Cooking Tips & Tricks

ජූලි 29, 2024

 

* බෝංචි තෙල් දාද්දි ආප්ප සෝඩා ස්වල්පයක් දැම්මම ලස්සන කොළ පාටට තියෙනව වගේම හරිම මෙළෙක්.

 

* බෝංචි උයද්දි වතුර චුට්ටක් එක්ක ප්‍රෙෂර් කුකර් එකට දාලා විසිල් එකක් යනකම් ඉඳලා උණුවතුර පෙරළා ඇල් වතුරෙන් සෝදලා ගත්තමත් කොළ පාට වෙනස් වෙන්නෙ නෑ.

 

* කරවිල උයද්දි උම්බලකඩ, තක්කාලි දාපුවමත් නියමයි.

 

* තැල් කොළ, කංකුං ඇඹුල හදද්දි මිටිකිරි ටිකකට රතුලූනු , මිරිස්, තුනපහ, උම්බලකඩ, ගොරකා, කරපිංචා, කොච්චි, ලුණු එහෙම දාල ළිපේ තියලා කිරි පැහුණම කපපු කොළ ටික එකතුකරලා ටිකක් වෙලා තියලා ගන්නකො බලන්න.

 

* සිංහල අච්චාරුවලට මුරුංගා පොත්තක් දැම්මම හරිම රසයි.

 

* තම්බපු බිත්තර කපද්දි පිහිය උණුවතුරේ දමලා ගත්තම කහමදේ පිහියේ ගෑවෙන්නෙ නෑ. කේක් කපද්දි නොකැඩෙන්නත් එහෙම ගන්න පුළුවන්.

 

* කිරිබත් තුනී කරද්දි පොල් කුඩු ටිකක් ශොපින් බෑග් එකකට දාල තුනී කරනකොට අත පිච්චෙන්නෙ නෑ. ඒ වාගේම කිරිබත් කපද්දි පිහිය ලන්ච් ෂීට් එකක පටලල කපද්දි නීට් එකට කපන්න පුළුවන්.

 

* රාබු උයලා තෙම්පරාදු කරද්දී තෙම්පරාදුව දාලා ඒකටම බිත්තරයක් කඩලා දාන්න. එතකොට රාබු වෑංජනයට අමුතු රසක් එනවා.

 

කැකිරි ඇඹුල උයනකොට අන්තිමට කබලේ බැදපු අබ ටිකක් කුඩු කරලා දාන්න. රසයි සුවඳයි දෙකම වැඩි වෙනවා.

 

මේක බෙහෙතක්. තද තේ කහටවලට දෙහි බෑවක් හීනියට පෙති කපල දාල ටික වෙලාවක් වහල තියලා බොන්න. දෙහි කෑලි හපල කන්නත් ඕනෙ. ඕනෙම බඩේ අමාරුවක් විනාඩි දෙකෙන් තුනෙන් ඉවරයි.

 

පොල් සම්බෝලය කොටනකොට අවසානයට දෙහි බෑවේ ඇට අයින්කර සම්බෝලය සමඟ කොටාගන්න පැඟිරි රස හා ඇඹුල් රස මුසු වූ අමුතුම රසයක්.

 

* රොටීවලට පිටි අනනකොට පොල් වතුර ටිකක් දාන්න. හරිම මෘදුයි.

 

* හාල්මැස්සෝ ඔළු සෝදලා බැදලා කුඩු කරගෙන සම්බෝලවලට දාන්න. උම්බලකඩ පරාදයි.

 

* කිරට හදන එළවළුවලට සේර දැම්මාම රසයි සුවඳයි දෙකම ලැබෙනවා.

 

* තෙල් දාලා හදන එළවළුවලට සූදුරු ඇට කීපයක් තෙලට දාන්න. රසයි, සුවඳයි, ගුණයයි ඔක්කොම ලැබෙනවා.

 

* කඩල තෙම්පරාදු කරද්දි පොල් කෑලි නොදා බිත්තරයක් කඩලා දාන්න. රසම රසයි. ඒ වගේම කතුරුමුරුංගා කොළ තෙල් දාද්දිත් බිත්තරයක් එකතුකළාම රසයි.

 

* ලුණු මිරිස් හදනකොට පොල්තෙල් ටිකක් එකතු කරලා කෙටුවහම දෙහි ඕනෙත් නෑ.

 

* හාල්මැස්සන් තෙල් දාද්දි සියඹලා දැම්මම හරිම රසයි.

 

* කිරි තේ හදද්දි වතුර එකට ඉඟුරු තළලා දාල උණු කරලා ගත්තම හරිම රසයි.

 

* මැල්ලුම් හදද්දි පොල් අඹරන්නම ඕනෙ නෑ. මුලින්ම තෙලට අබ, සුදුලූනු, අමුමිරිස් දාලා, කොළ ටික දාල ටිකක් තැම්බුණාම පොල් දාලා ගන්න.