කාංචනාගේ උපන්දිනයට හැදූ රාජකීය පියානෝව

නොවැම්බර් 18, 2024

පුංචිම පුංචි පියානෝවක්, ස්වර ප්‍රසතාර පිරි මායාකාරී කඩදාසී කොළ, කනට මිහිරි සෞම්‍ය සංගීතයක්. එතැන තිබුණේම සංගීත කලාවට ගැලපෙන පසුබිමක්. හැබැයි මෙය සංගීතඥයකුගේ සංගීත කාමරයක්වත් කලාගාරයක් වත් නොව පියානෝවක තේමාව ගත් හරි අපූරු මායාකාරී කේක් නිර්මාණයක්.

මේ අපූරූ කේක් එක නිර්මාණය කරන්නේ ගායන ශිල්පිනී කාංචනා අනුරාධිගේ උපන්දිනය නිමිත්තෙනි. ගායනය ජීවිතයම කරගත් ඇය වඩා ප්‍රියකරන සංගීත භාණ්ඩ අතුරින් පියානෝව තේමාව කරගනිමින් නිර්මාණය වුණු මේ කේක් එක සඳහා දම් වර්ණය යොදාගෙන ඇත්තෙත් විශේෂ හේතුවකට ය. ඒ ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇය දම් පැහැති අලංකාර ගවුමකින් හැඩ වී තිබීමයි. දම් වර්ණය කියන්නේ රාජකීය වර්ණයක් කියලනේ කියන්නෙත්. ගවුමේ වර්ණයට ගැලපෙන ලෙස නිම වූ මේ හරි අපූරු කේක් එක නිර්මාණය කර ගන්නේ මෙහෙමයි.

මේ කේක් එක නිර්මාණය කරලා තියෙන්නේ චොකලට් කේක් කිලෝ එකහමාරකින්. හැබැයි ඉතින් ඒ සඳහා බටර් කේක් හෝ රිබන් කේක් වුණත් යොදාගන්න පුළුවන්. ඒ විදිහට තමන්ගේ රුචි අරුචිකම් මත වෙනස්කම් සිදුකළ හැකිය.

දැන් අපි අවශ්‍ය ද්‍රව්‍ය ටික සූදානම් කර ගනිමු.

අඟල් 8 තැටියක සැකසූ චොකලට් කේක් කිලෝ 1 1/2ක්,

‍බටර් අයිසිං, ෆොන්ඩන්ට් අයිසිං, සරසා ගැනීමට එඩිබල් බීඩ්ස්, එඩිබල් පේපර් සහ රවුම් කේක් බෝඩ් එකක් මේ සඳහා අවශ්‍යයි.

පළමුව කේක් බෝඩ් එක හරි මැද කිලෝ 1 1/2 කේක් එක තබා ගන්න. ඉන්පසු සුදු පැහැ ෆොන්ඩන්ට් අයිසිං ගෙන රූපයේ පෙනෙන පරිදි, පළල අඟලක් වන පරිදි තරමක් තීරු කපා ගන්න. දැන් කේක් එක වටේම බටර් අයිසිං ස්වල්පයක් තවරා ගන්න. සකසා ගත් ෆොන්ඩන්ට් අයිසිං තීරු, කේක් එක වටේම සිරස් අතට එක ළඟ අලවා ගන්න. දැන් කලු පැහැ ෆොන්ඩන්ට් අයිසින් ගෙන අඟල් 1/2 පමණ පළල දිගු තීරු කිහිපයක් කපා ගන්න. එම තීරූ, සුදු පැහැ ෆොන්ඩන් අයිසිං තීරු මත තැනින් තැන රූපයේ පරිදි අලවා ගන්න. ඉන්පසු කේක් එකේ උඩ කොටස, යට කොටස සහ කේක් එකෙහි මුහුණත කොටස් දම් පාට බටර් අයිසිං වලින් කවර්කර නීට් කරගන්න.

මෙහි දැක්වෙන ස්වර ප්‍රස්තාර කොළ සඳහා යොදාගෙන ඇත්තේ එඩිබල් ප්‍රින්ටින්ය. කේක් බඩු තියෙන තැන්වලින් ද මෙය පහසුවෙන් කර ගත හැකිය. ඒ වගේම ඇතැම් වෙළෙඳසල්වල පවා ලබා ගැත හැකිය. ඔන්ලයින් ඕඩර් කරගන්නත් පුළුවන්. හැබැයි තමන්ගේ ගෙදර මුද්‍රණ යන්ත්‍රයක් තියෙනවනම් මේ එඩිබල් ප්‍රින්ට් එක නිවෙසේදීම සකස්කර ගන්නත් පුළුවන්.

 

මෙසේ සකසාගත් එඩිබල් ප්‍රින්ටින් පිටුවක්ගෙන රූපයේ පරිදි කේක් එකේ දකුණු පස අලවා ගන්න. අනෙක් පිටු දෙක කේක් මුහුණත මත අලවා ගන්න.

සංගීත කලාවටම ගැලපෙන මේ කේක් ටොපර් එක තමන්ටම නිර්මාණය කරගත හැකිය. අන්තර්ජාලයෙන් ලබා ගත් සංගීත ස්වරයක් සහිත රූපයක් ගෙන සුදු පැහැ බෝඩ් එකක් මත මුද්‍රණය කර මේ අකාරයට කේක් මුහුණත මත අලවා ගන්න.

එඩිබල් බීඩ්ස් යොදා ගනිමින් මේ කේක් එක තවත් හැඩකර ගන්න පුළුවන්. තමන්ගේ රුචි අරුචිකම්

මත කැමති ආකාරයට මේ සැරසීම් කටයුතු කරගත හැකිය.

 

ඡායාරූප උදිත උමේෂ්

 

උපදෙස්

කේක් නිර්මාණ ශිල්පී

විජිත කුමාර

A Tesat Of Hevans