නත්තලේ අසිරිය රැඳි විශේෂිත ආහාර

දෙසැම්බර් 5, 2022

 

මේ සීතල උඳුවප් මාසයේ ආරම්භයයි. කිතුනු බැතිමතුන් අසිරියෙන් සමරන නත්තලේ උදාවයි. මේ දෙසැම්බර් මාසය පුරාවටම නත්තලේ අසිරිය රැඳී තිබෙන අතර නත්තලට ලක ලැහැස්ති වන්නන්ගෙන් වෙළෙඳපොළ පිරී ඉතිරී යාවි. එපමණක් නොව ගෘහණියක වූ ඔබ මේ උත්සව සමයේ නිවෙසට ගොඩවදින අමුත්තන් වෙනුවෙන් විශේෂිත ආහාර පාන සූදානම් කරන කාලවකවානුවකි.

 

ඒ නිසාම කවදත් ඔබට ළෙන්ගතු තරුණී මෙවර ප්‍රණීත කෑම අතිරේකය හරහා සුවිශේෂී ආහාර කිහිපයක් පිරිනමන්නට අදහස් කළා. රසය, ගුණය මෙන්ම අපූරු පෙනුමක් ද සහිත මේ කෙටි ආහාර තේ පැන් සංග්‍රහයකට වාගේම සරල රාත්‍රී ආහාර වේලක් සඳහා වුවද පහසුවෙන් පිළියෙල කරගත හැකියි.

 

තරුණීට කවදත් සෙනෙහසේ දෝත දිගු කරනා ප්‍රවීණ සුපවේදිනී වරුණි පෙරේරා මෙවර සුවිශේෂිත කෑම අතිරේකය පිරිනැමීමත් තවත් විශේෂත්වයකි. 'තරුණී - වරුණි' යනු කාලාන්තරයක් පුරාවටම එකට බැඳී සිටි අපූරු සුසංයෝගයකි. එබැවින් නැවතත් ඇය තරුණී සමඟ අත්වැල් බැඳ ගැනීම මහත් වූ සතුටකි.

 

එමෙන්ම ඇයගේ අතින් පිළියෙලවන සුවිශේෂී රස ගුණ පිරි අලුත්ම කෑම ඉදිරියේදීත් ඔබ වෙනුවෙන් ගෙන ඒමට ලැබීමත් අපට ඉමහත් ආඩම්බරයකි.

 

 

සොසේජස් චීස් රිංග්

සවස් කාලයේ තේ සාදය රසවත් කරන්නට කදිමට ගැළපෙන්නකි මේ සොසේජස් චීස් රිංග්. කටට රසට හැපෙන සොසේජස් සහ චීස් මනාව ගළපමින් සකසනා නිසාම පුංචි පැටවුන් ආසාවෙන් රස විඳීවි. පොඩිත්තන් සේම තරුණ, වැඩිහිටි කොයි කවුරුත් කැමැතිවන මේ කෙටි ආහාරය උණු උණුවේම සකසා ගත් විට ඉතා අපූරුය.

 

සොසේජස් චීස් රිංග් සැකසීමට නම් පළමුව ෆ්ලේකි පේස්ට්‍රිය සකසා ගත යුතුයි. ඒ නිසා මුලින්ම අපි මේ පේස්ට්‍රිය සකසා ගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය

 

ෆ්ලේකි පේස්ට්‍රිය සඳහා

පාන් පිටි ග්‍රෑම් 250ක්

පෆ් මාගරින් ග්‍රෑම් 150ක්

ලුණු තේ හැඳි 1/2ක්

සීනි තේ හැඳි 1ක්

දෙහි යුෂ තේ හැඳි 01ක්

අයිස් වතුර ස්වල්පයක්

 

සොසේජස් චීස් රිංග් සඳහා

සොසේජස් අවශ්‍ය පමණට

චීස් අවශ්‍ය පමණට

බිත්තරයක්

මෙයෝනේස්

පාස්ලි ස්වල්පයක්

බටර් ස්වල්පයක්

ඔබ කැමැති වර්ගයේ සෝස් වර්ගයක්

 

දැන් අපි ෆ්ලේකි පේස්ට්‍රිය සාදා ගනිමු

පළමුව පාන් පිටි ටික බඳුනකට දමන්න. දැන් මාගරින් ග්‍රෑම් 150 කොටස් හතරකට බෙදා ගනිමින් එක් කොටසක් පිටිවලට එකතු කරන්න. අනතුරුව සීනි, ලුණු සහ දෙහි යුෂ ද මේ පිටි බඳුනට දමා අයිස් වතුර ටිකෙන් ටික එකතු කරමින් හොඳින් අනාගන්න.

 

ඉන්පසුව මේ පිටි මිශ්‍රණය හොඳින් තුනීකර කොටස් තුනකට වෙන් කරන්න. එයින් කොටස් දෙකකට මාගරින් දමා කොටස් තුනම එකට නවාගන්න. මේ ආකාරයට තුන්වරක් තුනී කරමින් මාගරින් එකතු කරමින් නවාගෙන පේස්ට්‍රිය හොඳින් තුනී කරගන්න. සෝස් ටිකක් ද එකතු කරන්න. සොසේජස් ටික ද රන්වන් පාටට බැද පසෙකින් තබන්න.

දැන් නැවතත් පේස්ට්‍රි හොඳින් තුනී කර එයට චීස් සහ මෙයෝනේස් තවරාගන්න. පාස්ලි ටිකක් ද පොඩියට කපා දමා සොසේජස් තබා රෝල් කරන්න. අනතුරුව කැබලි කපාගන්න.

රවුම් තැටියක් ගෙන බටර් හෝ මාගරින් ස්වල්පයක් තවරාගන්න. කපාගත් පේස්ට්‍රියේ සොසේජස් කැබැලි උඩට සිටින සේ තැටිය වටේටම තබන්න. අනතුරුව මඳක් ගසා ගත් බිත්තර සාරු ද එහි තවරාගන්න. අංශක 180ට උදුන රත්කර විනාඩි 30ක් 35ක් පමණ බේක් කරන්න.

 

ඉන්පසුව පාස්ලිවලින් සරසා මේසයට යවන්න.

 

 

----------------------

ෆිෂ් බොන් බොන්

නත්තල් කෑම මේසයට වාගේම කෙටි ආහාරයක් ලෙසින් තේ මේසයට ද එකතු කරගත හැකි මේ ෆිෂ් බොන් බොන් හරිම රසවත්. ඒ වාගේම අපූරු සැරසිල්ලක් ලෙසින් අමුතුම කළඑළියක් ද එකතු කරාවි. ෆ්ලේකි පේස්ට්‍රියත්, තම්බාගත් මාළු, අල ආදිය මිශ්‍ර කරගෙන සකසාගන්නා නිසාම කටට රස වාගේම පෝෂණ ගුණයත් ඉහළයි. විශේෂයෙන්ම ඒකාකාරී කෑම රසය ප්‍රතික්ෂේප කරන ඔබේ පොඩිත්තන්ට වාගේම වැඩිහිටියන්ටත් මේ ෆිෂ් බොන් බොන් අපූරු තිළිණයක්ම වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් මාළු ග්‍රෑම් 250ක්

තම්බාගත් අල ග්‍රෑම් 250ක්

අමු මිරිස් කරල් 2 -3ක්

බී ලූනු ගෙඩි 02ක්

තරමක ප්‍රමාණයේ කැරට් අලයක්

සැල්දිරි ටිකක්

ලුණු තේ හැඳි 1/2ක්

තළාගත් සුදුලූනු තේ හැඳි 1ක්

ගම්මිරිස් තේ හැඳි 1/2ක්

මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

අමු තුනපහ කුඩු තේ හැඳි 1/2ක්

තක්කාලි සෝස් මේස හැඳි 1ක්

රස පදමට චීස්

පොල්තෙල් තේ හැඳි 4ක්

සකසාගත් ෆ්ලේකි පේස්ට්‍රිය

බිත්තරයක්

සැරසීමට

පාස්ලි ස්වල්පයක්

කැරට්, තක්කාලි, බීට් ආදියෙන් කපාගත් මල් කිහිපයක්

 

සාදාගන්නේ මෙහෙමයි

පළමුවෙන්ම මාළු ටික තම්බා කටු ඉවත්කර සිහින්ව පොඩි කරගන්න. අල ටික ද තම්බා පොතු ඉවත්කර හොඳින් පොඩි කරගන්න. අනතුරුව බඳුනක් ළිප තබා එයට පොල්තෙල් තේ හැඳි 4ක් දමන්න. තෙල් රත් වීගෙන එනවිට තළාගත් සුදුලූනු ටික දමන්න. ඉන්පසුව එයටම සිහින්ව ලියාගත් බී ලූනු, අමු මිරිස්, කැරට්, සැල්දිරි ආදිය දමා හොඳින් මිශ්‍ර කරන්න.

 

දැන් පොඩි කරගත් මාළු ටික ගෙන එයට ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, තුනපහ සියල්ලම මිශ්‍ර කරන්න. අනතුරුව මේ මාළු ටික ඉහත මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරන්න. තම්බා පොඩි කරගත් අල, තක්කාලි සෝස් ද එකතුකර මිශ්‍රණය ළිපෙන් ඉවතට ගන්න. අවසානයට චීස් ටික ද මිශ්‍ර කරන්න.

 

ඉන්පසුව කළින් සකසා ගත් ෆ්ලේකි පේස්ට්‍රිය ගෙන එය හොඳින් තුනී කරගන්න. සකසා ගත් මාළු මිශ්‍රණය සහිත පිරවුම එහි මැදට තබා රෝල් කරන්න. පේස්ට්‍රිය දෙපැත්තෙන් ටිකක් ඉඩ තබා බොන් බොන් ටොෆියක් ආකාරයට පෙනෙන පරිද්දෙන් සකසා ගන්න.

 

දැන් උදුනක තැබිය හැකි තැටියක මේ බොන් බොන් එක තබා බිත්තර සාරු තවරා ගන්න. චීස් ටිකක් ද උඩින් ඉස විනාඩි 35ක් පමණ බේක් කරගන්න.

 

පසුව උදුනෙන් පිටතට ගෙන පාස්ලි, කැරට්, බීට්, තක්කාලි ආදියෙන් ඔබ කැමැති පරිදි සරසා මේසයට යවන්න.

---------------------------

මැකරෝනි සලාද

බත් වෙනුවට ආහාරයට ගත හැකි මැකරෝනි, පැස්තා, ස්පැගති, නූඩ්ල්ස් වාගේ දේවල්වලට අපි කවුරුත් වැඩි රුචිකත්වයක් දක්වන්නෙමු. ඒ නිසාම බොහෝවිට විශේෂ කෑම මේසයකට බත්, මස්, මාළු, ව්‍යංජනවලට අමතරව මෙවැන්නක් එකතු කිරීමට බොහෝදෙනකු පුරුදුව සිටිති.

 

නත්තල් කෑම මේසයට එකතු කළ හැකි මේ මැකරෝනි සලාදය ද එවැන්නකි. සැරසිල්ලක් ආකාරයට සකසා ගත් විට එය කෑම මේසයට ද කදිම කලඑළියක් රැගෙන ඒවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් මැකරෝනි

මෙයෝනේස් ස්වල්පයක්

ගම්මිරිස් ස්වල්පයක්

රස පදමට ලුණු

බටර් හෝ මාගරින් පාස්ලි ටිකක්

රස අනුව චීස්

තම්බාගත් බිත්තර

අවශ්‍ය නම් අබ ක්‍රීම් ටිකක්

 

සැරසීමට

සලාද කොළ

දෙහි යුෂ ස්වල්පයක්

 

සාදාගන්නේ මෙහෙමයි

බඳුනක් ළිප තබා එයට බටර් හෝ මාගරින් ස්වල්පයක් දමන්න. එය රත් වීගෙන එනවිට ළිපෙන් ඉවතට ගෙන තම්බාගත් මැකරෝනි ටික එකතු කරන්න. එයටම ලුණු, ගම්මිරිස්, මෙයෝනේස්, දෙහි යුෂ, පාස්ලි අවශ්‍ය නම් අබ ක්‍රීම් ආදිය එකතු කර හොඳින් කලවම් කරන්න. රස පදමට චීස් ද මිශ්‍රකර රවුම් බඳුනකට දමා හොඳින් තද කරන්න. අනතුරුව මෙය ශීතකරණයේ තබා අවශ්‍ය වේලාවට පිටතට ගෙන අනෙක් පැත්ත හරවාගන්න. ඉන්පසුව තම්බා ගත් බිත්තර, බැදගත් සොසේජස්, සලාද කොළ, තක්කාලි ආදියෙන් හැඩ වැඩ කරගන්න.

----------------

චිකන් හැම් රැප් නත්තල් ගස

නත්තලේ අසිරි සිරිය කෑම මේසයට රැගෙන එන චිකන් හැම් රැප් නත්තල් ගසකි මේ. සවස තේ මේසයට සේම රාත්‍රී ආහාරය සඳහා වුවද සකසා ගත හැකි රැප් වර්තමානයේ තරුණ පිරිස බෙහෙවින්ම ප්‍රිය කරනා ආහාරයකි. මස්, මාළු, සැමන්, එළවළු මේ ඕනෑම රසයකට රැප් පිළියෙල කරන අතර මේ නත්තල උදෙසාම නත්තල් ගසක හැඩය එන පරිද්දෙන් සරසා ගත්තකි.

රැප් සැකසීම සඳහා පළමුව රොටිය සාදා ගත යුතුය. අනතුරුව එහි මැදට ඔබ කැමැති පිරවුමක් ඇතුළත් කළ හැකියි.

 

රොටිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

පිටි ග්‍රෑම් 200ක්

ලුණු තේ හැඳි 1/2ක්

පොල්තෙල් මේස හැඳි 02ක්

බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්

මඳ උණුසුම් ජලය ස්වල්පයක්

 

සාදන ආකාරය

පළමුව වියළි බඳුනකට පිටි ටික දමාගන්න. එයට ලුණු, පොල්තෙල් සහ බේකින් පවුඩර් මිශ්‍ර කරන්න. අනතුරුව මඳ උණුසුම් ජලය එකතු කරමින් අනාගන්න. අනාගත් මිශ්‍රණය විනාඩි 10ක් පමණ වසා තබන්න.

 

දැන් අපි පිරවුම සාදමු

අවශ්‍ය ද්‍රව්‍ය

චිකන් හැම් (අවශ්‍ය පමණට)

සලාද කොළ

චීස් ස්වල්පයක්

මෙයෝනේස් ටිකක්

 

සාදන්නේ මෙහෙමයි

සාදා පසෙකින් තැබූ පිටි මිශ්‍රණය ගෙන කුඩා බෝලවලට කඩාගන්න. අනතුරුව මේ බෝල රොටි ආකාරයට තුනී කර තැටියක දමා පුළුස්සා ගන්න.

දැන් පුළුස්සා ගත් රොටියක් ගෙන එයට මෙයෝනේස් තවරා ගන්න. ඊට උඩින් සලාද කොළ, චීස්, හැම් කුඩාවට කපාගත් තක්කාලි හෝ තක්කාලි සෝස් ආදිය දමන්න. පරෙස්සමට රොටිය රෝල් කරන්න. අඟල් දෙකක පමණ කැබැලිවලට කපාගන්න. අවසානයේ කපාගත් රැප් ටික පිඟානක හෝ බන්දේසියක් මත නත්තල් ගසක හැඩය දිස්වන ආකාරයට තබාගන්න. සලාද කොළ වලින් සරසා ගන්න.