තේ වෙලාවට ගැළපෙනම පුංචි ස්නැක්ස්

ජූලි 30, 2024

තේ වෙලාව කියන්නේ හරි සුන්දර මොහොතක්. ඉතින් මේ වෙලාවට හැමෝම එකට එකතු වෙලා රසකැවිල්ලක, ස්නැක් එකක රස බලන්නත් අපේ අය අමතක කරන්නේ නැහැ. මේ මොහොත රසවත් කරන්න වැඩි වැඩ දාන්නේ නැතුව සරලව හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් ස්නැක් කිහිපයක් මෙවර තරුණී වෙතින් ඔබට තිළිණ කරන්න හිතුවා. ඉතින් තේ වෙලාව සතුටින් පුරවන්න ඔබත් මේ ස්නැක්ස් හදලා වෙනසක් එක් කරන්න.

 

 පොටෙටෝ චීස් ඩෝනට්

අද හදන්න යන්නේ ටිකක් වෙනස් විදිහක ඩෝනට් එකක්. මේ රසවත් ඩෝනට් එක හදන්න අලගෙඩි 2ක්, කෝන්ෆ්ලා කෝප්ප 1/2ක්, කෑලිමිරිස් තේ හැඳි 1ක්, වියළි ඔරිගානෝ තේ හැඳි 1, ලුණු ටිකක්, ඔලිව්තෙල් ටිකක්, රවුමට කපාගත් ලූනු රවුම් කිහිපයක්, බිස්කට් කුඩු කෝප්ප 1ක් සහ තීරු කපාගත් චීස් ස්ලයිසස් කිහිපයක් මේ සඳහා අවශ්‍යයි. බැටර් එක සඳහා වෙනම අමුද්‍රව්‍ය කිහිපයක් ලෑස්ති කරන්න අවශ්‍යයි. ඒ සඳහා පාන්පිටි මේස හැඳි 2ක්, කෝන්ෆ්ලා මේස හැඳි 2ක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

 

මුලින්ම අල ටික සෝදා තම්බාගෙන පොතු ඉවත්කර ගන්න. ඉන්පසු තම්බාගත් අල ටික පොඩි කරගන්න. පොඩි කරගත් අල මිශ්‍රණයට කෝන්ෆ්ලා, කෑලි මිරිස්, ඔරිගානෝ හා ලුණු දාලා ඩෝ එක අනාගන්න. මේ ඩෝ එකට ඔලිව්තෙල් ටිකක් දාලා අතේ නොඇලෙන පදමට හදාගන්න. මෙය පසෙකින් තබන්න. දැන් අපි බැටර් එක සකසා ගනිමු. ඒ සඳහා පාන්පිටි මේස හැඳි 2ක්, කෝන්ෆ්ලා මේස හැඳි 2ක්, ලුණු ස්වල්පයක් සහ වතුර ස්වල්පයක් එකතුකර වෙනම ඝනකම් මිශ්‍රණයක් සකසා ගන්න. එයත් පසෙකින් තබන්න.

 

දැන් ලූනූ රවුමක් ගෙන මැද එනම් ලූනූ රවුම මැද සිදුරක් සකසා ගන්න. ලූනූ රවුම වටේට චීස් තීරු තබාගන්න.

 

පෙර සකසාගත් ඩෝනට් ඩෝ මිශ්‍රණයෙන් කොටසක් ගෙන මේ චීස් දමා සැකසූ ලූනූ රවුම වැසෙන්න ඩෝනට් එකක් සේ මෙය සකසා ගන්න. මේ විදිහට සකසා ගත් ඩෝනට් ඉහත සැකසූ බැටර් එකේ දාලා බිස්කට් කුඩු තවරගෙන රත්වුණු තෙලට දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න. 

-------------------------

පොටෙටෝ ස්නැක්

පොටෑටෝ ස්නැක් කියන්නෙ පොඩ්ඩන් වඩාත් ප්‍රියකරන රස කෑමක් කිව්වොත් හරියටම හරි. මේ සඳහා අලගෙඩි 3ක්, හාල්පිටි මේස හැඳි 3ක්, කහ කුඩු තේ හැඳි 1/4ක්, මිරිස් කුඩු තේ හැඳි 1ක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

 

මුලින්ම අල ටික සෝදා තම්බාගන්න. ඉන්පසු පොතු ඉවත්කර හොඳට පොඩිකර ගන්න. මේ විදිහට පොඩිකර ගත් අල ටිකටම හාල්පිටි ටික දාගන්න. ඉන්පසු එයට කහ කුඩු තේ හැඳි 1/4ක්, මිරිස් කුඩු තේ හැඳි 1ක් සහ ලුණු ස්වල්පයක් එකතුකර සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.  දැන් අතේ තෙල් ටිකක් ගාලා ඩෝ එකෙන් පොඩි බෝල හදාගන්න. දැන් මේ බෝල ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න. 

 

-------------------------------

ස්වීට් බොන්ඩා

ස්වීට් බොන්ඩා කියන්නේ නම වගේම රසවත්. මේ රස ස්වීට් බොන්ඩා හදන්න සීනි කෝප්ප 1/2ක්, කරදමුංගු ඇට 2ක්, බිත්තර 1ක්, පාන්පිටි කෝප්ප 1ක්, රුලං මේස හැඳි 1ක්, බේකිං සෝඩා ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

 

මුලින්ම සීනි, බිත්තර හා කරදමුංගු ටික බෝල් එකකට දාලා සීනි දියවෙනකල් හැඳි ගාන්න. ඊළඟට මේකට පාන්පිටි ටික දාගන්න. එය කලවම් කරමින් රුලං ටික එකතුකර ගන්න. දැන් එයට බේකිං සෝඩා හා ලුණු දාලා, වතුර මේස හැඳි 1ක් වගෙත් දාලා කලවම් කරන්න. 

දැන් මේ විදිහට හදාගත්තු ඩෝ එක විනාඩි 10ක් වහලා තියන්න. අතේ තෙල් ටිකක් ගාගෙන හදාගත් මිශ්‍රණයෙන් පොඩි බෝල හදාගන්න. දැන් තෙල් ටිකක් ළිපේ තියලා මේ බෝල ටික ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකල් බැදගන්න. 

 

--------------------------

ක්‍රිස්පි මෂ්රූම්

ක්‍රිස්පි ගතියට හැපෙන මෂ්රූම්වලින් සකසපු ආහාරයක රස බලන්න කවුරුද අකැමැති. මේ රස ක්‍රිස්පි මෂ්රූම් එක හදන්න බිම්මල් පැකට් 1ක්, බිත්තර 2ක්, මිරිස් කුඩු තේ හැඳි 1ක්, ලුණු හා ගම්මිරිස් කුඩු, කහකුඩු තේ හැඳි 1/4ක් සහ තක්කාලි සෝස් තේ හැඳි 3ක් අවශ්‍යයි.

තැවරුම සඳහා කඩලපිටි කෝප්ප 1ක්, පාන්පිටි කෝප්ප 1/4ක්, මිරිස් කුඩු තේහැඳි 1ක්, ලුණු හා ගම්මිරිස් කුඩු අවශ්‍යයි.

මුලින්ම බිම්මල් ටික අතින් තීරුවලට කඩා ගන්න. ඉන්පසු මෙහෙම තීරුවලට කඩාගත් බිම්මල් ටික ලුණු වතුරේ ටිකක් වෙලා දාලා තියලා සෝදලා ගන්න. එය පසෙකින් තබන්න. දැන් බෝල් එකකට බිත්තර, මිරිස් කුඩු, කහ කුඩු, ලුණු, ගම්මිරිස් හා සෝස් දාලා කලවම්කර ගන්න. එයත් පසෙකින් තබා වෙනම බෝල් එකකට කඩල පිටි, පාන්පිටි හා අනික් සියල්ලම දාලා කලවම්කර ගන්න. බිම්මල් එකින් එක අරන් බිත්තර මිශ්‍රණයේ දාලා කඩල පිටි මිශ්‍රණයේ දවටාගන්න. දැන් මේවා එකින් එක රත්වුණු තෙලට දාලා රන්වන් පාට වෙනකල් බැදගන්න. 

 

----------------------

හාල්පිටි ස්නැක්

 

මේ ස්නැක් එක සැකසීමට හාල්පිටි කෝප්ප 1ක්, තළාගත් ලූනු ගෙඩි 1/4ක්, ලුණු හා ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් සහ මිරිස් කුඩු ස්වල්පයක් සහ බැද ගැනීමට තෙල් අවශ්‍යයි.

 බෝල් එකක් ගෙන එයට හාල්පිටි කෝප්ප 1ක්, තළාගත් ලූනු ගෙඩි 1/4ක්, ලුණු හා ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් සහ මිරිස් කුඩු ස්වල්පයක් එකතුකර ඝනකම් බැටර් එකක් හදාගන්න.  ඉන්පසු හැන්දකින් මේ මිශ්‍රණයෙන් කුඩා කොටස් ගෙන රත්වුණු තෙලට දාගන්න.  රන්වන් පාට වෙනකල් බැදගන්න. 

 

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න