කාටවත් කියාගන්න බැරි ලෙඩක් ඔබටත් තියෙනවා නම් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න

දෙසැම්බර් 13, 2021

කාන්තාවන්ට පවතින ඇතැම් රෝගාබාධයන් ඇයගේ එදිනෙදා ජීවන රටාවට පවා බාධා කරයි. විශේෂයෙන් ම ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග නිසා කායිකව මෙන්ම මානසිකව ද වේදනා විඳින කාන්තාවන් ප්‍රමාණය විශාලය.

කෝෂ්ඨ ඩිම්බ ප්‍රදාහය නැතිනම් PCOS (poly cystic overy syndrome) ලෙස හඳුන්වන රෝගය ද බොහෝ විට දරුවන් ලැබිය හැකි වයසේ සිටින කාන්තාවන් අතර බහුලව ම පවතින ප්‍රසව හා නාරි රෝගය යි. මුළු කාන්තා ජනගහනයෙන් 5% සිට 20% දක්වා අතර ප්‍රමාණයක් මේ රෝගයෙන් පීඩාවට පත්ව ඇති බව වෛද්‍ය මතයයි. ඇතැම් විටෙක මේ ප්‍රමාණය තවත් වැඩි විය හැකි වන්නේ තමාට මේ රෝග තත්ත්වය තිබෙන බව නොදන්නා පිරිසක්ද සිටිය හැකි බැවිනි.

PCOS තත්ත්වය ඇති කාන්තාවන්ට ඇති රෝග ලක්ෂණ

ගෙල පසුපස, කිහිලි ආශ්‍රිතව සහ පියයුරු යට සම රළු වී කළු පැහැ වීම, ගෙල සහ කිහිලි යට සමේ ගැටිති එල්ලා හැලීම, මුහුණේ අධික ලෙස කුරුළෑ ඇති වීම, පිරිමියකුගේ මෙන් මුහුණේ රැවුල වැවීම, සිරුර පුරා පපුවේ, පිටේ සහ අත්වල අධික ලෙස රෝම වැවීම, පිරිමියකුගේ මෙන් හිසේ තට්ටය පෑදීම, ස්ථුලතාව, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හෝ ඔසප් චක්‍රය නැවතීම, දරුඵල පමා වීම හෝ දරුඵල නොමැති වීම.

නමුත් මේ බාහිර රෝග ලක්ෂණ එකක්වත් නැතිව වුවත් රෝගය සිරුර තුළ පැවතිය හැකිය.

PCOS සමඟ නොයෙකුත් පරිවෘත්තීය අසාමාන්‍යතා ද අත්වැල් බැඳගෙන ඇත. මේ රෝගය ඇති කාන්තාවන්ට පරිවෘත්තීය සහලක්ෂණය Metabolic Syndrome දෙගුණයක් වැඩිපුර පවතී. එමෙන්ම මේ රෝගය ඇති කාන්තාවන්ගෙන් අඩක් පමණ ස්ථුලතාවෙන් පෙළෙයි. ඔවුන්ට දියවැඩියාව වැළඳීමේ නැඹුරුතාවද සාමාන්‍ය අයෙකුට වඩා හතරගුණයක් බව ද මේ වන විට සොයා ගෙන ඇත. එමෙන්ම හෘද රෝග, අක්මාවේ තෙල් හෙවත් ෆැටි ලිවර් සහ ලිපිඩ අසාමාන්‍යතා ද ඇති වීමේ අවදානම සාමාන්‍ය පුද්ගලයකුට වඩා වැඩි වේ.

මේ රෝගී තත්ත්වය පවතින කාන්තාවන්ට විශාදය සහ සාංකාව වැනි පීඩාකාරී මානසික රෝග ඇති වීමේ අවදානම සාමාන්‍ය කාන්තාවකට වඩා තුන් ගුණයක් බව මේ වන විට සොයා ගෙන ඇත. මෙයට හේතුව නිශ්චිතව සොයාගෙන නොමැති වුවත් මේ රෝගය නිසා ඇතිවන සිරුරේ බාහිර හා අභ්‍යන්තරික වෙනස්කම් මෙයට හේතු විය හැකිය.

PCOS රෝගයෙන් පීඩා විඳින කාන්තාවක් දරුවන් ලබා ගැනීම සඳහා නොයෙකුත් ක්‍රමවේද අනුගමනය කළ ද ඒවා අසාර්ථක ප්‍රයත්නයන් බවට පත් වේ. ඇතැම් විට ගබ්සා වීම් ද සිදුවිය හැකි ය. ගබ්සාවීමේ වැඩිම අවදානමක් ඇත්තේ ස්ථුලතාව සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය ඇති PCOSරෝගීන් සඳහා ය.

මේ රෝගයට ප්‍රතිකාර තිබේද?

PCOS රෝගය නිශ්චය කිරීම සඳහා ඔබේ ළඟම රෝහලේ ඇති ප්‍රසව හා නාරිවේද සායනයට යොමු විය හැකියි. මේ සඳහා නොයෙකුත් ප්‍රතිකාර තිබේ. ජීවන රටාවේ වෙනස්කම් ඇති කිරීම, හෝමෝන ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ ප්‍රතිකාර ක්‍රම මේ සඳහා දැනට ක්‍රියාත්මක කරන ප්‍රතිකාර ක්‍රමවේදයන් ය.

ඉන්සියුලින් ප්‍රතිරෝධය හා ස්ථුලතාව සුවකර ගැනීම සඳහා සිදු කරනු ලබන සියලු ම ජීවන රටාවේ වෙනස්කම් මේ රෝගය සුවකර ගැනීමට උපයෝගී කරගත හැකිය.

එහිදී වන්නකු මෙතඩ් ලෙස අප හඳුන්වා දී ඇති ක්‍රමවේදය විශේෂයෙන් ම ඉලක්ක කරඇත්තේ ස්ථුලතාව සහ ඉන්සියුලින් ප්‍රතිරෝධය සමනය කිරීම සඳහා ය.ඉන්සියුලින් ප්‍රතිරෝධය මැඬ පැවැත්වීමට නම් ආහාරයේ ඇති කාබොහයිඩ්‍රේට ප්‍රමාණය සීමා කළ යුතු වේ. එසේ ම එහිදී පිඟානේ ඇති මේද ප්‍රමාණය වැඩි කළ යුතුය. ආහාරයේ ඇති මේද ප්‍රමාණය වැඩි කළ පමණින් රුධිරයේ් කොලෙස්ටරෝල් ඉහළ යාම පිළිබඳ බිය විය යුතු නැත. රුධිරයේ ඇති කොලෙස්ටරෝල් වලින් 85%ක් පමණ නිපදවන්නේ අක්මාව මගිනි. ආහාරයේ ඇති කොලෙස්ටරෝල් ඒ සඳහා දායක වන්නේ ඉතිරි 15% සඳහා පමණි.

රෝගයෙන් නිදහස් වීම සඳහා

* සම්පූර්ණයෙන් ම වැළකිය යුතු ආහාර වර්ග - සීනි, පැණිරස ආහාර වර්ග, පාන්පිටි සහිත ආහාර, දියර කිරි, පිටි කිරි, එළවළු තෙල් වර්ග, පැකට් කරන ලද ආහාර, කෘත්‍රිම ආහාර වර්ග

* අතරින් පතර අමතරව ගන්නා ආහාර වේල් හා විවිධ කෑම වර්ග ගැනීම නවත්වන්න. (රටකජු වැනි දේ අමතර වේලාවට ගන්නවාට වඩා ප්‍රධාන ආහාර වේලට ම එකතුකර ගන්න) ප්‍රධාන ආහාර වේල් දෙකක් හෝ තුනක් පමණක් ගන්න.

* ආහාර ගන්නා කාලය සීමා කිරීමත් වැදගත්. උදෑසන ආහාරය හැකි තරම් ප්‍රමාද කරන්න. දවල් නවය හෝ දහය වනතෙක් වුවත් කම් නැත. රාත්‍රී ආහාරය හැකි පමණ වේලාසනින් ගන්න. රාත්‍රී ආහාරයෙන් පසුව පසුදා වනතෙක් වතුර පමණක් පානය කරන්න. (උදෑසනට තේ බීම සුදුසු නැත.)

* දවස ඇතුළත ආහාර ගන්නා වේලාව සීමා කරන්න. පළමු මාසයේ දී දවසේ පැය දහයක් ඇතුළත ආහාර වේල් තුනක් පමණක් ගන්න.

උදා: උදේ 9ට පසු උදේ ආහාරය ගන්න. දිවා ආහාරය 1-2 අතර ගන්න. රාත්‍රී ආහාරය සවස 7ට පෙර ගන්න. ආහාර වේල් තුනක් පමණක් ගන්න. මසක් පමණ එසේ කිරීමෙන් පසුව ආහාර ගන්නා කාලය පැය අටක් තුළ ආහාර වේල් දෙකකට පමණක් සීමා කිරීමට. උත්සාහ කරන්න. (උදේ ආහාරය 11 පසුවී ගෙන සවස ආහාරය සවස හතට පෙර ගන්න. ආහාර වේල් දෙකක් පමණක් ගෙන දිවා ආහාරය මඟහරින්න.)

* පිෂ්ටය සහිත ආහාර හැකි පමණ අඩු කරන්න. පිඟානෙන් 1/5කට පමණක් සීමාකර ගන්න. මේ 1/5ට අයත් වන්නේ බත්, කොස්, දෙල්, අල, බතල, කඩල, කවුපි, මුංඇට, අඹ, අන්නාසි, ගස්ලබු, කොමඩු, ඇපල්, මිදි, පරිප්පු, කැරට්, බීට්, වට්ටක්කා, ඕට්ස්

* කොළ පැහැති එළවළු සහ පළතුරු පිඟානෙන් 1/5ක් පමණක් ගන්න. පළාවර්ග, සලාද වර්ග, දිවුල්, බෙලි, වෙරළු, නමිනං, පේර, බෝංචිි, පතෝල, වැටකොළු, ගෝවා, තක්කාලි, කැකිරි, පිපිඤ්ඤා, කරවිල

* ඉතිරි 3/5 සඳහා ප්‍රෝටීන් සහ මේදය එකතු කරගන්න. මෙහිදී PCOS සමනය සඳහා වැදගත් වන්නේ පිඟානේ ඇති මේ ආහාර කොටසයි. මෙයින් ද මේදය අඩංගු කොටස වැඩි වැදගත්කමක් හිමිකර ගනියි. මේ කාණ්ඩයේ ආහාර වන්නේ, පොල්, පොල් සම්බෝල, දිනකට කහමදය සහිත බිත්තර 4ක්, මීකිරි, මාළු, මස්, බටර්, පොල්තෙල්, රටකජු, කජු (දිනකට ග්‍රෑම් 20කට නොවැඩි), අලිගැටපේර

මේ ක්‍රමයට ආහාර ගැනීමේ දී වැදගත් වන්නේ කෑම ප්‍රමාණය නොවේ. ආහාර වර්ග අතර ඇති අනුපාතයයි. එනම් පිෂ්ඨය, කොළ පැහැති එළවළු පළතුරු වර්ග, මේදය සහ ප්‍රෝටීන 1:1:3 අනුපාතයට ගත යුතුයි.

* රාත්‍රී දහයට පෙර නිදා ගන්න. (පැය 7ක නින්දක් ලබා ගන්න)

ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් සමඟින් ඉහත පියවර අනුගමනය කිරීම මඟින් ඔබට මේ රෝගය සමනය කරගත හැකියි.

ලෙඩ අඩු කර හැඩ වැඩි කරන හැටි කියාදෙන වෛද්‍ය

ජානක වන්නකු

සටහන

අයන්ති උඩුගම්පල