බත් පතට හරි මිතුරු කටට රස අච්චාරු

නොවැම්බර් 28, 2022

 

දින දසුනේ පිටු ගැලවී ගොස් වර්ෂාවසාන කාලය උදා වෙමින් පවතී.ඒත් එක්කම වසර අග උත්සවශ්‍රීයත් ඇරඹේ.කිතුනුවන් මහත් හරසරින් සමරන නත්තල් උත්සවය වගේම නව වසරක ආරම්භයටත් තව ඇත්තේ සති කිහිපයක් පමණි. ගෙවී ගිය කාලයේ බොහෝ දෙනාට නෑදෑ හිත මිතුරන් සමඟ කාලය ගත කරන්නට එතරම් ඉඩකඩක් ලැබුණේ ද නැත. එබැවින් මේ ලැබෙන කාලයේ තරමක් විවේකයක් හෝ ලැබුණහොත් ඔවුන් සමග පුංචි විනෝද චාරිකාවක් යාමට වුව සූදානම් කරගත හැකියි.ඒ සඳහා මෙන්න මේ අච්චාරු කිහිපය නි‍ෙවසේදී ඔබේම දෑතින් සාදා ගෙන යා හැකිදැයි බලන්න. එතරම් මිලක් වැය වන අමුද්‍රව්‍ය නැති බැවින් ඕනෑම තරාතිරමක කෙනකුට මේ අච්චාරු හදාගන්න පුළුවන්. එයින් පැරණි මතකයන් අලුත් කරගන්න අමතක කරන්න එපා.

 

පෙර රජ දරුවන් ආහාර රුචිය වැඩි වීමටත් නීරෝගි වීමටත් රටඉඳි තමන්ගේ ආහාරයට එකතු කරගෙන තිබෙනවා.ආයුර්වේදයේ මේ රටඉඳි හඳුන්වා දෙන්නේ මදුර ත්‍රිඵලා කාණ්ඩයට අයත් වටිනා ඖෂධයක් ලෙසයි. බොහෝ අරාබි රටවල සහ යුරෝපයේ රටවල උදෑසන ආහාරයට එකතු කර රටඉඳි ගැනීම අනිවාර්ය වී තිබෙනවා. රටඉඳිවල විටමින් A, B, B1,B2, C, තයිමින් සහ තන්තු වර්ග 14ක් අඩංගු වෙනවා. ඉතින් ඔයාල කවදාවත් හිතුවද මේ කුඩා රටඉඳි ගෙඩියක මෙතරම් පෝෂණ ප්‍රමාණයක් ඇතැයි කියා. ඔන්න එහෙනම් අද අපි රටඉඳි අච්චාරු සාදාගන්නා අන්දම කියා දෙන්නයි මේ සූදානම.

රට ඉඳි අච්චාරු

රටඉඳි අච්චාරු හදන්න ඔයාලට මෙන්න මේ දේවල් අවශ්‍ය කරනවා.

 

රටඉඳි ග්‍රෑම් 500ක්

රතුලූනු ග්‍රෑම් 100ක්

අමු මිරිස් කරල් ග්‍රෑම්100ක්

ඉඟුරු සුදුලූනු

මේස හැඳි 2ක්

අබ කුඩු මේස හැඳි 1/2 ක්

රස අනුව ලුණු කුඩු ස්වල්පයක්

ගම්ම්රිස් කුඩු සේවල්පයක්

කරාබු නැටි 4-5ක්

කුරුඳු පොඩි කැබැල්ලක් විනාකිරි කප් 1ක් පමණ

තෙල් මේස හැඳි 2ක්

මිරිස් කුඩු මේස හැඳි 1/2 ක් (තමන්ට කැමැති පරිදි)

 

 

අච්චාරුව මෙන්න මේ විදියට සාදා ගනිමු

 

ඔබ මුලින්ම රටඉඳි ඇට ඉවත් කර හතරට කපා ගන්නේ නම් වඩාත් හොඳයි. දැන් භාජනයකට විනාකිරි භාගයක් පමණ දමා ගන්න. ලුණු කුඩු තේ හැඳි එකක් ද දමා රත් වුණු පසුව පොතු ඉවත්කර සෝදා ගත් රතුලූනු බික් දෙකක් පමණ දමා ගන්න. එය රෝස පැහැය වූ පසුව ඉවත් කරගන්න. අමුමිරිස් කපා දමා විනාඩියක් තම්බා ඉවතට ගන්න. ඔන්න දැන් ඔයාලා ඊළඟට භාජනයක් අරගෙන ඒකට අවශ්‍ය පමණ තෙල් දමා ගන්න. තෙල් රත් වූ විගස ඉඟුරු ,සුදුලූනු,කරාබුනැටි, කුරුඳුපොතු එකතු කරගන්න. විනාඩි පහක් පමණ පිසගෙන නිවෙන්නට තබා ගන්න. ඉන්පසුව සූදානම් කරගත් රට ඉඳි, රතුලූනු, අමුමිරිස් ඔබට අවශ්‍ය පමණ රස අනුව ලුණු කුඩු ස්වල්පයක් ද ගම්මිරිස් ස්වල්පයක්ද එකතු කරගන්න. ඉන් පසුව මේ සියල්ල මැටි භාජනයකට හෝ වීදුරු බෝතලයකට දමා ප්‍රයෝජනයට ගත හැකියි.

*******************

සුදු ලූනු අච්චාරු

සුදුලූනු අච්චාරු කියන්නේ

ඈත අතීතයේ සිටම ආහාර රසවත් කරන්න භාවිත කරන දෙයක්. ඒත් ඇත්තටම සුදුලූනු කියන්නේ ආහාර රසවත් කිරීමට වඩා ඉහළ ප්‍රයෝජනවත් දෙයක් කිවුවොත් නිවැරැදියි. එමඟින් ඔබ පීඩා විඳින බොහෝමයක් රෝගවලින් මිදෙන්නටත් හැකියි. ඔබට නිතර නිතර උණ, ප්‍රතිශ්‍යාව වැලඳෙනවා නම් මෙන්න මේ විදියට අච්චාරුවක් හා සාදාගෙන ආහාරයට එකතු කර ගතහොත් ඔබට සැබෑ ම සුවයක් ළඟා කරගත හැකියි. මේ විස්මිත ඖෂධීය ගුණය සතු සුදුලූනු අච්චාරුවක් හදාගන්නේ මෙන්න මෙහෙමයි.

 

සුදුලූනු අච්චාරුව සාදා ගැනීමට මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනවා.

සුදුලූනු ග්‍රෑම් 250ක්

අබ කුඩු මේස හැඳි 2ක්

රස අනුව ලුණු ස්වල්පයක් ගම්මිරිස් කුඩු ස්වල්පයක් මිරිස් කුඩු මේස හැඳි 3 - 4 ක් උළුහාල් තේ හැඳි 1/2ක් ඉඟුරු මේස හැඳි 1ක් විනාකිරි කප් 1ක් හෝ 1 1/2ක්

හකුරු ග්‍රෑම් 50ක් හෝ සීනි ග්‍රෑම් 50ක් පමණ

තෙල් ස්වල්පයක්

 

සුදු ලූනු අච්චාරු මෙන්න මේ විදියට සාදා ගැනීම ඉතාම පහසුයි

 

පළමුව සුදු ලූනු පොතු හොඳින් ඉවත්කර සෝදා වතුර පෙරා තෙත්ව වියළී යන තුරු පිරිසුදු රෙදි කඩකින් පිස දා ගන්න. දැන් පෑන් එකකට තෙල් මේස හැදි 5-6ක් දමා මඳ ගින්නේ රත් වූ පසුව සුදු ලූනු දමන්න. එය තරමක් දුඹුරු පැහැය වනතුරුත් මඳඩගින්නේ බැදගන්න. රන්වන් පැහැයට හුරු පෙනුමක් ලැබෙන තුරු බැද ගත්තහම ආහාර රුචිකත්වය වැඩි කරගන්න පුළුවන්. දැන් මෙය නිවෙන්නට තබන්න. භාජනය ලිප තබා තෙල් මේස හැඳි 5-6ක් එකතු කරගන්න. ඒ විගසම එයට උළුහාල් ඉඟුරු දමා පසුව මිරිස්කුඩු එකතු කරගන්න. මෙහිදී ඔබ ඉතා අඩු ගින්දර තබාගන්නත් මතක තබා ගත යුතුයි. ඉන්පසු විනාකිරි, හකුරු හෝ සීනි රස අනුව ලුණු අවශ්‍ය ප්‍රමාණයට ගම්මිරිස් එකතු කරගන්න.මඳ ගින්නේ උයාගෙන සූදානම් කරගත් සුදුලූනු මෙයට එක් කර ගන්න. පෙර මිශ්‍රණයේ සුදු ලූනු සමඟ හොඳින් මිශ්‍ර කළ යුතුයි. පසුව උණු වතුරෙන් තම්බා වේලාගත් පිරිසුදු බෝතලයකට මේ සියල්ල දමන්න. දවස් දෙක තුනකින් පාවිච්චියට ගත හැකියි. ඔබට මෙය කල් තබා ගැනීමට ශීතකරණයක තබා ගත හැකියි.

******************

ඌරු මස් අච්චාරු

උත්සව සමයට මස් මාළුවලින් සාදන අච්චාරුවලට වැඩි ඉල්ලුමක් තිබෙනවා. කල්තබා ගන්න වුණත් හැකියි. ගෙදර තියෙන පුංචි පුංචි සාදයකට වුවත් මෙන්න මේ ආකාරයේ ඌරු මස් අච්චාරුවක් සාද ගත්තොත් එහි රස විඳිය හැකියි. ඇණවුම් කර නි‍ෙවසට ගෙන්වා ගන්නවට වඩා තමන්ගේම නිවෙසේ මෙවැනි අච්චාරුවක් සාදා ගත්තොත් එහි පිරිසුදුබව රසය දෙගුණ තෙගුණ කර ගත හැකියි.

 

ඉතිං අපි බලමු ඌරු මස් අච්චාරු හදාගන්න මොනවද ඕන කරන්නේ කියලා

 

ඌරු මස් ග්‍රෑම් 500ක් (තෙල් කොටස් නොමැති නම් වඩාත් සුදුසුයි)

ඉඟුරු, සුදු ලූනු මේස හැඳි 2-3ක්

විනාකිරි කප් 2-3ක්

කහ කුඩු ස්වල්පයක්

රස අනුව ලුණු කුඩු ගම්මිරිස් කුඩු ස්වල්පයක් අමුමිරිස් ග්‍රෑම් 150 ක් (ඉදුණු අමුමිරිස් වඩාත් සුදුසුයි) රතුලූනු ග්‍රෑම් 150ක්

අබ කුඩු මේස හැඳි 2-3ක් මිරිස් කුඩු මේස හැඳි 2ක්

කරාබුනැටි 5-6ක් කුරුඳු කැබැල්ලක්

තෙල් මේස හැඳි 2ක් පමණ සීනි ස්වල්පයක්

 

මෙන්න මේ විදියට ඌරු මස් අච්චාරුවක් හදාගන්න පුළුවන්.

 

මුලින්ම ඌරු මස් අඟලේ කුට්ටිවලට කපා ගෙන හොඳින් සෝදා ගෙන භාජනයකට දමන්න. ඉන්පසුව කහ කුඩු, රස අනුව ලුණු අවශ්‍ය පරිදි ගම්මිරිස් ස්වල්පයක්, විනාකිරි කප් භාගයක් පමණ දමා මිශ්‍ර කර එයට වතුර කප් දෙක තුනක් එකතුකර පසෙකින් තබා ගන්න. දැන් භාජනයක් ළිපේ තබා එයට පෙර මිශ්‍රණය දමන්න. මෙහි වතුර සිඳෙන තුරුත් එය මඳක් රන්වන් පාට වනතුරුත් හොඳින් පිසගන්න. දැන් වෙනත් භාජනයකට විනාකිරි සහ ලුණු දමා එය රත් වී ගෙන එන විට රතු ලූනු එකතු කරන්න. රතුලූනු රෝස පැහැය ගැන්වීමක් ඔබට පෙනේවි. එවිට ලූනු ටික ඉවත් කර අමූමිරිස් දමා විනාඩි දෙක තුනක් තම්බාගන්න. නැවත භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත් වූ විට ඉඟුරු, සුදුලූනු, කරාබුනැටි,කුරුඳු, අබ කුඩු, මිරිස් කුඩු,කහ කුඩු එකතු කර තරමක් බැදගන්න. දැන් මේ මිශ්‍රණයට නැවත විනාකිරි, රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු එකතු කර පෙර සූදානම් කරගත් ඌරු මස්, රතුලූනු, අමුමිරිස් මිශ්‍රණය එකතු කර ඔබේ රුචිකත්වය පරිදි සීනි ස්වල්පයක්ද එකතු කරන්න. දැන් ලිපෙන් බා නිවෙන්නට හරින්න. බෝතලේකට දමා ගන්න. දවස් දෙකකට පසු ආහාරයට ගත හැකියි. අවශ්‍ය නම් ශීතකරණයේ තබා ප්‍රයෝජනයට ගත හැකියි.

*******************

බී ලූනු සහ ගෝවා අච්චාරු

 බී ලූනු කියන්නේ ඕනෑම නිවෙසක පහසුවෙන් සොයා ගන්න පුළුවන් දෙයක්. ඒ විතරක් නෙමෙයි බී ලූනුවල අපේ ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග රාශියක් අන්තර්ගත වෙලා තිබෙනවා. විටමින් b, c සහ k එහි අඩංගුයි. ඒ වගේමයි හුඟක් අය දන්නේ නැහැ මේ බී ලූනුවලින් මිනිස් සිරුරේ ලේ කැටි ගැසීම වළක්වන බව,රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පහත දමන්නට හැකි බව.

 

ඒ වගේම තමයි ගෝවා කියන්නේ හොඳ විසබීජ නාශකයක්. සන්ධි ඉඳිමීම, තුවාල මගින් ඇතිවන තත්ත්වයන් හා ප්‍රතික්‍රියා කිරීම,පිළිකා නැසීමේ විශේෂ ගුණ ගෝව සතුයි. මළබද්ධය වළකයි. එසේම මේ ගෝවා සහ බී ලූනු එකතු කරගනිමින් රසවත් අච්චාරුවක්ද සෑදිය හැකියි. බලන්නකො, ඔබත් මෙවැනි අච්චාරුවක් සාදාගෙන එය කෙතරම් ප්‍රණීත ද කියා.

 

මේ අච්චාරුවට මෙන්න මේ දේවල් අවශ්‍ය වෙනව

බී ලූනු ග්‍රෑම් 250 ක්

ගෝවා ග්‍රෑම් 250ක්

ඉඟුරු සුදු ලූනු මේස හැඳි 2ක්

රස අනුව ලුණු කුඩු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු ස්වල්පයක්

කරාබුනැටි 4-5ක්

කුරුඳු කැබැල්ලක් 3-4ක්

අඹ කුඩු මේස හැදි 1ක් මිරිස් කුඩු මේස හැඳි 2ක් හාල් පිටි මේස හැඳි 3-4ක් තෙල් මේස හැඳි 3-4ක්

 

අච්චාරුව මෙන්න මේ විදියට හදා ගන්න

ඔයාලා මුලින්ම බී ලූනු පොතු හැර හොඳින් සෝදා ඒවා හතරට කපා ගන්න. ගෝවා ගෙඩිය ලොකු කෑලි සිටින සේ කපා ගන්න. දැන් භාජනයකට විනාකිරි ස්වල්පයක් දමා එයට ලුණු ස්වල්පයක් එකතු කර ගන්න. මෙය රත් වූ විට බී ලූනු දමා ගන්න. විනාඩි 5-10 ක් පමණ තම්බාගන්න. ගෝවා තම්බා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. භාජනයකට තෙල් දමා රත්වූ විට ඉඟුරු, සුදුලූනු කරාබුනැටි කුඩු,මිරිස් කුඩු දමන්න. දැන් විනාකිරි වලින් හාල් පිටි දියකර ගම්මිරිස් කුඩු දමා මිශ්‍රණය පුරවාගත් පසු ලිපෙන් ඉවතට ගෙන තරමක් නිවෙන්නට ඉඩහරින්න. තම්බාගත් බි ලූනු, ගෝවා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් සීනි ස්වල්පයක් එකතු කර ගත හැකියි. විනාකිරි පදමට එකතු කරගන්න. මෙය වියළි බෝතලයකට දමා දවස් දෙකකින් ප්‍රයෝජනයට ගත හැකියි.