පෙරළි කරන හෙරලි රසය

මාර්තු 20, 2023

 

කොස් වාරය කියන්නේ අපේ ගම්වල සෑම ගෙදරකම උයන පිහන රසවත්ම කෑමක්. හැබැයි දැන් නම් කොස් ගමේ නගරයේ කිසිම වෙනසක් නැතිව කන්න කැමැති කෑමක් බවට පත් වෙලා. දැන් සෑම නගරයකම කොස් විකුණන වෙළෙන්දෝ අප දකිනවා.

 

මේ තරම් රසවත් කොස්වලින් අපේ ගෘහණියෝ විවිධ කෑම වර්ග හදන්න හරිම උනන්දුයි. කොස් කොත්තු, රයිස්, බයිට් මේ ඕනෑම දෙයක් හදන්න දැන් අපේ ගෘහණියන්ට පුළුවන්. මේ නිසා අප මෙවර ඔබට තිළිණ කරන්නේ කොස්වලින් සාදන වෙනස් කෑම වර්ග කිහිපයක්. ඉතාම සරලව අඩුම මුදලකින් සාදාගත හැකි මේ කෑම වර්ග කුඩා දරුවන් හරිම කැමැති වේවි. ඒ වගේම ඔබේ පවුලේ සැමට වෙනස්ම කෑමක රසය බැලීම අවස්ථාව උදාවේවි. අපේකම රැකගෙන විවිධ ක්‍රමයට හදන කොස්වල රසය මේ අයුරින් ඔබත් රස බලන්න.

 

 

කොස් සැන්ඩ්විච්

 

කොස් මදුළු 10ක් පමණ

පාන් පෙති 10ක්

රතු ලූනු

අමු මිරිස්

එනසාල්

කහ කුඩු ස්වල්පයක්

ලුණු කුඩු

ජලය අවශ්‍ය ප්‍රමාණයට

තක්කාලි ගෙඩියක්

 

 

සිහින්ව කපාගත් කොස් මදුළු ලුණු මිශ්‍ර කර හොඳින් තම්බා ගන්න. ඉන්පසු තාච්චියක් ළිප මත තබා රතු ලූනු, රම්පා, කරපිංචා සිහින්ව කපාගෙන බැදගන්න. දැන් තම්බා ගත් කොස් මදුළු එයට එක්කරගන්න. ගම්මිරිස් කුඩු, කහ කුඩු රස අනුව ලුණු දමා හොඳින් කලවම් කර එය ළිපෙන් ඉවත් කරගෙන පේස්ට් එකක් සේ සාදාගෙන එය පාන් පෙති මත තුනී කරන්න. ඔබ කැමැති නම් අබ තැවරුමක් පාන් පෙති මත ගා ගැනීමට ද හැකියාව ඇත.

 

මෙසේ තවරාගත් කොස් තැවරුම මත තක්කාලි පෙත්තක් තබා තවත් පාන් පෙත්තකින් වසා ගත් පසු හොඳ රසැති සැන්ඩ්විච් එකක රස බැලීමට ඔබට හැකියාව ලැබේවි.

-------------------

කොස් කට්ලට්

 

කොස් මදුළු කිහිපයක් (මදුළු 10ක් පමණ) ගම්මිරිස් කුඩු,

ලුණු කුඩු,

පාන් හෝ බිස්කට් කුඩු,

පාන් පිටි ස්වල්පයක්,

බැදීම සඳහා තෙල් අවශ්‍ය ප්‍රමාණයට,

රතු ලූනු, සුදු ලූනු, අමු මිරිස්, රම්පා, කරපිංචා,

එනසාල් ඇට කිහිපයක්.

 

 

කොස් ගෙඩියේ කටු ඉවත් කර මඳුළු සමඟ ලුණු ස්වල්පයක් එයට එක් කර කෑලි කපා තම්බා ගන්න. මෙලෙස තැම්බුණු කොස් ටික හැන්දකින් හොඳින් පොඩි කර ගන්න. තාච්චියක් ලිප මත තබා තෙල් ස්වල්පයක් එක් කර කපාගත් රතු ලූනු, අමු මිරිස්, රම්පා, කරපිංචා, තලාගත් සුදු ලූනු එයට එක් කරන්න. එය රන්වන් පැහැ වෙන තෙක් බැදගෙන තළාගත් කොස් ටික එක් කරන්න. දැන් එයට ගම්මිරිස් රස අනුව ලුනු, කහ කුඩු එක් කරමින් හොඳින් තලපයක් වන සේ කලවම් කර ගන්න.

 

එය ළිපෙන් බාගෙන අවශ්‍ය ප්‍රමාණයට බෝල සාදා ගන්න. ඉන්පසු පාන් පිටි බැටරයක් සාදාගෙන එයට කහ සහ ලූනු මිශ්‍ර කරගන්න. එයට ගුලිකරගත් කොස් බෝල එහි ගිල්වා පිටතට ගෙන බිස්කට් හෝ පාන් කුඩු මත තවරන්න.

 

අවසානයේ තාච්චියක් ළිප මත තබා තෙල් දමා රත් වූ විට එම කට්ලට් බෝල රන්වන් පැහැ වන තෙක් බැදගන්න.

-------------------

ක්‍රිස්පි කොස් චිප්ස් බයිට්

 

හීනියට ලියාගත් කොස් කෝප්ප 2ක්

මිරිස් කුඩු තේ හැඳි 1ක්

කහ කුඩු තේ හැඳි ½ ක්

බැදීමට අවශ්‍ය තෙල්

ලුණු, ගම්මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට

 

 

 

මුලින්ම කොස් මදුළු 10 – 15ක් පමණ ගෙන එය සිහින් කැබැලිවලට කපා ගන්න. මෙසේ කපාගත් කොස් කැබැලිවල තෙත ගතිය නැතිවෙන තෙක් අව්වේ හෝ අවන් එකක වේළාගන්න. අවන් එකක වේළා ගන්නේ නම් උපරිම විනාඩි 4 – 5ක් ප්‍රමාණවත්ය. මෙලෙස වේළාගත් කොස් කැබලි මත කහ හොඳින් තවරා තෙල් තාච්චියක් ලිප තබා ගැඹුරු තෙලේ එය බැදගන්න. ඉන් පසුව ඔබට අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු හා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු එක්කර රස බලන්න.

----------------------

පැණි කොස් මොටයි

 

කොස් මදුළු කිහිපයක් (10ක් පමණ)

ලුණු මේස හැඳි ½ක්

සීනි අවශ්‍ය ප්‍රමාණයට

තෙල් ස්වල්පයක්

ජලය අවශ්‍ය ප්‍රමාණයට

 

-

ඇට ඉවත් කරගත් කොස් මදුළු දිග් අතට කපා ගන්න. ඉන්පසු එය භාජනයකට දා ජලය ස්වල්පයක් එක් කර ලුණු මේස හැඳි ½ක් දමා තම්බා ගන්න. එලෙස තම්බා ගත් කොස් මදුළුවල ජලය ඉවත් කර අවන් එකක හෝ අව්වේ හොඳින් වේළා ගන්න.

 

මෙලෙස හොඳින් වියළුණු පසු ගැඹුරු තෙලේ බදින්න.දැන් භාජනයකට සීනි දමා උණු කරගෙන එයට බැදගත් කොස් කැබලි එක්කරගන්න. මේ සඳහා විවිධ වර්ණයේ පාට යෙදීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබට පැණි එකට කලරින් එක් කිරීමට ද හැකියාව තිබේ.

 

උපදෙස්

යටියන්තොට එවර්ග්‍රීන් හෝටලයේ

ප්‍රධාන සූපවේදී දේවසිරි එදිරිසිංහ