පුංචි බබාලට කෑම

ජනවාරි 30, 2023

 

දැන් ආයෙමත් පාසල් නිවාඩුව. ලොකු අයියලා, අක්කලා අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන නිසා නංගිලා, මල්ලිලාට මාසයක පාසල් නිවාඩුවක් ලැබුණා. මේ දවස්වල විභාගය ලියන දරුවෙක් නැති බොහොමයක් නිවෙස්වල සද්ද බද්ද , කෑකෝ ගැසීම් විතරක් නෙමෙයි පුංචි පුංචි රණ්ඩු සරුවල් නැත්තෙමත් නෑ. හැබැයි ඒ මොන දේ වුණත් පුංචි වෙලාවයි. ආයෙමත් පොඩ්ඩො ටික එකට එකතු වෙනවා.

 

ඉතින් දවස පුරාම දඟලන මේ පැටවුන්ට වරින්වර හැදෙන පොඩි බඩගින්නට ගැළපෙන අපූරු ආහාර වර්ග කිහිපයක් තමයි අද මෙලෙස පිරිනමන්නේ. අම්මයි බබාලයි කට්ටියම එකට එකතු වෙලා හදල බලන්නකො කොහොමද ප්‍රතිචාර කියලා.

 

හදමුද ගී බිස්කට් (ගිතෙල් බිස්කට්)

බිස්කට් කියන්නෙ පුංචි පැටවු වඩාත්ම ආසා කරන, පොඩි බඩගින්නට වැඩිහිටියන් පවා රසවිඳින කෙටි කෑමක්. ඒ නිසාම සෑම නිවෙසකම පාහේ ඕනෙම වෙලාවක බිස්කට් කියන දේ තියෙනවා. ඉතින් අපි මේ කියන්න යන්නේ හරිම ලේසියෙන් හදාගත හැකි බිස්කට් එකක් ගැන. මේකට ගොඩාක් අමුද්‍රව්‍ය අවශ්‍ය නෑ. හරි ඉක්මනින් හදාගන්නත් පුළුවනි. පුංචි පැටවු හරිම ආසාවෙන් රසවිඳිවි.

එහෙනම් බලමුකෝ මේ ගී බිස්කට් හදන්න මොනවද ඕනේ කියලා.

 

* පාන්පිටි ග්‍රෑම් 200ක්

* ගිතෙල් ග්‍රෑම් 100ක්

* අයිසිං සීනි ග්‍රෑම් 100ක්

* බේකිං පවුඩර් තේ හැඳි 1/4ක්

* වියළි පලතුරු කැබැලි හෝ වියළි මිදි

ස්වල්පයක් (අවශ්‍යම නැහැ)

 

 

 

* මුලින්ම ගිතෙල් ටික බඳුනකට දමා ළිප තබන්න. එය යාන්තම් රත්කර දිය කරගෙන පැත්තකින් තියාගන්න.

 

* ඉන්පසුව පාන්පිටි ටිකට බේකිං පවුඩර් මිශ්‍රකර දෙපාරක් හළාගන්න.

 

* අනතුරුව හළාගත් මේ පාන්පිටි ටික අයිසිං සීනි එකට මිශ්‍ර කරන්න.

 

* දැන් ගිතෙල් ටික ටික දමමින් හොඳට අතින් අනාගන්න. හැබැයි මේ මිශ්‍රණය ඩෝ එකක් වගේ එන්නේ නැහැ. නමුත් හරි පදම බලන්න නම් ඔයා මේ මිශ්‍රණයෙන් ටිකක් අරගෙන බෝල හදාගන්න පුළුවනිද කියලා බලන්න. බෝල හදාගන්න පුළුවනි නම් ඒක තමා හරි පදම.

 

* දැන් හොඳට අනා ගත්ත මේ මිශ්‍රණයෙන් ඔයාට කැමැති ප්‍රමාණයක් අරගෙන බෝල හදලා ඒවා ටිකක් තුනී කරලා තෙල් කඩදාසියක් උඩින් තියාගන්න. (මේ බෝල හදනවිට හොඳට අතින් තද කර කර හදාගන්න. නැත්තම් අල්ලපු ගමන්ම බෝල ටික කැඩෙන්න බලයි.)

 

* ඊටපස්සේ ඔයා කැමැති පලතුරු කැබැල්ලක් හෝ වියළි මිදි ගෙඩියක් තියලා අලංකාර කරගන්න. මේ පලතුරු කැබැලි බිස්කට් එක උඩ රඳවන විට පරිස්සමෙන් කිරීමට වගබලාගන්න. නැත්තම් මේ බිස්කට් කැඩෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි.

 

* දැන් හදාගත්ත මේ බිස්කට් ටික සෙල්සියස් අංශක 150 උෂ්ණත්වයෙන් විනාඩි 20ක් බේක් කරන්න. බේක් වනවිට බිස්කට් එක උඩ මඳක් පැලිලා වාගේ ලස්සන පෙනුමක් ඒවි.

බේක් වුණු බිස්කට් ටික අවන් එකෙන් පිටතට ගත් විගස අල්ලන්න එපා. එවිට කැඩෙන්නට ඉඩ තියෙනවා. පසුව හොඳින් නිවුණු බිස්කට් ටික වීදුරු බෝතලයකට දමා සුළං නොවදින සේ වසා තබන්න. එවිට අවශ්‍ය වේලාවට පිටතට ගෙන රසවිඳිය හැකියි.

 

---------------------------------------

බිත්තර නැතුව හදන ප්‍රංශ ක්‍රෙප්ස්

උදෑසන ආහාරයක් විදිහට එහෙමත් නැත්නම් සවස තේ පානය සඳහා හරි අපූරුවට ගැළපෙන ප්‍රංශ ක්‍රෙප්ස් තමයි මේ. සාමාන්‍යයෙන් මෙවැනි කෙටි ආහාර සඳහා බිත්තර මිශ්‍ර කළත් මෙහි විශේෂත්වය තමා බිත්තර මිශ්‍ර නොකර සකසා ගැනීම.

* පාන්පිටි කෝප්පයක්

* ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක්

* වතුර කෝප්ප 1/2ක්

* සීනි මේස හැඳි 2 1/2ක්

* දියකරගත් බටර් හෝ තෙල් මේස හැඳි 02ක්

* වැනිලා තේ හැඳි 02ක්

* පාන් පිටි, ෆ්‍රෙෂ් මිල්ක්, ජලය, සීනි, බටර්,වැනිලා සියල්ලම බ්ලෙන්ඩර් එකකට දමා හොඳට බ්ලෙන්ඩර් කරගන්න.

 

* දැන් නන්ස්ටික් තැටියක් ගෙන ළිප තබා රත් කරගන්න. බටර් හෝ පොල්තෙල් ස්වල්පයක් තවරාගන්න.

 

* ඉන්පසුව මුලින් බ්ලෙන්ඩර්කර සාදාගත් මිශ්‍රණයෙන් ස්වල්පයක් එයට දමා හොඳින් අතුරා ක්‍රෙප්ස් සාදාගන්න.

 

* ක්‍රෙප්ස්වල එක් පැත්තක් රන්වන් පැහැයට හැරුණුවිට අනෙක් පැත්ත හරවා තව ටිකක් වෙලා පුච්චාගන්න. මේවා උඩ සහ යට රන්වන් පැහැයට එනතෙක් පුළුස්සා ගත්විට කර කර ගා හැපෙන ක්‍රිස්පි ක්‍රෙප්ස් අතිශයින් රසවත්. නමුත් ඔබ ක්‍රිස්පි ගතියට එතරම්ම කැමැත්තක් නොදක්වන්නේ නම් සාමාන්‍ය ප්‍රමාණයට ක්‍රෙප්ස් පුළුස්සා ගන්න.

 

* දැන් අපට මේ ක්‍රෙප්ස් රසවත් පුරවනයක් සමඟ හෝ දවටනයක් සමඟ කෑමට එකතු කරගත හැකියි.

 

* මේ ක්‍රෙප්ස් සඳහා පහසු පිරවිල්ලක් ලෙස විපිං ක්‍රීම් තවරා රසවත් පලතුරු ජෑම් ලේයර් එකක් දැමිය හැකියි.

 

* ඊට අමතරව මුළුතැන්ගෙයි ඇති ඕනෙම වර්ගයක් මෙහි පිරවුම ලෙස භාවිතා කරන්න පුළුවනි. බටර් අයිසිං ෆ්‍රොස්ටින් (චීස්, චොකලට්), මූස් වර්ග, අයිස්ක්‍රීම්, නුටෙල්ලා හෝ පීනට් බටර්, ඔබ කැමති පලතුරු වර්ගයක් , යෝගට්, චීස්, බටර්, ජෑම් වර්ග, මී පැණි, විවිධ සෝස් වර්ග මේ ඕනෑම වර්ගයක් සමඟ ඔබට ක්‍රෙප්ස් රස විඳිය හැකියි.

 

* එමෙන්ම මේ ක්‍රෙප්ස්වලින් ලස්සනට කේක් වුණත් සකසා ගන්න පුළුවනි. ඔබ කැමැති ආකාරයේ පිරවිල්ලක් සමඟ ක්‍රෙප්ස් ටික අවසාන වෙනකම්ම උසට සිටින සේ සකසා කැමැති ආකාරයට ලස්සන කරගන්න.

 

-------------------------------------------

පාන් ටෝස්ට් මේ විදිහට හදමු

පොඩි බඩගින්නට හරිම ඉක්මනින් පහසුවෙන් ආහාරයට ගන්න දෙයක් තමයි පාන් කියන්නේ. බටර් හෝ ජෑම් ටිකක් ගාලා එහෙමත් නැතිනම් ටෝස්ට් කරලා කන පාන් මේ විදිහට හදලා බලන්න. පුංචි පැටවු ආසාවෙන් රස විඳීවි.

 

* පාන් පෙති දෙකක්

* බටර් මේස හැඳි 3 1/2ක් පමණ

* සීනි මේස හැඳි 1 1/2ක්

* චීස් පෙත්තක්

 

 

 

* මුලින්ම පාන් පෙතිවල හොඳින් බටර් ගා ගන්න. අනතුරුව පාන් පෙති දෙක මැදට චීස් පෙත්ත තබා වහන්න.

 

* දැන් බටර් මේස හැඳි 1 1/2කට සීනි මේස හැන්දක් දමා හොඳින් කලවම් කරන්න. ඉන්පසුව සකසාගත් පාන් පෙත්ත වටේටම මේ බටර් මිශ්‍රණය හොඳින් තවරාගන්න .

 

* බඳුනක් ළිප තබා රත් වීගෙන එනවිට එයට තව සීනි තේ හැඳි 1/2ක් දමා පොඩ්ඩක් කැරමල් වීමට අරින්න. අනතුරුව එයට මේ බටර් තැවරූ පාන් පෙත්ත දමා දෙපැත්තම රන්වන් පැහැ ගැන්වෙන සේ ටෝස්ට් කරන්න. මෙය හරිම ක්‍රිස්පි රසැති පාන් ටෝස්ට් එකක්.

 

* රස අනුව බටර් සහ සීනි ප්‍රමාණය තව වැඩි කරගත හැකියි.

 

* ඔබට චීස් වෙනුවට ඩාක් චොකලට් උණුකර තවරා, හීනියට කපාගත් කෙසෙල් ආදිය දමා ටෝස්ට් කරගත හැකියි.

 

* සේවරි රසයට කැමැති අය සඳහා චීස් සමඟ හැම් යොදා ටෝස්ට් කරන්න.

ඉදිරිපත් කිරීම - Bhagi's kitchen හි සූපවේදිනී

භාග්‍ය ගුණවර්ධන තෙන්නකෝන්