වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කෙසෙල්වලින් රස වෑහෙන කෑමබීම
සෞම්‍යය දේශගුණයකට හිමිකම් කියන නිවර්තන කලාපීය රටක් වන අප රට ඕනෑම භෝගයකට සුදුසු පොළොවක් සහිත පින් බිමකි. මෙහි පැළයක් රෝපණය වන්නට ඵලදාවක් ලබන්නට ලොකු වෙහෙසක් දැරීමට අවශ්‍ය නැති තරම්. අප එතරම්ම සරු බිමක උරුමක්කාරයන්.
කෙසෙල් කියන්නේ අප රටේ ඕනෑම ප්‍රදේශයක, ඕනෑම නිවෙසක දක්නට ලැබෙන පලතුරක්.
ඕනෑම පරිසරයකට ඔරොත්තු දෙන කෙසෙල්වලින් අපට ලැබෙන්නෙත් ඉහළ පෝෂණීය අගයක්. කෙටි කාලයකින් ඵලදාව ලබාගන්නත් පුළුවන් ඉතා පි‍්‍රයජනක පෝෂ්‍යදායී පලතුරක්.
ළදරු අවධියේ පටන්ම කෙසෙල් ආහාරයට ගන්නා නිසා ටිකක් ලොකු වෙද්දි නම් කෙසෙල් පලතුරක් විදිහට ගන්නට දරුවන් අකැමැතියි. ඉතින් ඒ වගේ වෙලාවට කෙසෙල් යොදාගෙන මේ වගේ වෙනස් වෙනස් ආහාර සකසා දරුවන්ට දෙන්න පුළුවන්.
රසයෙන් වගේම ගුණයෙනුත් අනූන කෙසෙල් මිශ්‍ර ආහාර වට්ටෝරු කිහිපයක් තමයි අද අප ඔබට තිළිණ කරන්නේ.
ළදරු පාසලට යන දුවට පුතාට වගේම පාසල් යන දරුවන්ටත් මේ ආහාර සුදුසුයි.
ආහාර ජීර්ණයටත් පිටිවහලක් වන කෙසෙල් සෑම නිවෙසකම පාහේ ආහාර වේලෙන් පසුව ගන්නා ලාභදායීම පෝෂණ ගුªණය ලෙසත් හඳුන්වන්න පුළුවන්.
උපදෙස්
ප්‍රවීණ සූපවේදිනී
සුනේත්‍රා ඒකනායක
******************
බනානා විප් (Banana Whip)
කෙසෙල් ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු පලතුරක්. නමුත් කෙසෙල් කන්න අකැමැති සමහර වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද සිටිනවා.
මෙය අයිස් ක්‍රීම් ආකාරයෙන් පිළියෙල කර දුන් විට කෙසෙල්වලට අකැමැති ඔවුනුත් කෙසෙල් කන්න ආසා වේවි.
අවශ්‍ය ද්‍රව්‍ය
ඉදුණු කෙසෙල් ගෙඩි 4 ක්
දෙහි යුෂ තේ හැඳි 1 ක්
ඕට්ස් මේස හැඳි 4 ක්
නැවුම් කිරි කෝප්ප 3 ක්
සීනි ස්වල්පයක්
සාදාගන්නා අන්දම
ඉදුණු කෙසෙල් පොතු ඉවත් කර කුඩා කැබැලිවලට කපාගන්න. එය බ්ලෙන්ඩරයට දමා එයටම දෙහි යුෂ, ඕට්ස්, කිරි දමා සීනි ස්වල්පයක් ද දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න. මෙය සුදුසු බඳුනකට දමා හැන්දක් සමඟ ආහාරයට පිළිගන්වන්න. පෝෂ්‍යදායී උදේ ආහාරයකට වඩාත් සුදුසුයි. බත්, පාන් කෑමට අකැමැති කුඩා දරුවන්ට මෙය වඩාත් සුදුසුයි.