දෑස් සිසිලසෙන් සනසන පිපිඤ්ඤා

අගෝස්තු 7, 2019

අපේ රටේ දොළොස් මහෙන් වැඩි කාලයක් ගී‍්‍රෂ්මයෙන් ගත දැවෙනවා. එනිසාම පිපිඤ්ඤා වැනි සිසිලස කැන්දන එළවළුවක නම ඇසුණත් සිතටත් ගතටත් දැනෙන සිහිල් බව කියන්න බැරිතරම්.

පොත්ත සහිත අමු පිපිඤ්ඤා පෙති ග්‍රෑම් 52ක (කෝප්ප භාගයක) කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 2, සෝඩියම් මිලිග්‍රෑම් 1ක් සහ විටමින් ‘ඒ’, විටමින් ‘සී’ කැල්සියම්, යකඩ දෛනික අවශ්‍යතාවෙන් 1%ක් අඩංගුයි.

පිපිඤ්ඤා ගෙඩියෙන් ලැබෙන සෞඛ්‍යය ප්‍රතිලාභ බොහොමයි.

පිපිඤ්ඤා ගෙඩියේ සියයට 95 ක්ම තිබෙන්නේ ජලයයි. පිපිඤ්ඤා පෙති කෝප්පයක් කෑමට ගැනීම ජලය වීදුරුවක් පානය කිරීමට සමානයි. ජලය පමණක් නොව විජලනය වැළැක්වීමට අවශ්‍ය මැග්නීසියම්, පොටෑසියම් ද මෙහි අඩංගු වී තිබෙනවා. පිපිඤ්ඤා ගෙඩිවල අඩංගු ප්‍රදාහයන් වළක්වන රසායන සිරුරින් අපද්‍රව්‍ය බැහැර කිරීමට උපකාරී වෙනවා.

අමෙරිකාවේ ක්ලීව්ලන්ඩ් සායනයේ පර්යේෂණ වාර්තාවන්ට අනුව මේ සම රැලි වැටීම වළක්වන වයස් කල්‍යාණය සුරකින එළවළුවක්.

පිළිකා නාශක රසායන දෙකක්ම පිපිඤ්ඤාවල අඩංගුයි. විටමින් ‘කේ’ අස්ථි ශක්තිමත් කිරීමට අවශ්‍යයි. ඉක්මනින්ම අස්ථි ධාරිතාව අඩුවන්නේ අපේ කාන්තා පක්ෂයේයි. පර්යේෂකයන් විටමින් ‘කේ’ පෙති වශයෙන් ගන්නවාට වඩා පිපිඤ්ඤා වැනි ආහාර මඟින් ගැනීම ගුණදායක බව පෙන්වා දෙනවා.

පිපිඤ්ඤා පෙති කෝප්ප භාගයක දිනකට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණයෙන් සියයට හතරක් අඩංගුයි. පොටෑසියම් හදවතේ සෞඛ්‍යය රැක ගැනීමට උපකාර වනවා.

බර අඩුකරගන්න නම් පිපිඤ්ඤා වැඩි වැඩියෙන් කෑමට එක්කර ගන්න. ස්නායු සෛල ආරක්ෂා කරන රසායන ද මෙහි අඩංගුයි.. ඒ නිසා ඇල්ෂයිමර් වැනි රෝගවලට ගොදුරු නොවී මතකය වියපත් වූ විටත් රැක ගැනීමට දිගින් දිගටම පිපිඤ්ඤා කෑමට එක්කර ගන්න.

ආයුර්වේදයට අනුව වාත, පිත දෝෂ ඇති අයට පිපිඤ්ඤා ගුණදායකයි. එහෙත් සෙම් දෝෂය පවතින අයට නම් එතරම් හිතකර නෑ.

 

රුව රකින ක්‍රම රැසක්

 

පිපිඤ්ඤා සතු සිසිල් ගුණය දෑස්වල වෙහෙස මොහොතකින් නැති කරනවා. ඒ සඳහා කළයුත්තේ දෑස් පියා ගෙන දෑස් මත පිපිඤ්ඤා පෙති දෙකක් තබාගැනීම පමණයි.

පිපිඤ්ඤා යුෂවලට කෝමාරිකා හෝ රෝස වතුර එක්කර මුහුණේ ගල්වන්න. මුහුණේ සම සුමුදු වෙනවා වාගේම සුසුදු පැහැයක් ද එක්කර ගැනීමට පුළුවන්.

වෙළෙදපොළේ ඇති සම සුදු කරන අහිතකර වෙළෙඳ නිෂ්පාදනවලට වඩා මේවා හිතකරයි. සමේ එල්ලා වැටීම වළක්වන ස්වාභාවික රසායන පිපිඤ්ඤාවල අඩංගුයි. ඒ නිසා වියපත් පෙනුම වළක්වා ගන්න පිපිඤ්ඤා පෙති, පිපිඤ්ඤා යුෂ තරම් සුදුසු වෙනත් එළවළුවක් නැති තරම්.

ඇස් යට කළුවීමට ගාගත් පිපිඤ්ඤා සහ මී පැණි 3:1 අනුපාතයෙන් මිශ්‍රකර දෑස් යට ගල්වන්න.

යෝගට් මේස හැන්දක් සහ තීරු ලෙස කපාගත් පිපිඤ්ඤා තේ හැඳි 2ක් මිශ්‍ර කර මුහුණේ ගල්වන්න. පැහැපත් සමකට හිමිකම් කීමට පුළුවන්.

කුරුලෑ නව යොවුන් වියේ සිට ආර්තවහරණයට ආසන්න වන තුරුම කතුන්ට වධ දෙන තත්ත්වයක්. දිනපතා හිස්බඩ පිපිඤ්ඤා යුෂ වීදුරුවක් පානය කරන්න. කුරුලෑ හට ගැනීම අඩුවේවි.

පිපිඤ්ඤාවලින් පල්පයක් සාදා ඊට කුඩුකරගත් පරිප්පු එක්කර හොඳින් මිශ්‍රකර කුරුලෑ ඇති තැන්වල ගල්වන්න. මිනිත්තු 20-30 ට පසු සෝදා හරින්න.

කුඩා පිපිඤ්ඤා ගෙඩියකින් පල්පයක් සාදා ගන්න. ඊට නැවුම් තක්කාලි යුෂ තේ හැඳි 2ක් සුදු සඳුන් කුඩු මේස හැඳි 2ක් එක්කර හොඳින් මිශ්‍රකර කුරුලෑ ඇති තැන්වල ගල්වන්න. මිශ්‍රණය වියළෙන්නට හැර සෝදන්න. ඉන්පසු තෙල් රහිත මොයිෂ්චරරයිසර් ගල්වන්න.

තක්කාලි යුෂ සහ පිපිඤ්ඤා යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන හොඳින් මිශ්‍රකර දිනකට දෙවරක් කුරුලෑ ඇති තැන්වල ගල්වන්න. මේ මිශ්‍රණයට ලෙමන් යුෂ ද එක්කිරීමට පුළුවන්.

කුඩා පිපිඤ්ඤා ගෙඩියකින් පල්පයක් සාදා ඊට යෝගට් තේ හැඳි 3ක් එක්කර මැනවින් කලවම් කරන්න. කුරුලෑ ඇති තැන්වල ගල්වා මිනිත්තු 30-45 ක් තබා උණුසුම් වතුරෙන් සෝදා හරින්න. වියළෙන්නට හැර අයිස් කැට තබා හෝ අයිස් වතුර ඉස සම ප්‍රබෝධවත් කරගන්න.

සමාන ප්‍රමාණවලින් යෝගට්, ඕට්ස් පිටි, පිපිඤ්ඤා පල්ප මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් මී පැණි ද එක් කරන්න. කුරුලෑ ඇති පෙදෙසේ ගල්වා මිනිත්තු 30-40 ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. දිනපතා මෙසේ කරන්න.

නැවුම් පිපිඤ්ඤා යුෂ, රෝස වතුර, ලෙමන් යුෂ සමාන ප්‍රමාණවලින් ගන්න. කුරුලෑ ඇති තැන්වල ගල්වා සෝදා හරින්න.

කුරුලෑ වගේම රැලි, කැළැල්, තිත් වැනි සමේ පැහැපත් බව සොරා ගන්නා ගැටලු ඉවත් කිරීමට ද පිපිඤ්ඤා යොදා ගන්නවා.

පිපිඤ්ඤා පල්පයකට නැවුම් මිංචි කොළ යුෂ ස්වල්පයක් එක්කරන්න. ඊට හොඳින් ගසා ගත් බිත්තර සුදු මද එක්කරන්න. ලප, කැළැල් ඇති තැන්වල ගල්වා මිනිත්තු 15ක් තබා සෝදා හරින්න. දිගටම මෙය සිදු කරන්න.

 

 

 චම්පිකා දීපානි