ඇඟ හැඩකරන අඩු වියදම් කෑමබීම

මාර්තු 6, 2023

 

ලස්සනට අඳින්න පලඳින්න වාගේම හැඩට රුවට ඉන්න අපේ කාන්තාවන් හරිම කැමැතියි.

 

වගකීම් යුතුකම් අතරේ ගෙවනා මේ ජීවිතය සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න විතරක් නෙමේ කාලයේ තාලයට ගැළපෙන විලාසිතා කරන්නත් හරිම කැමතියි. හැබැයි මේ හැමදේටම වඩා නිරෝගීබව වඩා වැදගත්. ඒනිසා තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන වගේම රූපය ගැනත් සිතා බලා කෑම බීම පාලනයක් ඇතිව ලබාගන්නත් ඇය හරිම හපනියක්. ඉතින් අභිමානවත් කාන්තා දිනයක් සමරන මේ මොහොතේ කෑම පිටුව වෙන් වන්නේ හැඩට වැඩට ඉන්න,කෑම පාලනය කරන කාන්තා ඔබ වෙනුවෙන්මයි.

 

Bhagi's kitchen සූපවේදිනී

භාග්‍යා ගුණවර්ධන

 

 

චොකලට් මිශ්‍ර ඕට්ස් පුඩිම

 

ඕට්ස් කියන්නේ ගොඩාක් තන්තු අඩංගු ධාන්‍යමය ආහාරයක්. බෝ නොවන රෝගවලින් පෙළෙන අය වගේම තමන්ගේ ශරීරයේ බර අඩු කරගන්න උත්සාහ කරන අයටත් ඕට්ස් හරිම ගුණයි. හැබැයි ඕට්ස්වලට වැඩිදෙනකු කැමැත්තක් නොදක්වන්නේ එය එතරම් රස කෑමක් නොවෙන නිසා. ඒ නිසා කෙසෙල්, ඇපල්, අඹ, දෙළුම්, ස්ට්‍රෝබෙරි වගේ තමන්ට කැමැති පලතුරක් එක්ක විතරක් නෙවෙයි වියළි මිදි, රටකජු, ආමන්ඩ්, කජු, වොල්නට්ස් වාගේ දේවල් එක්කත් ඕට්ස් රස විඳින්න පුළුවනි.

 

* ඕට්ස් කෝප්ප 1/2ක්

* කිරි කෝප්ප 1/2ක්

* චොකලට් කුඩු තේ හැන්දක්

* වැනිලා තේ හැඳි 1/2ක්

* මී පැණි තේ හැන්දක්

* බැදපු රටකජු ටිකක්

* වියළි මිදි ටිකක්

 

මුලින්ම සුදුසු බඳුනක් ගෙන එයට ඕට්ස් සහ කිරි දමා හොඳින් කලවම් කරන්න. අනතුරුව එයටම චොකලට් කුඩු, මී පැණි, වැනිලා ටිකත් දමා කලවම් කරන්න. ඔබ කැමැති නම් මෙයට පීනට් බටර් ස්වල්පයක් ද එකතු කිරීමෙන් ඉතා හොඳ රසයක් ලබාගත හැකියි.

ඉන්පසුව සකසා ගත් මේ මිශ්‍රණය ශීතකරණයේ සාමාන්‍ය ශීත කොටසේ තබන්න. සම්පූර්ණ රාත්‍රියක් තැබීමෙන් මේ ඕට්ස් මිශ්‍රණය අපූරු පුඩිමක් ආකාරයට සවි වී තිබේවි.

 

මේ විදිහට හදාගත් ඕට්ස් පුඩිම පසුදින උදෑසන ආහාරය ලෙස පහසුවෙන්ම භාවිත කරන්න පුළුවනි. ඒ වගේම මෙය රසවත් අතුරුපසක් විදිහට ගන්නත් පුළුවනි. ආහාරයට ගැනීමට පෙර කෙසෙල්, අඹ, අන්නාසි, දෙළුම්, ස්ට්‍රෝබෙරි, මිදි වාගේ පලතුරු විතරක් නෙමෙයි කජු, රටකජු, රටඉඳි, වියළි මිදි වාගේ දේවලුත් මිශ්‍රකර හරිම රසවත්ව සකසා ගන්න. මේ දේවල් මිශ්‍ර කිරීමෙන් හොඳ රසයක් එකතු වෙන නමුත් කිසිවක් මිශ්‍ර නොකර වුණත් මේ පුඩිම ඔබට ආහාරයට ගත හැකියි.

සාමාන්‍යයෙන් ඕට්ස් කන්නෙ ශරීරයේ ස්ථුලබව අඩු කරන්න නිසා මේ ආහාරයට සීනි භාවිත කරන්නෙ නැහැ. ඒ වෙනුවට මී පැණි, පීනට් බටර්,පලතුරු වාගේ දේවල් භාවිතයෙන් රස වැඩි කර ගන්න පුළුවනි. ඒ වගේම ඔබ හැඩය ගැන හිතන කෙනෙක් නම් අනිවාර්යෙන් මී පැණි, පීනට් බටර් වාගේ දේවල් තේ හැඳි එකකට වඩා මිශ්‍ර නොකරන්න වගබලා ගන්න

----------------------------------

එළවළු මිශ්‍ර රසවත් ටෝෆු සුප්

මේ දවස්වල බිත්තර, මස්, මාළු තරමක් මිලාධිකයි. ඊට හොඳම විසඳුමක් තමා ටෝෆු. ව්‍යාංජනයක්, බැදුමක් විතරක් නෙමෙයි සුප් විදිහටත් අපිට මේ ටෝෆු ආහාරයට ගත හැකියි. ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසාම අපේ ශරීර වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය සම්පූර්ණ කර ගන්නත් පුළුවනි. ඒ වගේම ටෝෆු කියන්නෙ ඉතාමත් අඩු මුදලකට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි නිර්මාංශ ආහාරයක්. එහෙමත් නැත්නම් සෝයා කිරි මුදවා ගැනීමෙන් ඔබට නිවෙසේදීම ටෝෆු සකසා ගත හැකියි.

 

මේ රසවත් ටෝෆු සුප් එක හදාගන්න ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඔබේ මුළුතැන්ගෙය තුළ දැනට තියෙන අමුද්‍රව්‍ය එකතු කරලා ඉතාමත් රසවත්ව සහ ගුණාත්මකව මෙය සකසා ගත හැකියි.

 

* ටෝෆු ග්‍රෑම් 100ක්

* බටර් හෝ පොල්තෙල් මේස හැඳි දෙකක්

* සූදුරු තේ හැඳි 1/2ක්

* තුනපහ කුඩු තේ හැඳි 1/2ක්

* ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්

* කැරට් ස්වල්පයක්

* බෝංචි කරල් දෙක තුනක්

* ගෝවා ස්වල්පයක්

* ළපටි බඩ ඉරිඟු ඇට ටිකක්

* සුදුලූනු බික් 4ක්

* රටලූනු ගෙඩියක්

* කරපිංචා කිනිත්තක්

* රස පදමට ලුණු

 

 

තරමක් ගැඹුරු භාජනයක් ළිප තබන්න. භාජනය රත් වීගෙන එද්දී එයට බටර් ටිකක් එකතු කරන්න. එයට පොල්තෙල් තේ හැඳි 1 1/2කුත් එකතු කරන්න. දැන් එයට සූදුරු ටික දමා ටිකක් තෙම්පරාදු කරන්න.

සූදුරු පුපුරාගෙන එනවිට සිහින්ව ලියාගත් සුදුලූනු ටික එකතු කර ගනිමු. එයින් හොඳ සුවඳක් හමාගෙන එද්දී කරපිංචා සහ හීනියට කපාගත් රටලූනු ටිකත් එකතු කරන්න. මෙහිදී ලූනු ටික හොඳට මැලවෙන තෙක්ම මඳ වේලාවක් තෙම්පරාදු කර ගන්න. ලූනු ඉක්මනින්ම තෙම්පරාදු කර ගැනීමට ලූණු ස්වල්පයක් එකතු කරන්න. එවිට ලුනු ඉක්මනින්ම තෙම්පරාදු වේවි. අනතුරුව කුඩාවට කපාගත් කැරට්, බෝංචි, ළපටි බඩ ඉරිඟු ඇට ටිකද දමා තරමක් වෙලා තෙම්පරාදු කර ගන්න. ගෝවා ටික අවසානයට එකතු කරන්න.

මේ එළවළුවලට අමතරව වට්ටක්කා, අර්තාපල්, මල් ගෝවා, රාබු, බ්‍රොකොලි, නිවිති, හතු වගේ දේවල් වුවත් එකතු කළ හැකියි. එළවළු ටික හොඳින් තැම්බුණු පසුව තුනපහ සහ ගම්මිරිස් කුඩු ටිකත් දමා හොඳින් කලවම් කර ගන්න. ඉන්පසුව කුඩාවට කපාගත් ටෝෆු ටික ද එකතු කර ගන්න. මෙහිදී ටෝෆු කැඩෙන්නට ඉඩ ඇති බැවින් තරමක් පරිස්සමෙන් කලවම් කරන්න. අනතුරුව වතුර කෝප්ප දෙකක් ද මේ මිශ්‍රණයට දමා එළවළු සහ ටෝෆු ටික හොඳින් තැම්බෙනකම් පියනකින් වසා තබන්න. විනාඩි 10කින් පසුව සුප් මිශ්‍රණය උතුරන විට ඔබේ කැමැත්ත පරිදි ස්පැගති හෝ නුඩ්ල්ස් ටිකක් එකතු කර ගන්නත් පුළුවනි. එයින් සුප් එකට හොඳ රසයක් වගේම පොඩි උකු ගතියකුත් ලැබේවි. ඉන්පසුව ළිපෙන් ඉවතට ගෙන උණූ උණූ වෙන්ම රස බලන්න.