සීනි කැකිරිවලින් හරි රහට කෑම බීම

අගෝස්තු 26, 2024

 

මේ දවස්වල කාලගුණෙත් හරි පුදුමයි. දවල්ට ගිනි ගහන්න අව්ව වැටුණත් හවස් වෙද්දි වහින සිහින් පොද වැස්ස පොළොව තෙමෙන්නත් මදි. ඒ නිසා දහවලට තියෙන්නේ පුදුම රස්නයක්. මේ රස්නෙට සීතලම සීතල පානයක් බොන්න තියෙනවනම්... එහෙම කියද්දි කාටත් මතක් වෙන්නේ සීනි කැකිරි.. පුත්තලම, හලාවත වගේ පැතිවල වැවෙන සිනී කැකිරි දැන් හැම තැනම වගේ දකින්න පුළුවන්. පෑවිල්ලත් එක්ක ඒ තරමටම සීනි කැකිරිවලට තියෙන්නේ හොඳ ඉල්ලුමක්. විශේෂයෙන්ම උතුරේ තියෙන අධික රස්නෙට හොඳම විසඳුම ලෙස සලකන්නෙත් සීනි කැකිරි පානයයි. වියළි කලාපයේ බහුලව වැවෙන සීනි කැකිරි, එහි පරිසර තත්ත්වයෙන් පීඩාවට පත්වන ජනතාව සුවපත් කිරීමට සොබාදහම ලබා දී ඇති වටිනා තෑග්ගක් ලෙස සලකන්නේ ඒ නිසයි. මේ සීනි කැකිරි ඇතැම් පළාත්වල පිටි කැකිරි සහ පිට්ටු කැකිරි ලෙසද හඳුන්වයි.

එළවළුවක්, පලතුරක් සේම සීනි කැකිරි රෝග නසන ඖෂධයකි. එය කාබෝහයිඩ්‍රේට්, මැග්නීසියම්, පොටෑසියම්, කෙඳි, සීනී ආදි පෝෂක අඩංගු, මේදය රහිත ජලය සහිත පලයකි. පිළිකා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත වන අතර බෝ නොවන රෝගවලින් ඈත්ව සිටීමට උපකාරී වන්නක්.

එය මලබද්ධය වළක්වා ආහාර රුචිය වඩවයි. දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘදයාබාධ, මුත්‍රා ආබාධ, වකුගඩු රෝග, අම්ල පිත්ත, පණු රෝග, පුරස්ථි ග්‍රන්ථි රෝග පාලනය කිරීමේ හැකියාව ද සහිතයි. එමෙන්ම මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය ආදි මුත්‍රා ආදී රෝගවල දී කැකිරි සිරුරට සහන සලසනවා. එසේම අධික පිපාසය, හිසේ අමාරු, නින්ද නොලැබීම ආදියට එරෙහිව ද ක්‍රියා කරනවා .

දාහය නිවා ගැනීමට බෙහෙවින් ඵලදායකවන සීනි කැකිරි, නමින් සීනි වුවත් දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකයි. එය වැලෙහිම ඉදෙන්නට හැර, ගෙඩිය පුපුරා ඇතුළත සුද දිස්වන කල ආහාරයට ගනියි.

එය විජලනයට කදිම ඔසුවක්. විජලනය ඇතිවන අතීසාර අවස්ථාවේ පවා පරිභෝජනයට සුදුසු සේ සැලකෙනවා .

අම්ල පිත්ත රෝගයට (ගැස්ට්‍රයිටිස්) සීනි කැකිරි දිව ඔසුවක් සේ සැලකෙනවා. බඩ දැවිල්ල නැතිකර උදර ආම්ලිකතාව හා පිත් ස්වභාවය එමඟින් අවම කර දෙනවා. මේ සීනි කැකිරිවල ගුණ කිහිපයක් පමණයි. එතරම් අසීමිත ගුණ පිරි සීනි කැකිරිවලින් සැකසිය හැකි වට්ටෝරු කිහිපයක් මෙවර තරුණී ඔබට තිළිණ කරනවා. මේ වට්ටෝරු සකසා රස බලන්න.

 

සීනි කැකිරි මූස්

 

මේ රසවත් මූස් එක හදන්න හොඳින් ඉදුණු සීනි කැකිරි ගෙඩියක්, සීනි ග්‍රෑම් 100ක්, ජෙලටින් තේ හැඳි 1 1/2ක්, අයිස් වතුර මේස හැඳි 2 1/2ක්, දෙහි යුෂ තේ හැඳි 1 1/2ක්, වැනිලා තේ හැඳි 1/2ක්, අාහාර වර්ණක සහ විපින් ක්‍රීම් අවශ්‍යයි.

 

මුලින්ම සීනි කැකිරි ගෙඩිය ගෙන එහි ඇට ඉවත් කරන්න. ඉන්පසු මදය තලපයක් ආකාරයට එන සේ වතුර බිංදු කිහිපයක් එකතුකරගෙන පොඩි කර ගන්න.

වෙනම කුඩා භාජනයක් ගෙන ජෙලටින්වලට අයිස් වතුර එක්කර පෙඟෙන්න තබන්න. ඒ අතරතුර විපින් ක්‍රීම් බීට් කර ගන්න. එයට සීනි ටික ටික එකතු කරමින් බීට් කර ගන්න. දැන් මේකට මුලින් පෙඟෙන්න තැබූ ජෙලටින් ටික එකතු කර ගන්න. දැන් ස්පැචූලා එකකින් කලවම් කර ගන්න. එයට වැනිලා, දෙහි යුෂ සහ සීනි කැකිරි පල්පය එකතු කරන්න. දැන් නැවත වරක් බීට් කර ගන්න. දැන් ස්පැචූලා එකෙන් කලවම් කර ගන්න. මෙයට වර්ණක එකතු කර නැවත ස්පැචූලා එකෙන් කලවම් කර ශීතකරණයේ තබන්න.

 

 

සීනි කැකිරි සලාදය

 

ඉතාම රසවත් අතුරුපසකි. ඔබ සකසන පලතුරු සලාදයට තරමක් සමානය. මේ සඳහා මධ්‍යම ප්‍රමාණයේ ඉදුණු සීනි කැකිරි ගෙඩියක්, කිතුල් පැණි ස්වල්පයක් සහ රසවත් කර ගැනීමට කජු ස්වල්පයක් අවශ්‍යයි.

 

සීනි කැකිරි ගෙඩිය සෝදා පොතු හැර දෙකට කපා ඇට ඉවත් කර ගන්න. දැන් සීනි කැකිරි කුඩා කොටු හැඩයට කපා ගන්න. එය භාජනයකට දමා කිතුල් පැණි එකතු කර මිශ්‍ර කරන්න. එයට උඩින් කුඩාවට කපාගත් කජු කැබලි ඉස පිළිගන්වන්න. කිතුල් පැණි නැත්නම් පොල් පැණි හෝ සීනි ද එකතු කර ගත හැකිය.

 

සීනි කැකිරි පානය

 

සිරුරේ දාහය නිවන්න හොඳම පානය විදිහට සලකන්නේ සීනි කැකිරි පානයයි. සීනි කැකිරි පානය සැකසීමට හොඳින් ඉදුණු සීනි කැකිරි පොඩි ගෙඩියක්, වතුර මිලිලීටර් 400ක් පමණ, සීනි ග්‍රෑම් 120ක්, රස අනුව ලුණු සහ අයිස් කැට අවශ්‍යයි.

පළමුව සීනි කැකිරි ගෙඩිය ගෙන සෝදා පොතු ඉවත් කර ගන්න. ඉන්පසු ගෙඩිය මැදින් කපා ඇට ඉවත් කරන්න. දැන් සීනි කැකිරි ගෙඩිය කෑලිවලට කපා බ්ලෙන්ඩර් එකට දමා ගන්න. එයටම වතුර සීනි සහ ලුණු එකතු කර ගන්න. දැන් හොඳින් බ්ලෙන්ඩර් කර වීදුරුවලට දමා අයිස් කැට එකතුකර පිළිගන්වන්න. රසය වැඩිකර ගැනීමට දෙහි බිංදු දෙක තුනක් ද එකතු කළ හැකිය.

 

උපදෙස්

සූපවේදී සර්වදර්ශනී අප්සරා