වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
බෙල්ලා, රස අහුරක්..!
බෙල්ලෝ කිවුවහම එක එක නෙක නෙක වර්ග. ගොඩබිමේ කරිජ්ජේ මිරිජ්ජේ දෙකේම ඉන්න සත්ත්ව විශේෂයක්. මේ සත්ත්ව විශේෂය මිනිස්සු වුණ අපි අපේ ඉතිහාසයේ මුල ඉඳලාම ආහාරයට ගත්තා. ඉස්සර නම් බෙල්ලෙක් ඇහිඳලා අරගෙන සුටුස් ගාලා කටට දාගත්තා වෙන්න පුළුවන්!! ඉස්සර අපේ ගමේ හිටපු වංසපාල මාමා පුවක් ගස්වල හිටපු ගොළුබෙල්ලන්ගේ (කැහි බෙල්ලෝ කියලත් කියනවා) ජූස් එක සුරුස් ගාලා බිව්වා අපි ඇස්දෙකටම දැක්කා.
බළන්ගොඩ බටදොඹ ලෙනේ හිටපු ආදි මානවයෝ, ඒ කිවුවේ අපේ පූර්වයෝ, බෙල්ලෝ ආහාරයට අරගෙන තියෙන විදිහට පොසීල වුණ කවච කියනවා.. දැන් ඉතින් මේ කතාව ඒක නෙවෙයි. මේ කතාව මට්ටි කියලා අපි පොදුවේ හඳුනාගන්නා මුහුදු බෙල්ලෝ ගැන. ඊටත් එහාට ගිහින් ග්‍රීන් මසල් කියන මුහුදු ජීවියා, වඩාත් ලස්සනට ශිෂ්ට විදිහට කටට රහට බඩට දාගන්නේ කොහොමද කියලා කියන්නයි මේ යන්නේ. ඊට කලින් චූට්ටක් මේ බෙලි ලෝකයේ කිමිදිලා එමු.
ග්‍රීන් මසල් ලා ගැන කතා කරනකොට නවසීලන්තය අමතක කරන්න බැහැ. නවසීලන්ත ක්‍රිස්ටල් නීල මුහුද හරිත පැහැ කවචයක් දරාගත්ත මේ බෙල්ලෝ විශාල ප්‍රමාණයකට ජීවය දෙනවා. ග්‍රීන් කිවුවට මෙයාලගෙ ගෑනු සතාගේ කවචය යෙලෝ නැත්තම් කහ වාර්ණිකයි. නවසීලන්තයේ මොහාරි ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ආහාරයක් වුණ මේ හරිත මසල්ලාවන්, ඒ කාලත් ඉවර වුණේ නෑ. ඒ කොහොම වුණත් ලෝකය පුරා විසිරුණු මසල්ලා රස ඉල්ලන මිනිස් කටවල්වලට දැන් මේ මුහුදු ජීවියාගේ රස මාංසය සපයන ප්‍රධාන ලෝක සැපයුම්කරුවාත් නවසීලන්තයයි. ඒ ඔවුන් මේ ජීවීන් අද මහා පරිමාණයෙන් වගාකරන නිසා. රට වටකර මුහුද තිබුණට අපේ දිවවල් තාම ඇඹුල්තියල් විතරක්ම ඉල්ලන නිසාදෝ අපි මේවා වගා කරන්න කල්පනා කරන්නේනෑ.
නවසීලන්තයේ වගේම ලංකාවෙත් වටේටම නොගැඹුරු මුහුදේ කලපු දිය රැලි අස්සෙ මෙයා මොකක් හරි දෘඩ දේකට ඇලී ජීවත්වෙනවා. ක්‍රිස්ටල් නීල මුහුදක කොළපාට හරි පාට වුණත් අපේ දූෂණය වුණ කලපු තීරයක ඉතින් කළුපාට කවචයක් දරාගෙන වුණත් මෙයා ඉන්න පුළුවන්!! අපේ මුහුද අවට මිනිස්සුත් මේ බෙලි විශේෂය කඩලා ගෙනල්ලා තබ්බලා පොතු ඇරලා කෑවා. නැතිනම් සූපයන් විදිහට ආහාරයට ගත්තා. අපි ගොඩාක් වෙලාවට මෙයාලට පොදුවේ කිවුවේ මට්ටියෝ කියලා. මට්ටියෝ කඩලා උණු හැළියේ නටවලා සුප් බිව්වේ කොලුකමට මූදුකරේ කොල්ලෝ. ඒම සුප් හදාගෙන බීපු අතීතයක් මේ ලියුම්කරුටත් තිබුණා. ඒ බෙන්තර ගඟ මුහුද සොයන මෝය ඉසව්වේ. ඒ කොහොම වුණත් අපේ මිනිස්සු ගිනියමයි කියලා මේ මසල්ලාවන් පස්සේ පැන්නුවේ නෑ. එච්චර පස්සෙන් වැටුණේ නෑ. ඒත් නවීන ලෝකය කියන විදිහට හදවතට සහ මොළයට සුවය අරගෙන එන ඔමේගා 3 පෝෂකය වැඩිපුර තිබෙන ස්වභාවික මූලාශ්‍රය තමයි බෙල්ලෝ. ඒ අතරිනුත් මේ කොළ පැහැ මසල්ලාවන් විශේෂයි. ඊට අමතරව යකඩ, විටමින් බී 12, විටමීන් සී මේ මසල්ලාවන් එයාලගේ මාස්මිලෝස් ඇඟතුළේ තැන්පත් කරගෙන ඉන්නවා.
රස පටලගන්න මම සිංගප්පූරුවේ ඉන්න කාලේ Green Mussels නෙක නෙක විදිහට කාලා කාලා, ඔයිස්ට්‍රස් අමුවෙන්ම ගුඩුස් ගාලා ගිලලා, ඒ රස එක්ක බෙල්ලෝ නම් ඉතින් දෙන්නම් බඩ පැලෙන්න කියන මානසික සූදානමකින් තමයි හිටියේ. ඒම ඉන්නකොට තමයි මීගමුවේ නාමල්ලයියා (ජූඩ් නාමල්) බයිටට බෙල්ලෝ අරන් ආවේ. ඊට පස්සේ ඉතින් මම මිනිහත් එක්ක මීගමු කලපුවේ කිමිදි ළා කොළ පැහැ මසල්ලාවන් අහුරු අහුරු කැඩුවා.
එක එක ක්‍රමයට හදන්න පුළුවන්. මුලින්ම කිමිදිලා ගල්වල ඇලිලා ඉන්න මෙයාලා කඩාගෙන එන්න ඕනී. ඊළඟට කවචය හොඳට බ්‍රස් කරලා සෝදගන්න ඕනී. නවසීලන්තය වගේ රටවල මුහුද දූෂණය වෙලා නැති නිසා මෙහෙම සෝදාගන්න අවශ්‍ය නැතුව ඇති. ඊළඟට අමුවෙන් කන්න ආසාවක් නැත්තම් වතුර භාජනයක් ළිප තියලා නටනකොට මසල්ලාවන් ඒකට දාගන්න ඕනී. ඊළඟට කල්පනාවෙන් ඉඳලා උන්ගේ දෙතොල් කවච විවර වෙනකොට ළිපෙන් බාගන්න ඕනී. ඊට පස්සේ ඉතින් රස ගොඩාක් තමන්ගේ ඉස්සරහා තියෙනවා. තමන් කැමති කොහොමද ලෙසටම හදාගන්න තියෙන්නේ.
කටට රහට ආහාර හදාගන්නවා කියන්නේ කලාවක්. ඒ නිසා ඒක අස්සේ ගල් ගැහුණ වට්ටෝරු නෑ. දැන් ලෝකේ පුරා තියෙන වට්ටෝ සෙට්ටෝරුවෙලා සැලඩිකරණය වෙලා තියෙන්නේ. ඊස්ට් වෙස්ට් නෝත් සවුත් කළවම් බලා නෙක නෙක රස බෝවීලා තියෙන්නේ. ඒ හින්දා ඕනිනම් චීස් ටිකක් බටර් ටිකක් උඩින් ඉහල කෙනකුට මේ මසල්ලාවන් බේක් කරලා විස්කෝති ක්‍රමයට රස විඳින්න තහනමක් නෑ. තවත් කෙනෙක්ට අමු හිංගල ක්‍රමයට කිරිහොද්දක කාරලා ගිල්වලා නටවලා සුවඳින් කුස්සිය නහවලා කරලා කන්න පුළුවන්. ඒ වෙලාවට අම්මෝ ගිනියමයි දෙයියෝ කියලා හිත කියනව නම් හට්ටිය බාගන්න කලින් මුරුංගා කොළ ටිකක් උඩින් විසිකරන්න. ඒක මරු වෙයි. තව කාටහරි රටින් ගෙනල්ලා නෝනා බොන්න නොදී ඉන්න වයිට් වයින් වගේ දෙයක් තියනවනම් බටර් ටිකක් දාලා වයිට් වයින් එක්ක මේක උයලා අරන් පිහලාම කන්න පුළුවන්.. එහෙම නැත්තම් අර කලින් කිවුව අමු හිංගල රෙසිපිය බටහිර බෙල්පෙපර්, ගාලික්, අනියොන්, වෙජි ස්ටොක් වගේ දාලා කායමක් විදිහට හදලා කරලා ගන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්න අරෙහෙන් මෙහෙන් මික්ස් වෙලා ඔම්ලට්කරණය වුණාම එන අමුතුම රස වහක් වගේ රහක් කියලා..
දැන් ඉතින් නාමලයියගෙ කතාව
ඕම ඕම එක එක රෙසිපියට චව් චව් ගාලා දෙසාබාන්න මේක කොහෙන් හරි සොයා ගන්න එපැයි. හඳුන්වා දෙන්නම්. එයා තමයි මීගමුවේ ජූඩ් නාමල් සහෝදරයා.
‘ මම මේක එක්ක අවුරුදු 10ක් ඔට්ටු වෙනවා. රජයෙන් හරි කිසිම ආයතනයකින් පුංචි හරි උදව්වක් නෑ. මම මේක නීත්‍යනූකූලව කරන්න බලපත්‍රයක් ඉල්ලුවා ඒකත් නෑ. මම මුලින් මුලින් මේ බෙල්ලෝ පැටව් ගෙනාවේ ත්‍රිකුණාමලයේ කල්අරාව, පොඩුවාකට්ටු, කින්නියා කියන පැතිවලින්. ගෙනල්ලා මීගමු කලපුවට දාලා සෑහෙන්න කාලයක් ට්‍රයි කළා. ඒත් බාගෙට බාගයක් මැරුණා. පස්සේ සුදු මහත්තයෙක් මට පෙන්නලා දුන්නා මීගමු කලපුවට හොඳ වතුර එන මාස 6ක වගේ කාලයට තමයි මේ බෙල්ලෝ මැරෙන්නේ කියලා. එතකොට ලවණතාවයේ අඩුවැඩි වීම තමයි මේකට හේතුව. ඒ එක්කම මීගමු කලපුවේ තැනින් තැනට ph අගය වෙනස් වෙන්නේ කොහොමද කියලා මිනිහා මට කියලා දුන්නා. මේ දැනුම්වත් වුණා පස්සේ මම දැන් අවුරුදු 3ක විතර ඉඳලා සාර්ථකව මේ බෙල්ලෝ හදනවා. දැන් මම කලපුවේ ph අගය වෙනස් වෙන විදිහට මගේ බෙල්ලෝ ස්ථානගත කරනවා. දැන් ඉස්සර වගේ මැරෙන්නේ නෑ. මම විතරයි ලංකාවේ Green Mussels හදන්නේ ’.
මුහුද හුස්ම ගන්න හැටි හොඳටම දන්නේ මීගමුවේ මිනිස්සුයි කියලා කියන කතාව හරියට හරි. අවුරුදු 10ක් ට්‍රයි කරලා මේ කොළ මසල්ලාවන් මීගමු කලපුවේ කොහොමහරි හදාගත්ත නාමල් අයියගේ කතාවෙනුත් ඒක ඔප්පු වෙනවා. මේ බෙල්ලාට ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒක නාරා ආයතනය වගේ ආයතනවල පුටු රත් කරන ලොක්කෝ දන්නේ නැතුව ඇති.
‘මේ බෙල්ලන්ගේ ඇඟේ බැරලෝහ සාන්ද්‍රණය ඉහළයි කියලා කතාවට කියනවා. ඔව් ඒක එහෙම වුණොත් වෙන්නේ අපේ මුහුදු වතුර දූෂණය වෙලා නිසා. හැබැයි මේ සත්තු හිරකරගෙන ඉන්න ඒ බැරලෝහ එළියට දාන්න පිල්ටරින් සිස්ටම් එකක් තියෙනවා. මම ඒක මගේ ගෙදර කරනවා. මුහුදු වතුර ගෙනල්ලා කොට්න්, චාකෝල් වගේ පිල්ටර්ස් තුනක් හරහා යවනවා. ඊට පස්සේ ඒ වතුරට මෙයාලා දාලා, ඒ වතුර රොටේට් වෙමින් මෙයාලා හරහා යන්න සලස්සනවා. එතකොට මෙයාලා ඇඟ ඇතුළේ තියාගෙන ඉන්න බැර ලෝහ එළියට දානවා. එහෙම කරලා තමයි මම මේ බෙල්ලෝ විකුණන්නේ.'
නාමල් අයියා අවුරුදු 10ක් වෙනකොට කොළ මසල්ලාවන්ගේ ජීවිතය ඇතුළටම රිංගලා. මිනිහගේ ඊළඟ අරමුණ තමයි මේ කර්මාන්තය තවත් දියුණු කරලා මේ මුහුදු ජීවියා වාණිජව වගා කරන්න උත්සාහ කරන එක. ඒකට ඉතින් රාජ්‍යය අතහිත දෙන්න ඕනී. ඒත් අතහිත වෙනුවට අවහිර බාධක තමයි ජයටම ලෙසටම තියෙන්නේ. මේ වගේම තවත් බෙල්ලෝ විශේෂයක් වුණ ඔයිස්ට්‍රර් දැන් ටික ටික ලංකාව ඇතුළේ හදනවා කියලා තමයි තොරතුරු ලැබෙන්නේ. ඔයිස්ට්‍රර් කියන්නෙත් මේ මසල්ලා මාංසය වගේම රස කෑමක්. කොහොම වුණත් මේ වගේ මුහුදු ආහාර විශාල ප්‍රමාණයක් හැම වර්ෂයකම ලංකාවට ආනයනය කරනවා. ඒ සංචාරකයින්ගේ දිවට රස දෙන්න. අපිට මේ ප්‍රමාණයවත් රට අස්සේ නිෂ්පාදනය කරගන්න බැරිද? ඔයාලත් එක එක රසට මේ බෙල්ලෝ කන්න ට්‍රයි කරන ගමන් චුට්ටක් හිතන්න..