ජීවිතය ම recycle කර ගනිමු

අප්‍රේල් 18, 2022

 

නව වසරක් කියන්නේ නැවුම් පැතුම් දොරට වඩින කාලයක්. ඒ පැතුම තමන්ගේත් පවුලේත් රටේත් පරිසරයේත් යහපතට හේතුවන ප්‍රාර්ථනා වෙන තරමට සැබෑවට ම නව වසර සුබ ම සුබ වෙනවා.

 

අලුතින් ජීවිතයට යමක් පැරැණි අත්දැකීම්වලින් හා පැරැණි දේවලින් එක්කර ගෙන අලුත් ප්‍රාර්ථනා ඇති කරගන්න බැරිද ? එය දිවිය ම රිසයිකල් හෙවත් ප්‍රතිචක්‍රීකරණය කිරීමක් වගෙයි. ප්‍රතිචක්‍රීකරණය කිරීම ( recycle )කියන්නේ අරපිරිමැස්මට සමාන තවත් එක් වදනක් කීමට ද පුළුවන්.

අපේ මුතුන් මිත්තන් ප්‍රතිචක්‍රීකරණය ජීවිතය සරුසාර කර ගැනීමට යොදා ගත් අවස්ථා එමටයි. අතීතයේ ගෘහණියක් පොල් ගහෙන් වැටෙන වියළි පොල් අත්තෙන් පවා උපරිම ප්‍රයෝජනයක් ලබා ගත්තා. වට්ටිය, පෙට්ටිය පමණක් නොව කොසු ඉදල් නිර්මාණය ද ‍ගෙවත්තේ පොල් ගසක් තිබෙන ගෘහණියකට ගැටලුවක් වූයේ නැහැ.

ඇඳීමට බැරි තරම් චීත්තය පැරැණි වූ විට ගෘහණියක් එය ඉවත දැම්මේ නැහැ. අත් පිස්නාවකට හෝ පාපිස්නාවකට ‍හෝ යොදා ගත්තා.

ගැලවී යන කෙස් ගස් ටික පවා එක්කර හවරියක් සැදුවා. එහෙත් කාලයා ගේ ඇවෑමෙන් අරපිරිමැස්ම තවත් අතකින් පැවසුවොත් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ පුරුද්ද නැතිවී ගොසින්. ස්මාට් ෆෝනයේ වහලියන් වී දවස කා දැමීම වැඩි දෙනකු ගේ පුරුද්දයි. ඇඳුමක සුළු පළුද්දක් සකස් කිරීමට ඇති නො හැකියාව නිසා අලුත් ම අලුත් ඇඳුම් පවා වරක් දෙවරක් ඇඳ වීසි කරනවා. අද කාන්තාවන් වැඩිදෙනෙක් කමිසයක බොත්තමක් ගැලවුණත් මසා ගැනීමට කම්මැලියි. අපේ කාන්තාවන් එසේ වුවත් රජ සැප විඳින රජ පවුල්වල අය ප්‍රතිචක්‍රීකරණයෙන් මොන තරම් ආශීර්වාදයක් ලොවට ලබා දෙනවාද ?

බ්‍රිතාන්‍ය රජ පවුලේ කුමරියන් තම ඇඳුම් recycle කිරීමට රුසියන්ය. ඔවුන් අඳින ඇඳුම්වල සුළු වෙනස්කම් කර නැවත අඳින වාර අනන්තය. ඇතැම් රාජකීය ඇඳුම් වසර ගණනාවකට පසු නැවත අඳියි. එහෙත් අපේ බොහෝ කාන්තාවන් එක් මඟුල් ගෙයකට ඇඳි ඇඳුම යළි ඇඳීමට මැලිකමක් දක්වයි. කේට් මිඩ්ල්ටන් කුමරිය වාගේම ඩයනා කුමරිය ද ඇඳුම් ප්‍රතිචක්‍රීකරණය කළ රාජකීය වනිතාවන් අතර පෙරමුණේ සිටියි.

දැන් කාර්යාල ආපන ශාලා බොහොමයක ප්ලාස්ටික්, දිරාපත්වන දේ වීදුරු කටු වැනි දේ බැහැර කිරීමට බඳුන් තිබ්බත් නිවෙස් බොහොමයක එවැනි බඳුන් නැත. දිරාපත්වන දේ බඳුනක මාස ගණනක තබා ඇති විට සෑදෙන්නේ කාබනික පොහොරය. වෙළෙඳ පොළෙන් කාබනික පොහොර මිලදී නො ගෙන මල් පැළ, එළවළු පැළවලට එවැනි පොහොර යෙදිය හැකියි.