වර්ෂ 2025 ක්වූ January 27 වැනිදා Monday
සුදුම සුදු වෙනවද, නැත්නම් ලස්සන වෙනවද?
සමේ ඉස්මතු කළ යුතු තැන් (Contour) ඉස්මතු කරමින් මේක් අප් එක කිරීමට රූපලාවණ්‍ය ශිල්පියාට මනා දැනුම්වත් බවක් තිබිය යුතුයි.
ස්වාභාවික පෙනුමට තවත් චමත්කාරජනක බවක් ගෙන ඒම මේක් අප් කිරීමේ බලාපොරොත්තුවයි. මුහුණේ යම් යම් අඩුපාඩු ඇත්නම් ඒවා යටපත් කරමින් අවම කරමින් මේක් අප් එකක් කරලීමට රූපලාවණ්‍ය ශිල්පියකු දක්ෂ විය යුතුයි. එය ඉතාම කැමැත්තෙන්, ඕනෑකමින්, නිර්මාණශීලිව නියැළිය හැකි ආකර්ෂණීය කලාවකි. ක්ලියෝ පැට්රා යුගයේ සිට එන මේක් අප් කිරීමේ කලාව තාක්ෂණයේ දියුණුවත් සමඟින් අද වන විට මුදල් ඉපයිය හැකි ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබේ.
මේක් අප් එක කරන්නේ කවර වේලාවක් සඳහාද, කවර උත්සව අවස්ථාවක් සඳහා ද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුවේ.
ආලෝකයේ තත්ත්වය
දිවා කාලයේ දමන මේක් අප් එක රාත්‍රී කාලයට සුදුසු නොවේ. විවිධ ආලෝක තත්ත්වයන් යටතේ මේක් අප් එකෙන් දිස්වන පෙනුම වෙනස් වේ.
ෆොලරසන් ආලෝකය සඳහා ද සාමාන්‍ය විදුලි ආලෝකය සඳහා ද එසේත් නැත්නම් දිවා ආලෝකය සඳහා ද මේක් අප් කරන්නේ යන්න පළමුව දැන සිටිය යුතුයි. ෆොලරසන් ආලෝකයේ ඇත්තේ නිල් සහ කොළ පැහැයයි. මෙහිදී වර්ණවල ගැඹුර නොපෙන්වයි. ස්වාභාවික ආලෝකයේ ඇත්තේ දේදුන්නේ වර්ණ 7යි. ස්වාභාවික ආලෝකයට ගැළපෙන ලෙස මේක් අප් කිරීමේදී එම වර්ණ හොඳින් මිශ්‍ර වී මනා නිමාවක් ලබා දේ. සාමාන්‍ය
විදුලි එළියේ ඇත්තේ රතු සහ කහ පැහැයයි. ඉන් ලබා දෙන්නේ උණුසුම් පෙනුමකි. මෙම ආලෝකය යටතේ දුඹුරු පැහැය හැර අනෙක් වර්ණ භාවිත කළ හැකියි.
සහභාගිවන අවස්ථාව
කාර්යාලයට යද්දී, සාදයකට යද්දී, උත්සව අවස්ථාවකට සහභාගි වද්දී.... වැනි සහභාගිවන අවස්ථාව අනුව දැමිය යුතු මේක් අප් එක එකිනෙකට වෙනස් විය යුතුවේ. මනාලියට, දෙවැනි මනාලියන්ට දැමිය යුතු වන්නේ කවරාකාරයේ මේක් අප් එකක්ද ඒ දිවා කාලයේ එකක්ද , සවස් කාලයේ එකක්ද යන්න පිළිබඳත් අවධානය යොමු කළ යුතුයි.
සමේ පැහැය
මේක් අප් තෝරා ගනිද්දී සමේ පැහැයට ගැළපෙන අන්දමින් නොකළහොත් දිස්වන්නේ නොගැළපෙන අවලස්සන පෙනුමකි. අපේ රටේ බොහෝදෙනෙක්ගේ සම තලෙළු පැහැයේ විවිධ පරාසයන්ගෙන් යුතුයි. ඊට සුදුසු අන්දමින් මේක් අප් එක කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
එක් අයෙක් ආලේප කරන ෆවුන්ඩේෂන් එකක් තවත් අයකුගේ සමට නොගැළපෙන්නට පුළුවනි. ෆවුන්ඩේෂන් එක සමට ගැළපේ දැයි බැලීමට නම් එය අතේ මැණික් කටුව ප්‍රදේශයේ ගැල්වීම සුදුසු නොවේ. ඒ අතේ පැහැයත් මුහුණේ පැහැයත් දෙකක් වන්නට හැකි බැවිනි. මේ නිසා මුහුණේම ආලේප කර අවශ්‍ය වර්ණය තෝරාගන්නට අමතක කරන්න එපා.
සමේ සංකල්ප
ස්වාභාවිකව මුහුණේ ඇස්, කට, නහය ඇතුළුව අංගයන් පිහිටා ඇති අන්දම පිළිබඳ මේක් අප් කිරීමේදී සැලකිල්ලට ගන්නට සිදුවේ. මෙහිදී මුහුණේ උස්වූ තැන්(Hills), ගිලා බැස ඇති තැන්(Vally) පිළිබඳත් අවධානය යොමු කළ යුතුවේ.
සමේ ඉස්මතු කළ යුතු තැන් (Contour) ඉස්මතු කරමින් මේක් අප් එක කිරීමට රූපලාවණ්‍ය ශිල්පියාට මනා දැනුම්වත් බවක් තිබිය යුතුයි. Nose cut, Forehead cut, Jaw line cut, Chin cut, Anchor cut ආදිය ඉස්මතු කළ යුත්තේ මෙවිටයි. මේ සඳහා ගන්නා වෙන වෙනම බ්‍රෂ් වර්ග තිබේ. ඒවා අදාළ පරිදි පාවිච්චි කළ යුතුවේ.
මේක් අප් කිරීමට ගන්නා නිෂ්පාදන සහ උපකරණ
* ස්පොන්ජ්,පැලට්, හෙඩ් බෑන්ඩ්ස්, ඒප්‍රන්, තුවා, ඩිස්පොසිබල් ඇප්ල්කේටඩ්(පාවිච්චි කර ඉවත දමන දෑ), ස්පැචුලර්, ෆවුන්ඩේෂන්, කන්සීලර්, පවුඩර් වැනි දේ ආලේප කරන බ්‍රෂ් වර්ග ඇතුළු විවිධ බ්‍රෂ් වර්ග ආදී මෙකී නොකී බොහෝ දෑ රූපලාවණ්‍යාගාරයක තිබේ. අවශ්‍ය විටදී අදාළ උපකරණය පාවිච්චි කිරීමට, පාවිච්චියෙන් පසු පිරිසුදු කොට ගබඩා කිරීමට පුළුවන් විය යුතුයි.
සමේ ත්‍රිමාන සිද්ධාන්ත
මේක් අප් කිරීමේදී
* ගෝලය
* කේතුව
* චතුස්තලය
* සිලින්ඩරාකාර
* V හැඩය
* A හැඩය
* හදවත් හැඩය
* ඍජුකෝණාස්රාකාර හැඩය
* සමචතුරස්‍රාකාර හැඩය
* ඕවල් හැඩය
* රවුම් හැඩය
* උල් හැඩය
* ඩයමන්ඩ් හැඩය
* දිගැටි හැඩය
* පෙයාර්ස් හැඩය
මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුවේ.
වර්ණ මූලධර්ම
මේක් අප් කිරීමේදී වර්ණ මූලධර්ම පිළිබඳ නිවැරැදි දැනුම්වත් බවක් නොමැතිවිට ඇගේ සමට ගැළපෙන අන්දමින් මේක් අප් කිරීම කළ නොහැකි වේවි.
Contour කිරීම හෙවත් සමේ ඉස්මතු කළ යුතු තැන් මේක් අප් කරද්දී ජාත්‍යන්තරව පිළිගත් වර්ණ 3 ක් පවතී. පළමුවැන්නේදී සිදු වන්නේ Highlight කිරීමයි. ඇස් මේක් අප් කරද්දී අයිෂැඩෝ ගැල්වීම කළ යුතුවන්නේ Outer corner සහ Inner corner ලෙසයි. Outer corner සඳහා ගන්නේ තද පැහැති වර්ණයි. Inner corner සඳහා ළා පැහැති වර්ණ භාවිත කරයි. මෙය උදේ කාලයට නම් ස්වාභාවික වර්ණත්, රාත්‍රියට කෘත්‍රිම ආලෝකයට ගැළපෙන වර්ණත් භාවිත කළ යුතුයි. ඒ ඒ වර්ණය සඳහා වෙන වෙනම බ්‍රෂ් පාවිච්චි කරන්නටත් වග බලා ගත යුතුයි. අයිෂැඩෝ පැහැයන් කිහිපයකින් ගල්වද්දී එකම බ්‍රෂ් එකකින් ආලේප කළොත් වර්ණ එකට මිශ්‍ර වී අවශ්‍ය වර්ණය නොලැබී යාවී.
මේක් අප් පිළිබඳ තවත් කොටසක් ලබන සතියේ
ඉදිරිපත් කිරීම
ආයුර්වේද වෛද්‍ය (පාරම්පරික)
චර්ම රෝග විශේෂ
චාමලී කල්දේරා
(NVQ Level-3/4 ඇගයීම් නිලධාරිනි)