මක කරන්න ඕනෙ. කැපවීමෙන් වැඩ කරන්න ඕනෙ. හැබැයි අපි හිතමු අපි හැමදාමත් කරන්නේ වාඩි වෙලා අනාගතේදී තමන්ට වෙන්න ඕනෙ කොයි වගේ වගෙ කෙනෙක්ද, අනාගතයේ තමන් ඉන්න ඕනෙ කොහොම තැනකද කියන එක ගැන නොනවත්වාම සිහින මවන එක විතරයි කියලා. ඒ වෙනුවෙන් වැඩ කිරීම හැමදාමත් හෙට පටන් ගන්න ඕනෙ කියලා හිතනවා කියලා. ඒක තමයි වැඩ කල් දැමීමේ පුරුද්ද කියන්නේ. මතක තියාගන්න. සිහින දැකීම සහ සිහින වෙනුවෙන් දැන් ඉඳන්ම වැඩ කිරීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක්.
තේරුමක් නැති නිදහසට කාරණා
සාමාන්‍යයෙන් අපි වැඩ කල් දානවා කියන්නේ, අපිට වෘත්තීය ජීවිතයේදී හෝ අධ්‍යාපන ජීවිතයේදී ප්‍රශ්නවලට ඉක්මනින් හෝ ප්‍රමාද වෙලා හෝ මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක. හැබැයි වැඩ කල්දාන රෝග ලක්ෂණ තියෙන කෙනෙක්, ඒකට විවිධ නිදහසට හේතු හදාගන්නවා. “අය්යෝ අද පැය පහක් පවර් කට්, ඉතින් ඉතුරු වෙලාව වැඩ කළාට වැඩක් නෑ, ඔන්න ඔහේ හෙටම ඔෆිස් වැඩ ඉවර කරනවා”. එහෙම නැතිනම් “ඊයෙ ට්‍රිප් එක ගිහිල්ලා ඇවිල්ලා අද ඇඟ ටිකක් රිදෙනවා වගේ, ඒ නිසා හෙටම වැඩ කරනවා”. එහෙමත් නැතිනම් “දැන් රෑ වෙලා, මේක ලොකු වැඩක් නිසා මේක ෆ්‍රෙෂ් පිට පටන් ගන්න ඕනෙ, ඒ නිසා හෙටම පටන් ගන්නවා”. හැබැයි නිකමට හිතලා බලන්න. ඔය හැම අවස්ථාවකදීම අපිට ඇඟ ටිකක් රිදුණත්, වැඩ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ පැය දෙකක් වුණත්, පැය පහක් පවර්කට් තිබ්බත්, ඕනෙ නම් වැඩවලින් කොටසක් හරි ඉවර කරන්න පුළුවන්. හැබැයි අපි නිදහසට හේතු කිය කිය වැඩේ පටන් ගන්න එක කල්දාන්නේ, වැඩ කල්දැමීම ඇබ්බැහියක් වෙලා නිසා.
එලාම් එකටවත් අවනත නොවීම
දැන් අපි උදේට නැඟිටින්න එලාම් එක තියෙනවනෙ. එලාම් එකෙන් කරන්නේ අපිව ඇහැරවන එක. සමහරු එක පාරක් ඇහැරිලා ආයි නිදාගන්න නිසා ඒ අය එලාම් දෙක තුනක්, වේලාවන් කිහිපයකට තියාගන්නවා. හැබැයි අපි හිතමු එලාම් එකට ඇහැරිලා, ආයෙ නිදාගන්නෙත් නැතුව, ඒත් නැඟිටින්න කම්මැලියි වගේ නිසා, එලාම් එක ඕෆ් කර කර ඇඳට වෙලා පෙරළි පෙරළි ඉන්නවා කියලා. ඒක ගොඩක් දුරට වැඩ කල්දාන ඇබ්බැහියේ ලක්ෂණයක්.
සෝෂල් මීඩියා
සමාජ මාධ්‍ය ජාල නැතිනම් සෝෂල් මීඩියා කියන්නේ ඇත්තටම නරක දෙයක් නෙවෙයි. හැබැයි අපි සෝෂල් මීඩියාවල තමන්ගෙ වැඩ අතපහු කරගෙන රැඳිලා ඉන්නවනම්, ඒ සෝෂල් මීඩියාවල රැඳිලා ඉන්න කාලය ඇතුළත කිසිම ඵලදායි දෙයක් සිද්ධ වෙන්නෙත් නැත්නම්, ඒක වැඩ කල් දැමීමේ ඇබ්බැහියේ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. සමහරු මේකටත් නිදහසට කාරණයක් හදාගන්නවා, මම ෆේස්බුක් ගියාට එකේ චැට් කර කර කමෙන්ට් කර කර කාලය ගත කරන්නේ නැහැනෙ කියලා. හැබැයි එයා කරන්නේ ඔහේ ෆේස්බුක් එකේ උඩට පල්ලෙහාට යන එක. ඒක වැඩ කල් දැමීමේ පුරුද්ද තියෙනවා කියන ලක්ෂණයක් තමයි.
මේ පුරුදුවලින් ඈත් වෙලා සාර්ථකත්වය කරා වැඩකළොත් ඔයාටත් හොඳ අනාගතයක් තියේවි.