වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
ලස්සන ලෝකයක් වෙනුවෙන් ලස්සනට හිතන්න...
ලෝකය ලස්සන වී ඇත්තේ විවිධත්වය නිසයි. සියලු ම දේ එකම ආකාර වූවා නම් එකාකාරී බවක් ඇති වේ. එමෙන්ම ලෝකයේ වෙසෙන පුද්ගලයන් සතුව ද විවිධාකාර වූ දක්ෂතා හා හැකියාවන් ඇත. අප අද අත්දකින මේ ලෝකය ගොඩනැගී ඇත්තේ මේ සියලු දක්ෂතා පිරි මිනිසුන්ගේ දායකත්වයෙනි.
නමුත් අපේ බොහෝ දෙනකුගේ සිත් තුළ අධිමානය හා හීනමානය පවතී. අධිමානය මෙන්ම හීනමානය ද අපට හානිකර ය. මම මහා දක්ෂයෙක්. මම තමයි මේ ලෝකෙ හොඳම රැකියාව කරන්නේ... අනිත් මිනිස්සු කරන්නේ මට වඩා පහත් රැකියා. ඔවුන් මට වඩා අඩු පඩියක් ගන්නේ.. පහසුකම් මට වඩා අඩුයි.. මට සල්ලි තියෙනවා.. මම තමයි ලස්සන ම කෙනා, අනිත් අය මට වඩා කැතයි...' ආදී ලෙස සිතීම මේ අධිමානයේ ලක්ෂණයකි.
'මට ඉතිං සල්ලි නෑනේ.. මම කැතයි.. මගේ රස්සාව තමයි ලෝකේ තියෙන නරකම රස්සාව. මම තමයි මේ ලෝකේ වැඩියෙන් ම දුක් විඳින කෙනා. මට කිසිම දක්ෂකමක් පිහිටලා නෑ.. මට වඩා අනිත් අය ලස්සනයි.. දක්ෂයි..' ලෙස සිතීම හීනමානයයි.
අද අප සමාජයේ ගැවසීමේ දී නිරන්තරයෙන් අපට හමුවන්නේ මේ අන්ත දෙකට මැදි වූ මිනිසුන් ය. තමා කරන රැකියාව, උගත්කම, රූපය, ආර්ථික තත්ත්වය, පවුල් පසුබිම ආදිය නිසා උඩඟුකමින් හැසිරෙන පුද්ගලයන් ඔබටත් හමුවී ඇති. බොහෝ විට මෙවැන්නන් නිසා අනෙක් පුද්ගලයන් අපහසුතාවට පත්වේ.
අපට ඇත්තේ ඉතාමත් කෙටි ජීවිත කාලයකි. ඒ කාලය තුළ ඉතාමත් සරලව, සතුටින් අනෙක් අයට ද වදනින් හෝ උදවු උපකාර කරමින් ජීවත් වීම සැබෑ ජීවත් වීමයි. වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, ගුරු වැනි වෘත්තීන් සමාජයේ ඉහළ වෘත්තීන් ලෙස සිතීමට බොහෝ අය පෙලඹී සිටිති. නමුත් යමකුගේ රාජකාරියකින් ඔහුගේ හෝ ඇයගේ වැදගත්කම මිනිය නොහැකිය.
පෙර රජ දවස ද කුල බෙදුණේ ඔවුන් කළ වෘත්තීන් අනුව ය. නමුත් අද සමාජය ඊට වඩා වෙනස් ය. තමා කරන වෘත්තීය උසස් ලෙස සලකා අන් අයට පහත් ලෙස සැලකීම එතරම් සුදුසු දෙයක් නොවේ.
වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, ගුරු වැනි වෘත්තීන් මෙන්ම ගොවියන්, ව්‍යාපාරිකයන්, විදුලි උපකරණ අලුත්වැඩියා කරන්නන්, පාවහන් අලුත්වැඩියා කරන්නන්, පාරවල් අතුගාන වෘත්තීන් ද එකකට එකක් නොදෙවැනි වන සේ වැදගත් ය.
අසනීප වූ විට ඖෂධ ලබා ගැනීමට වෛද්‍යවරයා අවශ්‍ය වේ. රෝහලේ සුළු සේවකයන් විසින් රෝහල පිරිසුදුව තබා ගැනීමෙන් එහි හිතකර පරිසරයක් හා වෛද්‍ය හෙද නිලධාරීන්ට හොඳින් සේවය කිරීමට හැකි වේ.
පාරවල් අතුපතු නොගා අපවිත්‍රව කසල සමඟ තිබීමෙන් අප අවට පරිසරය අවලස්සන වේ. උදෑසන නගරයේ පාරක ගමන් කරන ඔබට නගරය පිරිසුදු කරන්නන් සිදු කරන සේවය හොඳින් ම වැටහේවි. නගරය පිරිසුදුව ලස්සනට තබන්නට ඔවුන් කරන රැකියාව වෙනත් රැකියාවකට වඩා වටිනාකමින් අඩු යැයි තක්සේරු කරන්නේ කෙසේද?
ගොවීන්ට ගොවිතැන් කරන්නට බැරි වුවහොත් අපට ආහාර අහේනියක් ඇතිවේ. බැංකු කටයුතු කරන්නට බැංකුකරුවන් සිටිය යුතුය. සමාජයේ පවතින සෑම වෘත්තියක් ම සමාජයට අත්‍යවශ්‍ය සේවාවන් සපයයි.
පාසල් ගුරුවරයකුට වඩා විශ්වවිද්‍යාල මහාචාර්යවරයා වටින්නේ යැයි අපට කිව නොහැකිය. මන්ද විශ්වවිද්‍යාලය දක්වා යාමට අධ්‍යාපන සුදුසුකම් ලබා ගන්නේ පාසල් ගුරුවරයාගෙන් වන නිසයි.
මේ සෑම වෘත්තියක් ම එකිනෙක හා බැඳී පවතී. සමස්ත සමාජය ම පවතින්නේ මේ අන්‍යෝන්‍ය බැඳීම මතයි. මෙය දම්වැලක පුරුක් වැනි ය. එක් පුරුකක් ගිලිහුණ විට සමස්ත දම්වැල ම කැඩී බිඳී යයි.
එම නිසා අප කුමන වෘත්තියක නියැළුණත් අප කරන වෘත්තීය අවංකව, කැමැත්තෙන්, කැපවීමෙන් සිදු කිරීමට හැකි විය යුතුය. එමෙන්ම අනෙක් වෘත්තීන්වලට ද ගරුත්වයක් ඇතිව කටයුතු කළ යුතුය. වෘත්තීය කුමක් වුවද මනුෂ්‍යත්වය පෙරමුණේ තබා කටයුතු කිරීම වඩාත් මානුෂීය වේ.
එක් එක් වෘත්තීන්ට එක් එක් ආකාරයට නොසලකා හැමදෙනාට ම එකසේ සැලකීමට හැකි ලෙස අපේ මනස විවෘතව තබා ගත යුතුය. වෘත්තීය නොව, වැදගත් වන්නේ එම වෘත්තීය කරන පුද්ගලයා බව මතක තබා ගන්න. ඇතැම් විට අපට ඉහළ යැයි සම්මත වෘත්තීන්හි නියැළෙන්නන්ට වඩා පහළ යැයි සම්මත වෘත්තීන් කරන අය පිහිට වන අවස්ථා තිබිය හැකියි.
හැකි සෑම විටෙකම ඔබේ කාර්යාලයේ ඔබේ කාර්යයන්ට සහය දෙන සුළු සේවකයන්ට, වැසිකිළි පවිත්‍ර කරන්නන්ට වෙනස් ආකාරයකට නොසලකා ඔවුන් සමඟ සිනාසෙන්න. 'ගුඩ් මෝනිං', 'කෑම කෑව ද?' ආදී ලෙසින් එක් වදනකින් හෝ අසන්න. එය ඔබ හිතනවාට වඩා ප්‍රතිඵලයක් ඔබටත් එම සේවකයාටත් ලබා දේවි.
අප හැම මිනිසුන් සේ සිතා සෑම ජීවිතයක ම වටිනාකම එක බැව් සිතන්න. අප සකසා ගත යුත්තේ අප සිතන පතන ආකාරයයි. ලෝකය කොතරම් ලස්සනදැයි එවිට ඔබට සිතේවි.