හරිම රසට නිවැරැදියට කේක් එකක් ගෙදර හදමු

ජුනි 5, 2023

කවදාවත් කේක් හදලා නැති, කේක් හදන එක හරිම අමාරුයි කියලා හිතන, ඒත් ඒකට උනන්දුව තියෙන යුවතියන් වෙනුවෙන් කේක් පාඩම අලුතින් පටන් ගන්න අපි හිතුවා. කේක් එකක් හැදුවොත් වරදියි කියලා හැමදාමත් වැඩේ කල් දමන ඔයාලා වෙනුවෙන් සරල කේක් කිහිපයක් මේ විදිහට රැගෙන එනවා. ඒ විතරක් නෙවෙයි කේක් හදනකොට වරදින තැන් වාගේම කේක් සැකසීමේදී ඇතිවන ගැටලුවලට විසඳුම් ලබා දෙන්නත් අපි සූදානම්.

 

ඔන්න එහෙමනම් මුලින්ම අපි කියලා දෙන්නෙ රසම රස බටර් කේක් එකක් සාදා ගන්නෙ කොහොමද කියලයි. ආදරණීය දියණියන්ට විතරක් නොවේ සූප ශාස්ත්‍රයට ළැදියාවක් දක්වන පුතාලටත් එක්ක තමයි මේ කේක් පිටුව වෙන් වන්නේ.

 

* බටර් ග්‍රෑම් 250ක්

* පිටි ග්‍රෑම් 250ක්

* සීනි ග්‍රෑම් 250ක්

* වැනිලා තේ හැඳි දෙකක්

* බිත්තර හතරක්

* බනානා එසන්ස් බිංදු දෙකක්

* බේකිං පවුඩර් තේ හැඳි දෙකක්

* කිරි මේස හැඳි දෙකක්

 

* වියළි බඳුනක් ගෙන එයට බටර් හා සීනි දමා හොඳින් ගසාගන්න.

*  දැන් එම මිශ්‍රණයටම බිත්තරයක් එක් කරමින් ගසාගන්න.

*  අනතුරුව තවත් බිත්තරයක් එකතු කරමින් ගසාගන්න. මේ ආකාරයට වරින්වර බිත්තරය බැගින් එකතුකර සියල්ල හොඳින් ගසාගන්න.

*  එයටම වැනිලා එකතු කරන්න.

*  බිත්තර මිශ්‍රණය පසෙකින් තබා පිටි සහ බේකිං පවුඩර් එකට මිශ්‍රවන පරිද්දෙන් හොදින් හලා ගන්න.

*  දැන් බටර්, සීනි, බිත්තර මිශ්‍රණයට හළා ගත් මේ පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. එසේත් නැත්නම් මඳ වේගයෙන් බීට් කරගන්න.

*  ඉන්පසුව කිරි ටික ද එකතුකර කලවම් කරන්න.

*  දැන් කිලෝ එකේ කේක් තැටියක් ගෙන බේකිං පේපර් එකක් අතුරා සකස් කරගෙන ඒ මතට කේක් මිශ්‍රණය දමන්න.

*  විනාඩි 8කට විතර කලින් රත් කරගත් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 40ක් බේක් කරන්න.

*  හොඳ සුවඳක් හමමින් කේක් එක බේක් වූ පසුව එය අවන් එකෙන් පිටතට ගෙන හොඳින් නිවෙන්නට හරින්න.

 

චම්පා වරුසප්පෙරුම

 

---------------------------------------

තේ මේසෙට රුලං දෝසි

 

* රුලං ග්‍රෑම් 200ක්

* සීනි ග්‍රෑම් 250ක්

* සිහින්ව ගාගත් පොල්ග්‍රෑම් 30ක්

* වතුර කෝප්ප 1/4ක්

* වැනිලා තේ හැන්දක්

* බටර් මේස හැන්දක්

* කැමති වර්ණයකින්

ආහාර වර්ණක බිංදු 2ක්

 

 

 

*  මුලින්ම බේකිං පේපර් එකක් දාලා තැටියක් ලෑස්තිකර පසෙකින් තබාගන්න.

*  රුලං ටික කබලේ බැදගන්න.

*  දැන් බැදගත් රුලං ටික වෙනත් භාජනයකට අයින් කරලා, ඒ බඳුනටම සීනි එකතු කරන්න.

*  එයටම වතුරත් එකතු කර සීනි ටික දිය කර උණු කරගන්න.

* සීනි ටික හොඳින් උණු වී උතුර ගෙන එද්දී එයට පොල් ටික ද එකතු කරන්න.

*  ඉන්පසුව මිශ්‍රණයට රුලං ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරන්න.

*  වැනිලා හැන්දක් ද එකතු කරන්න.

*  සියල්ලම හොඳින් කලවම්කර කැමති වර්ණයක් එකතු කරන්න.

*  මේ මිශ්‍රණය ගණ වෙලා ගුළියක් වගේ වෙද්දි බටර් ටිකත් එයට එකතු කරන්න.

*  අනතුරුව බඳුන ළිපෙන් ඉවතට ගෙන මුලින්ම බේකිං පේපර් දමා සකසා ගත් තැටියට එක්කර තුනී කරගන්න.

*  යන්තම් නිවෙන්න හැර කෑලි කපාගන්න.

*  ඉන්පසුව හොඳින් නිවුණු පසු පරෙස්සමට කෑලි වෙන් කරගන්න.

 

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මා හි

ප්‍රවීණ සූපවේදිනි ජනනී ගුරුසිංහ

 

 

 

--------------------------------------------

cake tips

 

කේක් එකක් සෑදීමේදී අපි එයට භාවිත කරන බිත්තර පිළිබඳ සැලකිලිමත් විය යුතුමයි. මන්ද ඔබ භාවිත කරන්නේ ප්‍රමාණයෙන් පුංචි බිත්තර නම් බිත්තර 5ක් යොදාගත යුතු අතර, සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර නම් 4ක් ගන්න.

 

කේක් එකක් සාදන විට බිත්තර එකතු කළ විගසම වැනිලා එකතු කරන්නට අමතක කරන්න එපා. එවිට බිත්තරවලින් හමන දුගඳ එහෙමත් නැතිනම් පිළී ගඳ එන්නේ නෑ.

 

වැනිලා රසින් යුත් බටර් කේක් එකක් සෑදීමේ දී හැකිනම් එසන්ස් බිංදුවක් දෙකක් එකතු කරන්න. එවිට වඩාත් රසවත්.

 

සකසා ගත් කේක් මිශ්‍රණයට නැවුම් කිරි හෝ පිටිකිරි ටිකක් දියකර එකතු කරන්න. එවිට කේක් එක මෘදු වේ.