CAKE TIPS

ජුනි 19, 2023

 

* නියමිත ප්‍රමාණයට අවශ්‍ය කේක් තැටිය තෝරගන්න. උදාහරණයක් හැටියට ග්‍රෑම් 500ක ප්‍රමාණයක් නම් සම්පූර්ණ කේක් මිශ්‍රණය අඟල් 6ක තැටියක් භාවිතා කරන්න.

 

* නියමිත ප්‍රමාණයට තැටිය ලෑස්ති කරගත්තේ නැත්නම් , අපි හිතමු තැටිය පොඩි නම් කේක් එක බේක් වෙන වෙලාවට කේක් එක පිපිලා උතුරලා යනවා.

 

* නිතරම තැටිය ලෑස්ති කරද්දි 1/3 ක ප්‍රමාණයක් ඉඩ තියෙන්න ඕනේ පිපෙන්න.

 

* නියමිත අවන් උෂ්ණත්වය තබන්න. උෂ්ණත්වය වැඩි වුණොත් කේක් එක තද ගතියෙන් යුක්ත වෙනවා.

 

* නියමිත වෙලාවත් සුවඳත් එනතුරු අවන් එක අරින්න එපා. නැතිනම් කේක් එක මැදින් බහිනවා.

 

කේක් එක බේක් වෙලාද කියලා අපි බලන්නේ හරි මැදට ස්ටික් එකක් යොදලා. ඒ විදිහට හරි මැදට යොදන්නේ කේක් එකක් පිපීමේදි වටෙන් පිපිලා අන්තිමට තමයි මැද හරිය පිපෙන්නේ.

 

චොකලට් කේක්

 

ඔන්න අද කියලා දෙන්න යන්නේ කොහොමද රසම රස චොක්ලට් කේක් එකක් සාදා ගන්නේ කියලා. දුවලට විතරක් නොවේ සූප ශාස්ත්‍රයට කැමති පුතාලටත් එක්ක තමයි මේ කේක් පාඩම රැගෙන එන්නේ.

 

* බටර් ග්‍රෑම් 250ක්

* පිටි ග්‍රෑම් 200ක්

* කොකෝවා පවුඩර් ග්‍රෑම් 50ක්

* සීනි ග්‍රෑම් 250ක්

* වැනිලා තේ හැඳි දෙකක්

* බිත්තර 4ක්

* බේකිං පවුඩර් තේ හැඳි 2ක්

* කිරි මේස හැඳි 2ක්

 

 

* බටර් හා සීනි හොඳින් ගසාගන්න.

* එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න.

* එයටම වැනිලාත් එකතු කරන්න.

* පිටි, කොකෝවා පවුඩර් සහ බේකිං පවුඩර් එකට එක්කර හොඳින් හලා ගන්න.

* දැන් බටර්, සීනි, බිත්තර මිශ්‍රණයට පිටි මිශ්‍රණයෙන් ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. නැත්නම් මඳ වේගයෙන් බීට් කරන්න.

* දැන් කිරි එකතුකර කලවම් කරන්න.

* කිලෝ එකේ තැටියක් ගෙන එයට බේකිං පේපර් එකක් යොදා සකස් කරගෙන ඒ මත කේක් මිශ්‍රණය අතුරන්න.

* විනාඩි 8කට විතර කලින් රත්කරගත් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 40ක් බේක් කරන්න.

* බේක් කරගත් කේක් එක අවන් එකෙන් එළියට ගෙන හොඳින් නිවෙන්න තියන්න

 

 

-----------------------------------

 

පොල් දෝසි

 

* ගාගත් පොල් ග්‍රෑම් 250ක්

* සීනි ග්‍රෑම් 350ක්

* වතුර කෝප්ප 1/2ක්

* වැනිලා තේ හැන්දක්

* බටර් මේස හැඳි 01ක්

 

* කැමති වර්ණයකින් ආහාර වර්ණක බිංදු දෙකක්

*මුලින්ම බේකිං පේපර් එකක් දාලා තැටියක් ලෑස්ති කරගන්න.

*නොන්ස්ටික් පෑන් එකක් ළිපේ තියලා සීනි එකතු කරන්න.

* එයටම වතුරත් එකතුකරලා සීනි ටික දියකර රත් කරගන්න.

* සීනි ටික උතුරගෙන එද්දි පොල් ටික එකතු කරන්න.

* වැනිලත් එකතු කරන්න.

* හොඳින් කලවම්කර කැමති වර්ණයකින් ආහාර වර්ණක බිංදුවක් දෙකක් එකතු කරන්න.

* වතුර ගතිය හිඳිලා පොල් ටික සීනිවලට උරාගත්තට පස්සේ බටර් ටික එකතුකරන්න.

* වෙනත් දෝසි වර්ග සෑදීමේ දී මෙන් නොව පොල් දෝසි හදද්දි ගුළියක් වගේ එකට එකතුකරන්න බෑ. මේ නිසා පොල් දෝසි සෑදීමේ දී මිශ්‍රණය තුනීකරලා කෑලි කපාගන්න පුළුවන් පදම ආ විට ළිපෙන් ඉවතට ගෙන තැටියට එක්කර තුනී කරන්න.

* යන්තම් නිවෙන්න හැරලා බටර් ගාගත් පිහියකින් කෑලි කපාගන්න.

* හොඳින් නිවුණු පසු කෑලි වෙන්කර ගන්න.

 

 

 

උපදෙස් හා ඡායාරූප

ඉතාලියේ පර්මා හි ප්‍රවීණ සූපවේදිනී

ජනනී ගුරුසිංහ