වර්ෂ 2024 ක්වූ October 28 වැනිදා Monday
කේක් එකට පාට ගොඩයි දෝණි වගේ හැඩකාරයි
පුංචි දියණියක් කියන්නේ ගෙදරක සුරතලියයි. ඉතින් මේ පුංචි සුරතල් දියණියගේ උපන් දිනය ළඟයි කියන්නේ ගෙදර හැමෝටම ඒක හරි විශේෂයි. ඒ නිසාම පුංචි දියණියගේ පළමු උපන් දිනය පුංචියට හරි සමරන්න ගෙදර උදවිය අමතක කරන්නේ නැහැ. මෙවර තරුණී ගෙන එන්නේ උපන් දිනය සමරන්න බලාගෙන ඉන්න දියණියන් වෙනුවෙන් වර්ණ කීපයක් එකතු කරමින් නිර්මාණ කළ අපූරු වින්ටේජ් කේක් එකකි. රෝස පාට කියන්නේ දියණියන් ආසම පාටක්නේ. මේ කේක් එකට ඔවුන් බොහෝ කැමැති වේවි.
මේ හරි අපූරු වින්ටේජ් කේක් එක නිර්මාණය කරලා තියෙන්නේ රිබන් කේක් කිලෝ 4කින්. කේක් එකට බටර් කේක් හෝ චොක්ලට් කේක් වුණත් යොදා ගන්න පුළුවන්. දියණියගේ රුචි අරුචිකම් දන්නේ අම්මලනේ. ඉතින් දියණිය ආස විදිහට ඒ තෝරාගැනීම කරන්න පුළුවන්.
දැන් මේ කේක් එකට අවශ්‍ය ද්‍රව්‍ය ටික සූදානම් කර ගනිමු.
යට තට්ටුව සඳහා අඟල් 9 තැටියක සැකසූ රිබන් කේක් කිලෝ 2 1/2ක්, උඩ කොටස සඳහා අඟල් 6 තැටියක සැකසූ රිබන් කේක් කිලෝ 1 1/2ක්, බටර් අයිසිං
ෆොන්ඩන්ට් අයිසිං, සරසා ගැනීමට එඩිබල් බීඩ්ස්, ළා රෝස පැහැයෙන් බේබි රිබන් සහ රවුම් කේක් බෝඩ් එකක් මේ සඳහා අවශ්‍යයි.
පළමුව කේක් බෝඩ් එක හරි මැද කිලෝ 2 1/2ක කේක් එක තබා ගන්න. එය සුදු පැහැ ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කර ගන්න. ඒ මත හරි මැදට වන්නට කිලෝ 1 1/2ක කේක් එක තබන්න. එයත් පෙර ලෙසම ෆොන්ඩන්ට් අයිසිංවලින් කවර් කර ගන්න.
දැන් මේ කේක් එක බටර් අයිසිංවලින් හැඩ කර ගනිමු.
දැන් යට තට්ටුවේ හිස කොටස (cake scalp) කොටස් 8කට බෙදා වෙන් කර ගන්න. එහිදී හරි මිම්ම ගැන සැලකිලිමත් වෙන්න. මේ කේක් එක හැඩ කර ගැනීම සඳහා ළා රෝස, තද රෝස සහ බටර් පැහැති බටර් අයිසිං යොදා ගනියි.
යට කේක් තට්ටුවේ පහළින් බටර් අයිසිංවලින් හැඩකිරීම අරඹන්න. නොම්මර 24 ෆ්‍රිල් නොසල් එක භාවිත කර ළා රෝස පැහැයෙන් රූපයේ පරිදි ෆ්‍රිල් එකක් ආකාරයට ගෙන යන්න. එයට උඩින් බටර් පැහැ බටර් අයිසිංවලින් නොම්මර 9 සෙල් නොසල් එක භාවිත මුහුදු රැලි ආකාරයක් එන ආකාරයට ලස්සන කර ගන්න.
දැන් යට කේක් එකේ මැද කොටසත් බටර් අයිසිංවලින් හැඩ කරගත යුතුයි. පෙර මැන ගත් කොටස් 8ට අනුව මුළු අටක් එන පරිදි තද රෝස පැහැයෙන් ෆ්‍රිල් එකක් ආකාරයට 24 ෆ්‍රිල් නොසල් එකෙන් බටර් අයිසිං කර ගන්න. ඒ අාකාරයටම එයට උඩින් ළා රෝස පැහැයෙනුත් එම නොසල් එකෙනුත් අයිසිං කර ගන්න. දැන් නොම්මර 21 නොසල් එකේ බටර් පැහැ අයිසිංවලින් එයට උඩින් සරසා ගන්න. ඒ ආකාරයටම එයට උඩින් තවත් ෆ්‍රිල් එකක් දමා ගත යුතුය. එහිදී තද රෝස පැහැ ෆ්‍රිල් එකක් දමා එයට උඩින් ළා රෝස පැහැ ෆ්‍රිල් දෙකක් දමා ගන්න. මේ ෆ්‍රිල් එකට පහළින් ඇති බටර් පැහැ නූල වැනි කොටස දමාගෙන ඇත්තේ නොම්මර 09 නොසල් එකෙනි.
කේක් එකේ යට රවුම හැඩ කර ගත් ආකාරයටම උඩ රවුමත් හැඩ කර ගන්න. එහිදී උඩ රවුමේ යට ලයින් එක හැඩ කරගෙන ඇත්තේ තද රෝස පැහැ බටර් අයිසිං යොදාගෙන නොම්මර 21 සෙල් නොසල් එකෙනි. උඩ ලයින් එක සඳහාත් නොම්මර 21 යොදා ගනිමින් බටර් පැහැ අයිසිං ලයින් එකක් සහ තද රෝස පැහැ අයිසිං එකක් යොදාගෙන ඇත. එඩිබල් බීඩ්ස් යොදා ගනිමින් මේ කේක් එක තවත් හැඩ කර ගන්න පුළුවන්.
උපදෙස්
කේක් නිර්මාණ ශිල්පී
විජිත කුමාර
A Tesat Of Hevans