යස මතක රස කරන සුමිහිරිම අතුරුපස

සුවිශේෂී වැලන්ටයින් කෑම අතිරේකය
පෙබරවාරි 13, 2023

 

ආදරවන්තයින්ගේ දිනය පෙම්වතුන්ට සුවිශේෂී එකක් වුවත් එය සමරන්නේ පෙම්වතුන් පමණක්ම නොවේ. පවුලේ ආදරණීයයන් සමග වුවත් ඉතාම ළෙන්ගතු බවින් යුතුව වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීමට පුළුවනි. ආදරවන්තයින්ගේ දිනය රස මතකයක් බවට පත් කරගන්නට මේ අතුරුපස ඉවහල් වනවා නොඅනුමානයි.

 

චොකලට් මූස්

චොකලට් මූස් ඔබ ආසාවෙන් රස විඳින අතුරුපසක් වනවාට සැක නැහැ. එය ආදරවන්තයන්ගේ දිනයේ දී ඔබව තව තවත් රස ගන්වාවි.

 

ඩාක් කුකිං චොකලට් ග්‍රෑම් 160 ක් (පොඩියට කපාගන්න)

බිත්තර 3 ක්

සීනි ග්‍රෑම් 70 ක්

බටර් ග්‍රෑම් 50ක්

වැනිලා තේ හැඳි එකක්

 

 

* පළමුවෙන් චොකලට් ඩබල් බොයිල් කර හොඳින් දිය වූ පසු එයට බටර් ටික එකතු කර කලවම් කරගන්න.

* මද රස්නෙ දී ම වෙන්කරගත් බිත්තර කහ මඳ චොකලට් මිශ්‍රණයට එකතු කරගන්න.

* එයටම වැනිලා තේ හැන්දක් එක් කරන්න.

* පසුව වෙන්කරගත් බිත්තර සුදු මද හිම මෙන් බීට් කරගන්න.

* එයට සීනි ටිකෙන් ටික එකතුකර ගනිමින් නැවතත් බීට් කරගන්න.

* බිත්තර කහ මද එකතු කරගත් චොකලට් මිශ්‍රණය හොඳින් නිවුණු පසු එයට ගසාගත් බිත්තර සුදු මදය ද එකතුකර කලවම් කරගන්න.

* විනිවිද පෙනෙන වීදුරු භාජනයකට දමා පැය කිහිපයක් ශීතකරණයේ තබන්න.

* ස්ට්‍රෝබෙරිවලින් සරසා අමුත්තන්ට පිළිගන්වන්න.

 

--------------------------------------

ස්ට්‍රෝබෙරි පැනකොත්තා

ආදරවන්තයින්ගේ දිනයේදී රසවිඳිය හැකි හරි අපූරු අතුරුපසක්වන ස්ට්‍රෝබෙරි පැනකොත්තා ඉතාලියේ අතිශය ජනප්‍රිය වූවක්.සරලව පිළියෙළ කරගත හැකි මෙම අතුරුපස රාත්‍රි ආහාරවේල වඩාත් රස ගන්වාවී.

ෆ්‍රෙෂ් මිල්ක් ග්‍රෑම් 200 යි

ෆ්‍රෙෂ් ක්‍රීම් ග්‍රෑම් 500 යි

සීනි ග්‍රෑම් 500 යි

ජෙලටින් ග්‍රෑම් 18 යි

වැනිලා තේ හැඳි 1/2 යි (අවශ්‍ය නම් පමණි)

ස්ට්‍රෝබෙරි පියුරි සඳහා අවශ්‍ය දේ

ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 100ක්

සීනි ග්‍රෑම් 30ක්

 

 

පළමුව ජෙලටින් ටික අයිස් වතුර මිලිලීටර් 25කට පමණ දමා දියකර ගෙන පැත්තකින් තබන්න.

දැන් ෆ්‍රෙෂ් මිල්ක්, ෆ්‍රෙෂ් ක්‍රීම් සහ සීනි ටික බඳුනකට දමා අඩු ගින්දරේ රත් කරගන්න.හේ මිශ්‍රණය ළිපෙන් බාගෙන එයටම ජෙලටින් ටිකත් එකතු කරගන්න. සාදාගත් මිශ්‍රණය විස්ක් එකක් ආධාරයෙන් හොඳින් ගසාගන්න. මේ සියල්ල පෙරා ගන්න.ෆ්‍රෙෂ් මිල්ක්, ෆ්‍රෙෂ් ක්‍රීම්, සීනි, ජෙලටින් අඩංගු මිශ්‍රණයට වැනිලා තේ හැඳි භාගයක් පමණ දමන්න.එය ශීතකරණයේ තබන්න.

මීළඟට ස්ට්‍රෝබෙරි පියුරි සාදාගනිමු

ස්ට්‍රෝබෙරිවලට සීනි දමා අඩු ගින්දරේ පිස ගන්න. මේ සඳහා වතුර එක් කරන්නේ නැහැ. නිවුණු පසු එය බ්ලෙන්ඩර්කර පෙරාගන්න.

දැන් විනිවිද පෙනෙන බඳුනක් හෝ වීදුරුවක් ගෙන ෆ්‍රෙෂ් මිල්ක්, ෆ්‍රෙෂ් ක්‍රීම්, සීනි, ජෙලටින් දමා සාදාගත් මිශ්‍රණය පළමුව වීදුරුවට දමන්න. එය වයින් වීදුරුවකට වයින් දමන්නා සේ මෙන් ඇල කොට දමා ගත හැකියි. ඇල අතටම ශීතකරණයේ තබන්න. සෙට් වූ පසු ස්ට්‍රෝබෙරි පියුරි එකතු කරන්න.අවශ්‍ය නම් තට්ටු කිහිපයකට දමා ගත හැකියි.

මතුපිටට ස්ට්‍රෝබෙරි පෙති කිහිපයක් දමා සරසා ගෙන ස්ට්‍රෝබෙරි පැනකොත්තා පිළිගැන්වීමට පුළුවනි

--------------------

චොකලට් බ්‍රවුනීස්

චොකලට්වලින් පිළියෙල කරගත් අතුරුපස වලට බාල මහලු කොයි කවුරුත් එක වගේ කැමැතියි.

ආදරවන්තයින්ගේ දිනය සනහාලන්නට චොකලට් බ්‍රවුනීස් සාදන අන්දමයි මේ

 

 

බිත්තර 3 ක්

පාන් පිටි ග්‍රෑම් 100 ක්

සීනි ග්‍රෑම් 250 ක්

කජු ග්‍රෑම් 100 ක්

බටර් ග්‍රෑම් 250 ක්

චොකලට් ග්‍රෑම් 300 ක්

 

 

* චොකලට් ඩබල් බොයිල් ක්‍රමයට දියකර ගන්න.

* අඩු ගින්දරේ රත්කරමින් බටර් ටික දිය කර ගන්න.

* ඉන්පසුව එය චොකලට් මිශ්‍රණයට එකතු කරන්න.

* බිත්තර සීනි සමඟ බීට් කරගන්න.

* එයද චොකලට් මිශ්‍රණයට එකතු කරන්න.

* පාන්පිටි ටිකෙන් ටික එකතු කරමින් මිශ්‍රණය සාදා ගන්න.

* තැටියකට තෙල් කඩදාසියක් දමා ඒ මතට චොකලට් මිශ්‍රණය දමා සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයේ විනාඩි 35 ක් බේක් කරගන්න.

* අවසානයේ ඔබ කැමැති පරිදි චොකලට් ගනාශ්වලින් සරසා ඔබේ ආදරණීයයන්ට පිළිගන්වන්න.

-----------------------

ස්ට්‍රෝබෙරි ජෙලි පුඩිම

 

දිව පිනවන ස්ට්‍රෝබෙරි පුඩිම ඉමිහිරි අතුරුපසක්. අමුද්‍රව්‍ය දෙකක් භාවිත කරමින් පිළියෙළ කළ හැකිවීම මෙහි ඇති සුවිශේෂත්වයයි. ඒනිසාම ආර්ථික අපහසුතා තිබුණත් මෙවැනි අතුරුපසක් පිළියෙළ කරගැනීම පිළිබඳ දෙවරක් හිතන්න ඕන වෙන්නේ නැහැ.

 

 

ස්ට්‍රෝබෙරි හෝ රාස්බෙරි

ජෙලි පැකට් 2ක්

පොඩි ටින්කිරි ටින් එකක්

සාදන අන්දම

ස්ට්‍රෝබෙරි හෝ රාස්බෙරි ජෙලි පැකට් දෙක පැකැට්ටුවේ ඇති උපදෙස් අනුගමනය කරමින් නටන උණු වතුරට දමා දිය කරගන්න.

ටින්කිරි එක බ්ලෙන්ඩර් කරගන්න. අවශ්‍ය නම් අයිස් කැට දමා බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්.

ජෙලි ටික ශීතකරණයේ තබා සෙට් වූ පසු කැබලිවලට කපා ටින්කිරි සමගම බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන්. එසේ නොමැති නම් සාදා ගත් ජෙලි ද්‍රාවණය ශීතකරණයේ නොදමා ටින්කිරි සමඟ බ්ලෙන්ඩර් කරගත හැකියි.

වීදූරු බඳුනකට බටර් ස්වල්පයක් ආලේප කොට (⁣පහසුවෙන් ගලවා ගත හැකියි) බ්ලෙන්ඩර් කරගත් ජෙලි සහ ටින්කිරි මිශ්‍රණය ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සෙට් වීමට තබන්න. හොඳින්ම සෙට් වූ පසු මතුපිටට කජු හෝ වෙනත් එවැනි දේ දමා සරසා පිළිගැන්විය හැකියි.

අමුද්‍රව්‍ය දෙකකින් හරිම පහසුවෙන් ස්ට්‍රෝබෙරි ජෙලි පුඩිම සාදාගත හැකි වූවා නේද? මෙය ඔබේ පුංචි දියණියට වුවත් සරලව සාදාගත හැකි අතුරුපසකි.

ඩිලෙන්රෝ කේක් ඇන්ඩ් ඇකඩමි හි

කේක් නිර්මාණ ශිල්පිනී

දිලානි දීපිකා කුමාරි