වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
උණු අළු පල්ලේ පුච්චපු කෙහෙල් මලේ රස
කෙසෙල් මුව වෑංජනයක් බත් මුලට බැඳගෙන යන්න බොහෝ දෙනෙක් මැලිකමක් දක්වති. එයට හේතු බොහොමයකි. කෙහෙල් මුව මිලෙන් අඩු ගමේ සරල ආහාරයක් වීම, පිස ගැනීමට සූදානම් කරන මොහොතේම වර්ණය වෙනස් වීම, තරමක කහට ස්වභාවයක් දැනීම වැනි කාරණා ඒ අතර ප්‍රධාන වේ.
එහෙත් පෙනුමට කන බොන බොහෝ ආහාරයන්ට වඩා කෙසෙල්මුව වැනි ගමේ හැදෙන වැඩෙන ස්වාභාවික ආහාර අපේ ශරීරයට ඉතා ගුණදායක වන බව ඔබ දන්නවාද? කොස් ඇට, කරවල, හාල්මැස්සන්, පරිප්පු, තිබ්බටු වැනි දෑ සමඟ මිශ්‍ර කරමින් ද සම්බෝල, සලාද, ඇඹුල, සුප්, මැල්ලුම වශයෙන් ද කෙසෙල් මුව ආහාරයට ගත හැකිය.
පෝෂණ ගු ණය
කෙසෙල් මුව කියන්නේ යකඩ, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, ප්‍රතිඔක්සිකාරක, තඹ වැනි බොහෝ ගුණාංගයන්ගෙන් පොහොසත් ආහාරයකි. එසේම ලොව වැඩිම තඹ අන්තර්ගත ආහාරය ලෙසත් මෙය සැලකේ. පීකුදුවල මෙන් දහ ගුණයක් ද, නිවිතිවල මෙන් විසි ගුණයක් ද යකඩ මෙහි අඩංගු වේ.
මෙහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා අකලට වයසට යෑමද, සම දිරාපත් වීමද පාලනය කරන අතර බෝ නොවන රෝගවලින් ඔබව ආරක්ෂා කර ගැනීමේ ශාරීරික ප්‍රතිශක්තිය ද වර්ධනය කරයි. ඊට අමතරව පිළිකා, ස්නායු රෝග සහ හදවත් රෝග වැනි රෝග රැසකට පිළියමක් ද වෙයි.
ඔසප් සමයේ සිදුවන රුධිර වහනය ද අවම කරයි. මානසික පීඩනය අඩු කිරීමේ අපූර්ව හැකියාවෙන් ද කෙසෙල් මුව පොහොසත්ය.
ඒ වගේම දියවැඩියාව පාලනයට සුවිශේෂී ආහාරයක් ලෙසත් කෙසෙල් මුව හැඳින්විය හැකිය. හැදෙන වයසේ දරුවන්ගේ කෑම රුචිය වැඩි කරවන ආකාරයට විවිධ ක්‍රමවලට අනුව කෙසෙල් මුව සකස් කර දීම වඩා සුදුසුයි. කෙසෙල් මුව වෙළෙඳපොළේ ඇති අනෙකුත් එළවළු හා සංසන්දනය කර බලන විට වැඩි මිලක් නොවන නිසා මෙවන් ගුණදායක ආහාර වෙත යොමු වීම පසුම්බියට ද පහසුවක් වේවි. කෙසෙල් මුවේ ඇති කහට ස්වභාවය සහ එහි වර්ණය ඉක්මනින් වෙනස් වීම නිසා ද ඇතැම් ගෘහිණියෝ මෙය ආහාරයට ගැනීමට මැලිකමක් දක්වති. කෙසෙල් මුව ලියා ගැනීමට පෙර කුඩා බේසමක් හෝ වෙනත් භාජනයක් ගෙන එයට වතුර දමා දෙහි යුෂ ස්වල්පයක් හෝ කහ ස්වල්පයක් එක් කරන්න. මේ ද්‍රව්‍ය දෙක ම එක් කිරීමේ ද වරදක් නැත. දැන් ඔබ ලියාගන්නා කෙසෙල් මුව මේ භාජනයට දමන්න. එය පිසීමට සූදානම් කර ගන්නා තෙක්ම වර්ණය වෙනස් වීමකින් තොර ව පවතී. පිස ගැනීමට පෙර වතුර මිරිකා ගන්න.
කෑමට සුදුසු මුවක් තෝරා ගන්නා අන්දම
ඊළගට ගෘහිණියට ඇති ප්‍රශ්නය මෙහි ඇති කහට ස්වභාවයයි. මෙය සිදු වන්නේ අප තෝරා ගන්නා කෙසෙල් මුව ප්‍රභේදය අනුවය. සාමාන්‍යයෙන් ආනමාලු කෙසෙල් මුව කහට ගතියෙන් වැඩිය. ඒ නිසා අපි ඊට විකල්පයක් ලෙස වෙනත් කෙසෙල් ප්‍රභේදයක් තෝරා ගනිමු. සාමාන්‍ය කෙසෙල් මුවකට වඩා ආනමාලු කෙසෙල් මුවක පිට පැත්තේ තද අළු ස්වභාවයක් පවතී. එහි මැද කොටස අනෙක් කෙසෙල් මුවවලට වඩා තද කහපාටින් ද යුක්තය.
අධික කිරි ගතියක් ද සහිතය. මේ කියන ලක්ෂණ ඇති කෙසෙල් මුව ඉවත් කර අනෙකක් තෝරාගත හැකිය. දැන් කෙසෙල් මුව සම්බන්ධයෙන් ඔබට පැවැති සියලු ගැටලු නිරාකරණය වී ඇති නිසාත් කෙසෙල් මුව යනු ඉතා ගුණවත් ආහාරයක් සහ එහි ඇති ගුණ පිළිබඳ දැනුම්වත් වූ නිසාත්, නීරෝගි සුව රැක ගන්න ඔබත් කෙසෙල් මුව ආහාරයට ගන්න පුරුදු වෙන්න.
හරි පදමට මෙෙහම හදමු
කෙසෙල් මුවවලින් සදාගත හැකි ආහාර බොහෝමයි. ඒ ආහාර වර්ග අතුරින් අද අපි ගෙන එන්නේ උණු අළු පල්ලේ පුච්චපු කෙසෙල් මුව ඇඹුලක රස බලන්න හරි පදම කියලා දෙන්නයි.
මේ සඳහා කුඩා කෙසෙල් මුවක්, තළාගත් සුදුලුනූ, ලියාගත් රතුලූනූ, අමු මිරිස් හෝ නයි මිරිස්, උම්බලකඩ කුඩු ස්වල්පයක්, කහ, අමු තුනපහ කුඩු, මිරිස් කුඩු හා බැදපු තුනපහ කුඩු ඔබේ රස පදමට, සියඹලා යුෂ තේ හැඳි 1/2ක්, කැබලි කපාගත් ඉදුණු තක්කාලි ගෙඩියක්, මිටිකිරි කෝප්පයක් සහ රස අනුව ලුනු අවශ්‍යයි.
මුලින්ම කෙසෙල් මුවේ උඩින්ම ඇති පතුරු කිහිපයක් ගලවා සුද්ද කර ගන්න. ඊට පසු ගිනි අඟුරුවල දමා පෙරළමින් විනාඩි 15ක් පමණ මේ කෙසෙල් මුව පුච්චා ගන්න. ගෑරුප්පුවකින් අනින විට මැද තැම්බී තියෙන බව පේනවා. පුච්චා ගත් කෙසෙල් මුව ලුණු මිශ්‍ර වතුරෙන් හොඳින් සෝදා මිරිකා කුඩා කුට්ටි කපා ගන්න.
දැන් මැටි හට්ටියක් ළිපේ තබා තෙල් ස්වල්පයක් රත් කර අබ පුපුරුවා ගන්න. එයටම පොල්කිරි හැර තළාගත් සුදුලූනූ ඇතුළු අනෙකුත් ලියාගත් කළමනා සියල්ලක්ම එකතු කොට මඳ ගින්දරේ ටික වේලාවක් තෙම්පරාදු කරන්න. හැන්දකින් තක්කාලි ටික පොඩි කරන්න. සියඹලා යුෂ හා උම්බලකඩ දානවා නම් ඒවත් එකතු කරන්න.
දැන් එයට කුට්ටි කපාගත් කෙසෙල් මුව ටික දාලා තවත් ටික වෙලාවක් තෙම්පරාදු කර මිටිකිරි එකතු කර මඳ ගින්නේ තෙල් පෑදෙන තුරු පිස ගන්න. ලුණු ඇඹුල්, තුනපහ මදි නම් එකතු කරන්න. බත් හෝ ඉඳිආප්ප එක්ක කන්න පුළුවන් හරිම රසවත් වෑංජනයක්.
උපදෙස් හා ඡායාරූප ප්‍රවීණ සූපවේදිනී තිලානි විතානගේ