සත්ත්ව ලෝකයේ සුරතලුන් එක්ක උපන්දිනය සමරමු

අප්‍රේල් 3, 2023

 

හුරුබුහුටි පුංචි පැටවු සත්තුන්ට පුදුමාකාර තරම් ආදරෙයි. දඟලන දුව පනින මේ සතුන් දෑතින් අල්ලන්නට, ආදරෙන් බදාගෙන සිප වැලඳගන්නට විතරක් නෙමේ ළඟ තියාගෙන හුරතල් කරන්නටත් ඔවුන් හරිම කැමැත්තක් දක්වනවා.

 

ඉතින් ඒ ආදරණීය සුරතල් සත්ත්ව ලෝකය තමන්ගේ උපන් දිනය දවසේ කේක් එක සරසන්නට පැමිණියහොත් ඔවුන්ට ඇතිවන සතුට ගැන කියන්න වචන නෑ නේද?

ඉතින් සැබෑවටම සෙනෙහෙබර මවක් වූ ඔබට මේ වගේ හුරුබුහුටි සත්ත්ව රූප සහිත කේක් එකක් ඔබේ පොඩිත්තාගේ උපන්දිනයට නිර්මාණයකර දිය හැකි ඔවුන්ගේ සතුට සියැසින්ම දැක ගත හැකි වේවි.

 

* කිලෝ ග්‍රෑම් එකේ රවුම්  තැටියක සාදාගත් චොකලට් කේක් 2ක්

* බටර් අයිසිං අවශ්‍ය පමණට

* ෆොන්ඩන්ට් අයිසිං

* අවශ්‍ය ආහාර වර්ණක

* පළමුව කිලෝ ග්‍රෑම් එකේ තැටියේ සාදාගත් කේක් දෙක හොඳින් නිවෙන්නට හරින්න.

* අනතුරුව නිවාගත් කේක් දෙකෙහි බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරගන්න.

* කේක් දෙක එක මත එක තබා වටේටත් අයිසිං ක‍රගන්න.

* ඉන්පසුව සුදු පාට ෆොන්ඩන්ට් අයිසිං හොඳින් තුනී කරන්න.

* එය පරෙස්සමට කේක් එක මත එළා ගන්න.

* මෙලෙස ෆොන්ඩන්ට් එළා ගත් පසු අළු පැහැයේ ෆොන්ඩන්ට් තීරුවක් කපා එය වටා රූපයේ ඇති ආකාරයට ඩිසයින් කරන්න.

* මේ ඒ සඳහා ඔබට රවුම් කුකී කටර් එකක රැලි සහිත පැත්ත යොදාගත හැකියි.

* ඉන්පසුව කොළ පාට වර්ණ කිහිපයකින් මෙහි දැක්වෙන කොළ වර්ගවල හැඩතල කපා ගන්න. ඒ සඳහා වෙළෙඳපොළේ විවිධ මෝල්ඩ් සහ කටර් වර්ග තිබේ.

* එලෙස කපාගත් කොළවලට කම්බි එනම් ගේජ් 22 කම්බි ඇතුළත්කර හොඳින් වියළෙන්නට ටික වේලාවක් පසෙකින් තබන්න.

* දැන් දේදුන්නට අවශ්‍ය වර්ණ සහිත අයිසිං ටිකක් සාදාගන්න.

* එම අයිසිං යොදාගෙන සාමාන්‍ය ප්‍රමාණයේ රවුමක් වටා පාට පාට අයිසිං පටි රෝල්කර එකින් එකට අලවා ගන්න.

* මෙහිදී පළමුවෙන්ම දේදුන්නේ දම් පාටින් අලවා ගන්න පටන් ගන්න.

* දේදුන්න ද හොඳින් වියළෙන්නට තබා පසුව කේක් එකට අලවා ගන්න.

* මෙහි දැක්වෙන සියලුම සත්ත්ව රූප හැකි නම් ඔබේ හැකියාව කුසලතාව මත තමන්ගේ අතින්ම සකසා ගන්නට උත්සාහ කරන්න.

* එසේ කිරීමට අපහසු නම් මෝල්ඩ් භාවිත කරමින් මේ සත්ත්ව රූප සකසා ගන්න.

* සාදාගත් අයිසිං සතුන් මෙහි දැක්වෙන ආකාරයට හෝ ඔබගේ රුචිකත්වය පරිදි කේක් එකට අලවා ගන්න.

* අනතුරුව කලින් සකසා වියළෙන්නට තැබූ කොළ වර්ග ටික අවශ්‍ය පරිදි කේක් එකට තබා සවිකරගන්න.

* චොක්ලට් කේක් කුඩු හෝ වියළා කුඩු කරගත් දුඹුරු පාට ෆොන්ඩන්ට් කුඩු කේක් එක මත ඉසින්න.

* මේ කේක් නිර්මාණයේ කේක් සත්ත්ව රූප ටූත් පික් හෝ කෙබාබ් ස්ටික් ආධාරයෙන් සිටුවා ගන්න. නැතහොත් කේක් එක එහා මෙහා ගෙන යාමේදි ඒවා වැටී කැඩෙන්නට ඉඩ තිබේ.

* එමෙන්ම මෙම නිර්මාණ කේක් එක මත ඇලවීම සඳහා එඩිබල් ගම් භාවිත කළ යුතුය. එය සාදා ගැනීමට වතුර මේස හැඳි දෙකකට තයිලෝ පවුඩර් තේ හැන්දක් දමා හොඳින් මිශ්‍ර කරන්න. එවිට ඔබට පහසුවෙන් මෙම ගම් එක සාදාගත හැකියි.

 

උපදෙස් -

අප්ලන්ඩ් කේක් ඇන්ඩ් ඇකඩමිහි

කේක් නිර්මාණ ශිල්පිනී

චතූ රත්නායක