වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දීප්තිමත් පැහැපත් සමක රහස
නෙළුම් මලෙන් සුන්දර වෙමු
සුන්දරත්වය ළඳකගේ සිත නිරන්තර පතන, නෙතු දකින සිහිනයයි. ඒ නිසාම ඕ තම රූසපුව වඩාත් සොඳුරු කරගන්නට නො කරන දෙයක් නැති තරම්. ඒ නිසාම ඈ වෙළෙඳ ලෝකයට පිවිස විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන මිල දී ගෙන ගල්වයි.
එහෙත් නිතර අප ඇස ගැටෙන අපේ පරිසරයෙන්ම සොයාගත හැකි දේ මඟින් අපේ රුව වඩාත් සොඳුරු කරගත හැකියි. නමුත් ඔබ
ඒ ඒ පිළිබඳ තැකීමක් කරන්නේ නැත. අපේ වෑයම ඒ දේවල් ඔබට හඳුන්වා දී කිසිදු වස විසකින් තොරව සොබාදහමෙන්ම ඔබේ සුන්දරත්වය ඔප් නංවා ගැනීමට අත්වැලක් වීමයි.
නෙළුම් විල් දිය මත පිපෙන සුන්දර කුසුමකි. අපට මානෙල් කුසුම ජාතික පුෂ්පය වන විට ඉන්දියානුවන්ට ජාතික කුසුම වන්නේ මේ සුන්දර නෙළුමයි. නවීන උද්‍යාන කලාව අනුව දැන් ඔබට මේ මනරම් කුසුම ඔබේ නිවෙසේම වගාකර ගත හැකියි. ජලජ පැළෑටියක් වන නිසා කුඩා පොකුණක හෝ ඒ සඳහාම සකසා ඇති බඳුනක නෙළුම් වගා කළ හැකියි. ආයුර්වේද වෙදකමට භාවිත කරන නෙළුම් වැඩි වශයෙන්ම චීන ජාතිකයන් හා ඉන්දියානුවන් ඔෘෂධ සඳහා භාවිත කෙරේ. දීප්තියෙන් ඔපලන පැහැපත් සමකට මෙන්ම ඝනැති කෙස් කලඹකට ද නෙළුම් අපූර්ව ඔෘෂධයකි. නෙළුම් මල මෙන්ම අලය ද මෙලෙස අපේ රුව රැක දෙන ප්‍රබල ඔෘෂධයකි. නිරන්තර අපේ ඇස ගැටෙන මේ සුන්දර මලත් අලයත් ගැන අප එතරම් තැකීමක් කරන්නේ නැත. අපේ ආහාර වේලට එක්කර ගත හැකි නෙළුම් අල ග්‍රෑම් 100 ක කැලරි 74 ක් අඩංගුය. කෙඳි සියයට 13ක් ද විටමින් සී සියයට 73 ක් ද ඇත. ව්ටමින් බී ද අන්තරගතය. මේද රහිතවන අතර යකඩවලින් පිරිපුන්ය. ලවණ හා ප්‍රෝටීන්වලින් පොහොසත්ය.
විටමින් බී සහ සී දීප්තිමත් සමකට මෙන්ම මෘදු කෙස් කලඹකට අගනා පෝෂකයන්ය. ඒ නිසා නෙළුම් මුල්වල විටමින් බී සහ සී තිබීම ඔබේ සමට හා සිනිඳු හිසකෙස්වලට පරිපූර්ණ දීප්තියක් ලබා ගැනීමට උපකාරී වේ. විටමින් සී සමේ තද ගතියට හේතු වන කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි.
නෙළුම් තේ පානය කිරීම සමට ගුණදෙයි. හිසකෙස් සේදීමට ද නෙළුම් තේ භාවිත කළ හැකියි. එමඟින් හිසකෙස් වර්ධනයකර ඒවායේ ශක්තිය ද වැඩිකරයි. පොටෑසියම්, තඹ හා යකඩ අන්තර්ගත නිසා නෙළුම් ආහාරයට ගැනීමෙන් මානසික නිරවුල්බව වැඩි කළ හැකියි. හෘද සෞඛ්‍යය ශක්තිමත් කළ හැකියි. සිරුරේ ශක්ති මට්ටම ඉහළ නංවයි. පරිසර දූෂණය නිසා අපේ සම මත විවිධ රසායන ද්‍රව්‍ය තැන්පත් වේ. ඊට අමතරව අප භාවිත කරන කෘත්‍රිම රසායන අඩංගු ආලේපන නිසා ද සමට හානි සිදුවේ. මේ හේතූන් නිසාම විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවන අතර ඉක්මනින් වයසට යාම ද සිදුවේ. ඒ නිසාම සෞඛ්‍යය සම්පන්න සමක් උරුමකර ගැනීමට අපට භාවිත කළ හැකි ප්‍රබලම ඖෂධයක් වන්නේ නෙළුම් මුල් හෙවත් නෙළුම් අලය.
මේවා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළය. ඒ නිසා සමට හොඳ දීප්තිමත් බවක් ගෙන දෙයි. මොයිස්චරයිසරයක් ලෙසින් ක්‍රියාකරමින් සමේ ඇදෙන සුලුබව රැකදෙන අතර සමේ මතුවී ඇති සියුම් රේඛාවන් මකාදමයි. දුඹුරු පැහැති ලප ඉවත් කරන අතර රැලි වැටීම වළකාලයි. ඒ නිසා සම වියළි යැයි කියමින් මැසිවිලි නඟන අයට වැඩිපුර වතුර පානය කරන අතරම කෙළුම් දඬු ආහාර වේලට එක්කර ගැනීමෙන් එම ගැටලුවට සොබාදහමෙන්ම විසඳුම් සපයා ගත හැකියි. බොහෝ වෙලාවට සමේ වියළිබවට ප්‍රතිකාර ලෙස නියම කරන්නේ ද නෙළුම් අන්තරගත ක්‍රීම් වර්ගයන්ය. බොහෝවිට ඒවායේ මූලික අමුද්‍රව්‍ය වන්නේ ද නෙළුම්ය. ඒ නිසාම නෙළුම් සමේ විජලනය වළකා සමට දීප්තියක් ගෙනෙන අංක එකේ පෝෂකයා වේ.
මානසික ආතතියට
මානසික ආතතිය හා කාංසාවෙන් පිරුණු දිනකට පසු ඔබ යම් සහනයක් බලාපොරොත්තු වන්නේ නම්, නෙලුම්වල සුවඳ ආඝ්‍රාණය කිරීමට උත්සාහ කරන්න. නෙළුම් සුවඳ විලවුන් සෑදීම සඳහා භාවිත කරන අතර නෙළුම් තෙල් ඇරෝමා තෙරපි ප්‍රතිකාරයේ දී ද භාවිත කරයි.
නෙළුම් සාරය හොඳ කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියාකරන අතර හිසකෙස් ගැලවීයාම වළකයි. කෙස් දීප්තිමත් කරයි. හිසකෙස්වල මෙලනින් ප්‍රතිශතය වර්ධනය කරන අතර එනිසාම අකලට හිසකෙස් සුදුවීම වළකාලයි. ඒ නිසා නෙළුම් තෙල් හිසකෙස් සඳහා භාවිතය කදිම ඖෂධයකි.
රෝග රැසකට ඔසුවක්
උණ, අධික ලේ වහනය, කැස්ස, වමනය, සමේ ඇතිවන පුස් වර්ග ආදිය සඳහා ගුණාත්මක ඔසුවකි. ඒ සඳහා නෙළුම් මල් පෙති, නෙළුම් ඇට මෙන්ම නෙළුම් අඬු ද භාවිත කරන අයුරු ඔබ ද දන්නවා ඇත. එසේ නම් ඇයි තවමත් ඔබ මේ ස්වාභාවිත පෝෂකයෙන් ඔබේ රූව ලස්සන කරගන්න භාවිත නොකරන්නේ ? ඒ සදහා දැන්ම ශබට ක්‍රියාත්මක විය හැකියි. ළපටි නෙළුම් කොළ පිරිසුදු ඇල්දියෙන් අඹරා අලේප කිරීමෙන් සමේ දැවිල්ල පාලනය කරයි. දරුවන් නැතැයි පසුතැවිලි වන කාන්තාවන්ට හා පිරිමින්ට වටිනා ඔසුවකි. නෙළුම් මඟින් සරුබව වර්ධනය කරයි. කොලෙස්ටරෝල් මට්ටටම අඩුකරයි. සිරුරේ බර අඩු කරයි. ඔබ බර අඩු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, නෙළුම් මුල යනු ඔබේ ආහාර වේලට එකතු කළ හැකි විශිෂ්ට ආහාරයකි. අඩු කැලරි ප්‍රමාණයත් තන්තු හා අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසාත් නෙළුම් ආහාරයට ගත් විට අනවශ්‍ය ලෙස අධික ආහාර ප්‍රමාණයක් ගැනීම වළකාලයි. නිතර නිතර බඩගිනි වීම වළකාලයි. ඒ නිසා මහත්වීම පාලනය කිරීමට නෙළුම් අල ආහාරයට එක්කකර ගන්න.
2019/10/23 තරුණි පුවත්පත බලන්න.