ඕට්ස්වලින් රසවත් අතුරුපස

ජූලි 10, 2023

 

ඕට්ස් කියන්නෙ හරිම පෝෂ්‍යදායක ආහාරයක් වුවත්, එය තරමක් රසින් අඩු බවට සමහරු චෝදනා කරනවා. ඒකාකාරී වීමත් ඊට හේතුවක්. වැඩි දෙනෙක් ඕට්ස් භාවිතා කරන්නේ උදෑසන ආහාරයක් ලෙසයි. ඇතැම් වෙලාවට ඕට්ස් කුකීස් වැනි දෙයක් ඕට්ස්වලින් සාදා ගත්තත් අතුරුපස සඳහා ඕට්ස් භාවිතා කරන අවස්ථා ඉතාම සීමිතයි.  අද අපි ඔබට ඕට්ස්වලින් සාදා ගත හැකි සෞඛ්‍යාරක්ෂිත අතුරුපස ගැන කියන්නට සිතුවා.

 

උපදෙස් සූපවේදී සර්වදර්ශනී අප්සරා

 

ඕට්ස් බනානා බ්‍රෙඩ්

 

කැබලිවලට කපා ගත් කෙසෙල් ගෙඩි තුනක්

බිත්තර 2ක්

පැණි කෝප්ප ½ක්

ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප කාලක්

තෙල් කෝප්ප කාලක්

වැනිලා තේ හැඳි 1ක්

ලෙමන් ජූස් තේ හැඳි 1ක්

බේකින් පවුඩර් තේ හැදි එකහමාරක්

බේකින් සෝඩා තේ හැඳි ¾ක්

ලුණු තේ හැඳි ¼ක්

කුරුඳු කුඩු තේ හැඳි බාගයක්

ඕට්ස් පිටි කෝප්ප 2ක්

ආමන්ඩ් පිටි හෝ කේක් පිටි කෝප්ප 1ක්

 

 

අවන් එක ෆැරන්හයිට් 350 ලෙස ප්‍රීහිට් කරගන්න.

ඉන්පසු කේක් තැටියක බටර් ගා බේකින් පේපර් එකක් අතුරා ගන්න. ලොකු භාජනයක් ගෙන කෙසෙල් කුඩා කැබලිවලට කඩා ගන්න.

බිත්තර එකතු කරන්න. පැණි ද එකතුකර තෙල්, කිරි, වැනිලා ආදිය එකතු කරමින් හොඳින් මිශ්‍රකර ගන්න. තවත් භාජනයකට ඕට්ස් පිටි,කේක් හෝ ආමන්ඩ් පිටි,බේකින් සෝඩා සහ බේකින් පවුඩර්, කුරුඳු කුඩු සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. පිටි මිශ්‍රණයට පැණි මිශ්‍රණය එකතුකර හොඳින් බීට් කර ගන්න

දැන් පෑන් එකට දමා ගන්න. ඉන්පසු මිනිත්තු 45-55 අතර කාලයක් බේක් කරගන්න.

අවන් එකෙන් බාගෙන විනාඩි දහයක් පමණ සිසිල් වීමට ඉඩ හරින්න.

---------------------------------

චොකලට් ඕට්ස් කේක්

 

ඩාක් චොකලට් ග්‍රෑම් 170ක්

පොල් කිරි මිලි ලීටර් 375ක්

ඕට්ස් කප් දෙකහමාරක් පමණ

 

 

 

පළමුව රවුම් කේක් තැටියක් ගෙන බටර් හෝ තෙල් ස්වල්පයක් ගා ගන්න.

ඉන්පසු බේකින් පේපර් එකක් අඩියට එළා ගන්න.

චොකලට් කුඩා කැබලිවලට කපා ගෙන රත් කරගන්න. පෑන් එකක් ළිප තබා පොල්කිරි මඳක් රත් කරගෙන, මිශ්‍රණය මෘදු වූ පසු විනාඩි දෙකකින් පමණ බා ගන්න.

එයට චොකලට් ද එකතු කරන්න.

දැන් හොඳින් මිශ්‍ර කරගන්න. නිවෙන්නට හැර ඕට්ස් ද එකතු කරගන්න. රවුම් කේක් තැටියකට දමා ගන්න. කාමර උෂ්ණත්වයේ නිවෙන්නට ඉඩ හරින්න. ඉන්පසු පසු පැය 4ක් පමණ ශීතකරණයේ තබා ආහාරයට ගන්න.

 

-------------------------------

ඕට්ස් විත් ෆෘට්ස්

 

 

කිරි වීදුරු 1යි

ඕට්ස් අවශ්‍ය පමණට

රසවත් කරගන්න සීනි හෝ පැණි

කෙසෙල් ගෙඩි 2ක්

ස්ට්‍රෝබෙරි ගෙඩි 3 - 4ක්

ඇපල් ගෙඩියක්

වියළි මිදි ස්වල්පයක්

 

 

 

පළමුව භාජනයක් ගෙන එයට උණුසුම් කිරි එකතු කරන්න. එයට ඕට්ස් එකතුකර උකු තලපයක් එන තෙක් මිශ්‍ර කරන්න. ඉන්පසු සීනි හෝ පැණි ස්වල්පයක් දමා රසවත් කරගන්න. පලතුරු කුඩා කැබලිවලට කපා එයටම එක්කරන්න. අවසානයට වියළි මිදි එකතු කරන්න.