වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
බොන්සාලේ රස ආලේ ..!
අපි ජීවිතේ වැඩි හරියක් බඩගින්න නිවාගන්න කාපු කෑමක් තමයි මේ. අපි ගල උඩ මාළුව කියලා මේකට කිව්වේ ආදරේට. මොනාද අම්මේ අද හැදුවේ? කැකුළු බතුයි, ගල උඩ මාළුවයි. ගොඩක් උදෑහනවල් ගෙවුණේ ගල උඩ මාළුවේ රස කහට දිවේ දවටලා.
සපරගමුවේ මාළුව කියලා කියන්නේ වෑංජනයට. නැත්තම් හොද්දට. ඉතින් මේක නම් හොද්දක් නෙවෙයි. පොල් සම්බෝලය කිව්වාම හැමෝම මේක අඳුරනවා. පොල් සම්බෝල කාපු නැති එකෙක් ලංකාවෙ ඉන්නවා කියලා මම නම් හිතන්නේ නෑ. මේකත් කේරළයෙන් ආපු කෑමක්ද කියන්න නම් මට තේරෙන්නේ නෑ. ඒත් මේක අපේ ජීවිතයත් එක්ක ඇලුණ රසක්. අද වෙනකොට මේ කෑම ගුණෙන් අනූනයි කියලා දොස්තරලා, පෝෂණවේදියෝ කියනවා. බත් චුට්ටකුයි, ගල උඩ මාළුව ගොඩකුයි එක වේලකට හැම අතින්ම සෑහෙනවා. බඩ අඩු කරනවා. කය ශක්තිමත් කරනවා. ඒක තමයි මේකේ ගුණේ.
ඉස්සර ගෙදරක මිරිස් ගලක් වරදින්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුව වෙන්න ඇත්තේ තුනපහ කුඩුමිරිස් කුඩු එන්න කලින් මේ අඩුම කුඩුම අඹරලා තමයි ගත්තේ. පස්ස පස්සට දාලා ලතාවකට අඹරනකොට සම්බෝල වගේම රසයි.. කාන්තාවක් මිරිස් අඹරනවා බලන් ඉන්නකොට අපේ හිතත් ඇඹරිලාම යනවා. මේක ඉතින් පුරුෂ ආධිපත්‍ය කියලා කියන්න එපා. දැනුත් ඉතින් අඹර අඹර ඇවිදින ලස්සන කාන්තාවෝ එමට.
හරි මේකයි ගල උඩ කතාව. ගල උඩ සටන වගේ තමයි මේකත්. මුලින්ම ගල උඩට දාගන්නේ ටිකක් කලින් ලුණු පොල්කට්ටේ ඔබලා තිබ්බ රතු වේළිච්ච මිරිස් කරල් පොකුර. මේක උඩට ලුණු කැට ටිකක් දාගත්තාම නියමෙට පදමට මිරිස් කරල් ටික ඇඹරෙනවා. ගල ඉතින් කරකවන විදිහ ලියන්න ඕනි නෑනේ. හරි මුලින්ම මිරිස් ලුණු ඊළඟට මේක උඩින් තියාගන්නවා උම්බලකඩ. ඒකත් ගලේ කොනක් උස්සලා ගහලා පොඩි පට්ටම් කරගන්න ඕනී මුලින්. ඒක ඔය කාන්තාවෝ දන්නවා පැත්තකින් තියාගෙන තාලෙට ගසාගන්න.
ඊට පස්සේ අර මිරිස් ගුළියටම තියලා අඹර ගන්නවා. ඊළඟට මේකට රතු ලූනු හොඳට තියාගෙන චුරු චුරුස් ගාලා ජූසි එළියට වීසිවෙන විදිහට අඹරගන්නවා. ඊළඟට තමයි පුතෝ ගාගත්ත පොල් එකතු කරගන්නේ. පොල් රැහැන් ටිකක් ලොකුවට, ඒ කියන්නේ කේන්තියට වගේ පොලේ ගාගෙන තිබුණනම් බොලේ සම්බෝලේ එල වෙනවා. සමහරු ආස සිහිනියට. එහෙම ඈයන්ට එහෙම. මෙහෙම ඈයන්ට මෙහෙම.
ඊළඟට පදමට ඇඹරුණාට පස්සේ මැටි කෝප්පෙකට මේක බාගත කරගෙන දෙහි සාරු සරුවට දාගෙන ඇඟිලි අස්සෙන් චර චරව එළියට එන විදිහට සම්බෝලේ සම්බාහනය කරගන්න ඕනී. ඔන්න ඕක තමයි සම්බෝලයේ නැත්තම් ගල උඩ මාළුවේ මූලික ස්වරය.
ඊළඟට ඉතින් අපිට ගම්මිරිස්, සුදු ලූනු අඹරන්න පුළුවන්. එතකොට ගල උඩ මාළුව තව රස වෙනවා. අපි වියළි රතු මිරිස් දානකොට කරල් පහ හයක් ළිප්බොක්කේ දාලා ගන්න. අරන් අඹරගන්න එතකොට සම්බෝලෙ වෙන රහක්.
ඊළඟට ඔයාට පුළුවන් ගෙදර සූඩයෙක් ඉන්නවා නම් ළිප්බොක්කේ ඔබන්න. ඔබලා පුච්චලා අරන් ඒක උඩ දෙහි ජූසි අතුරන්න. ඊළඟට ඉතින් සූඩයා ගල උඩ තියලා රවුම් ගලෙන් පාරක් දෙකක් ආදරෙන් ගහලා හදාගන්න පුළුවන්. එහෙම ගහලා අරකත් එක්ක අඹරගත්තාම පොල් සම්බෝලේ නැත්තම් ගල උඩ මාළුව තවත් වෙනස්ම රසක් අපිට දෙනවා.
මිරිස් අඹරනකොට ඔයාට පුළුවන් කොළට කොළේ නැවුම් කරපිංචා ඉති ටිකක් අඹරගන්න. ඔන්න එතකොට ගල උඩ මාළුව තවත් රසක් ගන්නවා. ඊළඟට මේ ඇඹරිල්ල කරනකොට ගල උඩට අබ ටිකක් හලා ගන්න. ඒක චිරි චිරියේ ඇඹරෙනකොට තවත් රසක්. මේ සේරම ස්වර එකතු කරලා සිම්පනියක් හදන්නත් පුළුවන්. එතකොට ඒක අමා රස.
ඊළඟට සම්බෝලේ අඹරලා අරගෙන කරන පොඩි පොඩි සාත්තු නිසත් මේකේ රස වෙනස් වෙනවා. දෙහි දාන විදිහත් එකක්. ඔයාට පුළුවන් දෙහි ගෙඩිය අළුපල්ලේ දාලා පුච්චගෙන ජූසි හලාගන්න. එතකොට ඉතින් තවත් රසක්. ඊළඟට කොළ මිරිස් චූටියට සූපින්ව කපාගෙන ඒ අහුරක් සම්බෝලෙට එකතු කරගෙන සම්බාහනය කර ගන්නත් පුළුවන්. ඒක වෙන රහක් ලස්සන පෙනුමක්.
ඉතින් මේකට ලොකු ලූනු රවුමට කපාගෙන සම්බෝල කර ගන්න පුළුවන් එතකොට තවත් රසක් සුදූ. ඊළඟට මිරිස් කොළ ටිකක් කර කරේට බැදලා ඒක මික්ස් කරගෙන බොන්සාලේ සාලේ ඉඳගෙන කාලා බලන්නකෝ. සම්බෝලෙ මෙහෙම අඹරගෙන ඒකට තව වතුර සුඟක් දාගෙන මේක ළිපේ තියන්න. ළිපේ තියලා ඒකට හාල්මැස්සෝ යහමින් දාගන්න. ආ... තව සියඹලා, සුදු ලූනු එහෙමත් එකතු කරගෙන තම්බගන්න ඕනී. හොද්දක් හින්දව ගන්නවා වගේ. මේක ගල උඩ මාළුවේ හොදි වර්ෂණය. සුදු බත් මරන්න නම් මීට වඩා බොන්සාලයක් තවත් නෑ.
ඊළඟට ඉතින් අපි හදනවා සුදු සම්බෝලේ කියලා එකක්. ඒ හදන්න ගන්නේ නයි කොච්චි. අර විදිහටම තමයි වැඩේ යන්නේ. රතු මිරිස් වෙනුවට අමු කොළ නයි කොච්චියා වැඩේට එන්ටර් වෙනවා. හොඳට උම්බලකඩ, හොඳට රතු ලූනු ඇඹරුණාම ගෑවුණ ගෑවුණ තැන කන්න පුළුවන්. අපි රොටී කන්න, පාන් කන්න, මඤ්ඤොක්කා කන්න ටකස් බකස් ගාලා හදාගන්නේ මේ සුදු සම්බෝලේ.
ඊළඟට අපි හදනවා කළු සම්බෝලේ කියලා එකක්. ඒක නම් ඉතින් අමෘත රස තමයි දෙන්නේ. උණ හැදුණාම, උගුර බැරැණ්ඩි වුණාම, සෙම්ගෙඩි ආවාම, කන්න අප්පිරියා වුණාම අම්මා මේක හදන්න අමතක කරන්නේ නෑ. මේකට පොල් ගාලා නෙවෙයි ගන්නේ. පොල් උගුල්ලලා තමයි ගන්නේ. උගුල්ලලා අරගෙන පොල් පුච්ච ගන්න ඕනී. පොල් පොත්ත හොඳට කළු වෙන්න ඕනී ඇතුළ සුදු පාටට හිනාවෙන්න ඕනී. අඟුරු ටික පිහියෙන් හූරලා ගල උඩ තියලා ගලෙන් ඇනගෙන ඇනගෙන යන්න ඕනී. ජූසි සුදුවට එළියට පැන්නට පස්සේ ඒක උඩ ඔය අනෙක් සේරම අඩුම කුඩුම අඹරගන්න ඕනී. විශේෂයෙන් වැඩියෙන් ගම්මිරිස්, නයි කොච්චි, සුදු ලූනු එකතු කරගෙන අඹරගන්න ඕනී. ආ... කියන්න අමතක වුණානෙ අපි මේකට රතු ලූනු දාන්නේ නෑ. සුදු ලූනු තමයි ඒ වෙනුවට අඹරන්නේ. ඊළඟට කරපිංචා යහමින්, දෙහි යහමින් දාගන්න ඕනී. පුළුවන් නම් උම්බලකඩ හරි සූඩයෙක් පුච්චගෙන හරි මේකට දාගන්න. දාගෙන අඹරගන්න එතකොට තවත් රසයි.
ඉදුණු තක්කාලි පුච්චලා සම්බෝලේ එක්කම අඹරගන්න හරි අනාගන්න හරි පුළුවන්. එතකොට රස දෙගුණ වෙනවා. තක්කාලි පුච්චන්නේ නැතුව කෑලි හැපෙන්න සම්බෝලේ අඹරලා ඉවර වුණාම දාගන්නත් පුළුවන්. කාටහරි හිතෙනවා නම් සම්බෝලේ නරක්වෙයි ඉක්මනට කියලා තෙල් ටිකක් ළිපේ තියලා රන්වනට ලොකු ලූනු රවුම් ටිකක් කරපිංචා කොළ සුඟක් අබ අහුරක් බැදගෙන ඒකට සම්බෝලේ චාස්ගාලා දාගෙන එහෙට්ට මෙහෙට්ට කරගෙන බාගන්න. එතකොට ඒක වෙනස්ම රහක්.. මෙහෙම බැදගන්නවා නම් සම්බෝලේ දිය ගතියට හදාගන්නේ නැතිව ඉන්න එක තමයි හොඳ...
ඕක තමයි ඉතින් බොන්සාලේ රස අාලේ... කතාව. හොඳ සැරට සම්බෝලයක් හදාගෙන රොටියක් පුච්චගෙන කහට කෝප්පෙකුත් වක්කරගෙන මේක කියවන්න...!