චොකලට් රසයෙන් පවුලේ සැමටම

ජනවාරි 9, 2023

 

චොකලට් කියන්නේ පොඩි පැටවු වගේම වැඩිහිටියනුත් ආසාවෙන් රස විඳින දෙයක්. ඒ නිසාම බොහෝ දෙනෙක් උපන්දින කේක් සඳහා චොකලට් කේක් භාවිත කරනවා. ඒ විතරක් නෙමෙයි මේ කේක් සරසා ගන්නත් බොහෝ විට චොකලට් යොදා ගැනෙනවා. මේ තියෙන්නෙ ඒවාගේ කේක් එකක්. හැබැයි උපන්දිනයට නෙමෙයි මේ අලුත් අවුරුද්දේ නිවෙසට ගොඩවදින නෑ හිත මිතුරන්ට සංග්‍රහ කරන්න, එහෙම නැත්නම් පවුලේ සාමාජිකයන් සමඟ එකතු වෙලා රස විඳිය හැකි රසම රස කේක් එකක්.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

* රවුම් කේක් තැටියක් (ග්‍රෑම් 500)

 

* සාදාගත් චොකලට් කේක් කිලෝ 01ක් (ග්‍රෑම් 500 කේක් දෙකක් ලෙසින් සකසා ගන්න.)

 

* බටර් අයිසිං

 

* චොකලට් ගනාෂ් ස්වල්පයක්

 

* සරසා ගැනීමට වර්ග කිහිපයකින් චොකලට්

 

වෙළෙඳපොළෙන් මිලදී ගත් සුබ පැතුම් ටොපර් එකක්

 

සාදන ආකාරය:

 

* පළමුව ග්‍රෑම් 500 කේක් තැටියේ සාදාගත් කේක් දෙක හොඳින් නිවෙන්නට හරින්න.

 

* අනතුරුව එහි දුඹුරු පැහැ ගැන්වුණු කොටස් කපා ඉවත් කරන්න.

 

* කේක් දෙකේම බටර් අයිසිං තවරා සැන්ඩ්විච් කරන්න. ඔබට කැමැතිනම් මේ කේක් දෙක දෙකට කපා සැන්ඩ්විච් කරගන්නත් පුළුවනි.

* දැන් කේක් එක වටේටත් අයිසිං තවරා ගන්න.

* නැවත සම්පූර්ණ කේක් එකම බටර් අයිසිංවලින් කවර් කරගන්න. එය ඉතාමත් අලංකාරව දිස්වන පරිද්දෙන් ලස්සනට ෆැලට් නයිෆ් එකකින් ලෙවල් කරගන්න.

* ඉන්පසුව සාදාගත් චොකලට් ගනාෂ් එක පයිපිං බෑග් එකකට දමා කේක් එක වටේට හැඩට සිටින සේ වත් කරගන්න.

* අනතුරුව ඔබට අවශ්‍ය ආකාරයට කේක් එක උඩ චොක්ලට්වලින් අයිසිංකර චොකලට් ආදිය රඳවා සරසාගන්න.

* කේක් එක වටේටත් කැමැති පරිදි සරසා ගන්න.

* පිළිගැන්වීමට පෙර කේක් එක මත සුබ පැතුම රඳවාගන්න.

 

උපදෙස් -

කේක් නිර්මාණ ශිල්පිනී

චතූ රත්නායක

අප්ලන්ඩ් කේක්ස් ඇන්ඩ් ඇකඩමි