අපි කෑමට ගන්නෙ හොඳම දේද ?

මාර්තු 14, 2022

ගිනි ගණන් දීලාවත් අපට වස විසෙන් තොර කෑම ගන්න තියෙනවද ? එළවළු මල්ලක් ගන්න යන වියදම කහ පැකැට්ටුවකට ගියත් කෑමට දාන්නෙ ඇත්තට ම කහද ? කිරිපිටිවලට මොන තරම් විස දේවල් එකතු කරලා තියෙනවද ? සමහර කෑම බීමවලට විස දේවල් එකතු කරලා තියෙනවා නම් හඳුනා ගන්න පුළුවන් පුංචි පුංචි ක්‍රම තියෙනවා.

කහ කුඩු

සමහර කහ නිෂ්පාදකයන් කහ කුඩුවලට හුණු කූර ැ (චෝක්), පාන් පිටි, ලෙඩ් ක්‍රෝමේට්, මෙටනිල් යෙලෝ එකතු කර තිබෙනවා. උණුසුම් ජලය වීදුරුවකට කහ කුඩු තේ හැන්දක් දමන්න. මිනිත්තු විස්සකින් කහ කුඩු ටික අඩියේ මිදෙනවා නම් ඒ පිරිසුදු කහ කුඩු. ජලයේ දිය වෙනවා නම් වෙනත් ජාති එකතු කරලා.

මිරිස් කුඩු

මිරිස් කුඩුවලට ගඩොල් කුඩු හා කෘත්‍රිම වර්ණක එක් කරන අවස්ථා තිබෙනවා. වතුර වීදුරුවකට මිරිස් කුඩු මේස හැන්දක් එක් කරන්න. හොඳින් කලවම් කරන්න. අඩියේ තැන්පත් වෙනවා නම් ගඩොල් කුඩු මිශ්‍ර කරලා. ජලය දීප්තිමත්ම රතු වුණා නම් කෘත්‍රිම වර්ණක එක් කරලා.

පරිප්පු වැනි ඇට වර්ග -

පරිප්පු හා ධාන්‍ය වර්ග පුස් කාලා නම් කෑමට සුදුසු නැහැ. ඒ විතරක් නෙවෙයි මොන තරම්

ගුණ වුණත් ඇට වර්ග මිලදී ගැනීමේදී තවත් දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. පරිප්පු ඇට කුඩු කරලා ඊට උණුසුම් ජලය එක් කරන්න. පරිප්පු දීප්තිමත් කහ පාටින් යුක්ත නම් කෘත්‍රිම වර්ණක එකතු කරලා. මේවා ‍බොහොමයක් පිළිකාකාරකයි.

සහල් -

ප්ලාස්ටික් හාල් වගේම තවත් අහිතකර සහල් වර්ග අලවි කරනවා. ඔප දැමූ නැත්නම් පොලිෂ් කළ ආහාර ඊට උදාහරණයක්. එවැනි සහල් පිටින් බැලූ විට දිලිසෙනවා. පෙඟවූ විට ජලය සුදු වෙනවා.

කිරි -

කිරිවල‍ට යුරියා, ජලය, පිටි, සේදුම්කාරක එක් කරනවා. ඒ විතරක් නෙවෙයි කෘත්‍රිම කිරි ද තියෙනවා. කිරි ටිකක් බෑවුම් තැනක වැගිරෙන්නට අරින්න. සුදෝ සුදු පැහැයට ගලා බහිනවා නම් ඒ පිරිසුදු කිරි. කිරි කෝප්ප භාගයකට වතුර කෝප්ප භාගයක් මිශ්‍ර කරන්න. හොඳින් කෝප්පය සොලවන්න. පෙණ වගේ සෑදෙනවා නම් සේදුම්කාරක ( detergent ) එක් කරලා. කිරි රත් කරන්න. මතු පිට කහ පෙණ ඇත්නම් ඒ කෘත්‍රිම කිරි.

ලුණු -

ලුණුවලට චෝක් කුඩු එකතු කරන අවස්ථා තියෙනවා. වතුර වීදුරුවකට ලුණු මේස හැන්දක් එක් කරන්න. වතුර සුදු පැහැ ගැන්වෙනවා නම් අඩියේ යමක් මිදෙනවා නම් ඒ චෝක් මිශ්‍ර කළ ලුණුයි.

ගිතෙල් -

ගිතෙල් මේස හැන්දක් රත්කර වීදුරුවකට වත් කරන්න. ඉන්පසු එය ගන වන තුරු ශීතකරණයේ තබන්න. ගිතෙල් ස්ථරවලට වෙන්වී ඇත්නම් ඒ ගිතෙල් පිරිසුදු නැහැ.

දියකළ ගිතෙල් තේ හැන්දකට සීනි ස්වල්පයක් එක් කරන්න. හොඳින් සොලවන්න. මිනිත්තු පහකට පසුව බලන්න. රතු පැහැ වී ඇත්නම් ඒ ගිතෙල්වලට එළවළු තෙල් එක් කරලා.

ඇපල් -

ඇපල් වටා ඇති ඉටි ආවරණය නම් පිහියකින් සීරීමෙන් හොඳින් බලා ගන්න පුළුවන්. උණු ජලය වත් කළත් ඉටි දිය වෙනවා.

පොල්තෙල් -

පොල් තෙල්වලට පාම් තෙල්, එන්ජින් තෙල්, පැරෆින්, argemone තෙල්, ඉටි එක් කරනවා. පොල් තෙල් ශීතකරණයේ දැමූ විට ගන වෙනවා නම් ඒ පිරිසුදු පොල් තෙල්. එසේ නැත්නම් ඉහත සඳහන් කළ දෙයක් එක් කරලා.

අන්තර්ජාලයෙනි

 

සටහන
චම්පිකා දීපානි