සුන්දරත්වය රැකගන්න නිවැරැදි විදිහට මුහුණ පිරිසුදු කරගන්න හැටි දැනගන්න

ඔක්තෝබර් 9, 2023

මූණ හෝදන්න දන්නවද කියල ඇහුවම කෙනෙක්ට හිනා යන්නත් පුළුවන් මූණ හෝදන එකේ අමුතුවෙන් මොකක් දැනගන්නද කියල. හැබැයි තමන්ගෙ පිරිසුදුකම වගේම රූපලාවණ්‍යය ගැන හිතන කෙනෙක්ට මේක වැදගත් ප්‍රශ්නයක්. නිකම්ම වතුර ටිකකින් තෙමාගෙන සබන් හරි ෆේස්වොශ් හරි ගාලා සෝදන එක ගැන නෙවෙයි අපි මේ කියන්නෙ. සමේ සුන්දරත්වය රැකගන්න හරි විදිහට මුහුණ පිරිසිදු කරගන්න විදිහ ගැන. 

දවසකට කී වතාවක් මූණ සෝදන්න අවශ්‍යද?

 

අනිවාර්යයෙන් දවසකට දෙපාරක් මුහුණ සෝදන්නම ඕනෙ. රෑට නිදාගන්න කලින් මුහුණ සේදීමෙන් දවස පුරා රැඳෙන කුණු දූවිලි ඉවත් කරලා මුහුණ පිරිසුදු කරනවා.

ඒ වගේම උදෑසනට මුහුණ සේදීමත් අනිවාර්යයි. රාත්‍රිය පුරා මුහුණ මත ක්‍රියාකරන බැක්ටීරියා ඉවත් කරන්නත්, හිසකෙස් මුහුණේ ඇතිල්ලීමෙන් මුහුණ මත තැවරෙන හිසකෙස් වල ස්වභාවික තෙල් ඉවත් කරන්න වගේම රාත්‍රී නින්දට පෙර ආලේප කරන ක්‍රීම් ඉවත් කරන්නත් මේ සේදීම කරන්නම ඕනෙ.

මීට අමතරව ඝර්ම කලාපීය රටක ජීවත් වෙන අපිට නිතර දාඩිය දාන එක පොදු කාරණයක්. මේ නිසා මුහුණට දාඩිය දාන වෙලාවට ක්ලෙන්සර් හෝ ෆේස්වොශ් එකක් භාවිත නොකර සාමාන්‍ය වතුරෙන් මුහුණේ රැඳෙන දාඩිය සෝදාහරින්න. 

 

මුහුණ සෝදන වතුරේ උෂ්ණත්වය 

 

එක එක්කෙනාගෙ සම එක එක විදිහයි. අධික තෙල් සහිත, තෙල් සහිත, වියළි, සාමාන්‍ය සහ මිශ්‍ර සම කියල අපිට වෙන්කරන්න පුළුවන්. මේ මොන විදිහ සමක් හිමි කෙනෙක් වුණත් තද රස්නය හෝ තද සීතල වතුරෙන් මුහුණ සෝදන එක සමට සුදුසු නැහැ. ඕනෙම සමකට ගැළපෙන වතුර තමයි ලූක්වෝර්ම් නැත්නම් ඇල්මැරුණ රස්නය ඇති වතුර. අතේ පිටි අල්ල දාන්න පුළුවන් තරම් යන්තම් රස්නයෙන් වතුර පාවිච්චි කරන්න. ඊට වැඩි රස්නය ඇති වතුරෙන් සමේ ස්වභාවික තෙල් තට්ටුව ඉවත් වෙලා සම වියළවන්න පුළුවන්. පමණට වඩා සීතල වතුරෙනුත් සමට හානි සිද්ධ වෙනව සහ නිසි ලෙස පිරිසුදු වීමක් වෙන්නෙ නෑ.

 

පාවිච්චි කරන ෆේස්වොශ් එක නැත්නම් ක්ලෙන්සර් එක

 

කලින් කිවුව වගේ විවිධාකාර සම් වර්ග අනුව ගැළපෙන නිෂ්පාදන වෙළෙඳපොළේ තියෙනවා. ඔබේ සමට ගැළපෙන ෆේස්වොශ් එකක් භාවිතයට ගන්න. තෙල් සහිත සමක් ඇති කෙනෙක්ට ජෙල් සහ ෆෝම් ආකාරයෙන් එන ක්ලෙන්සර් හෝ ෆේස්වොශ්ද, සාමාන්‍ය සමක් ඇති කෙනෙක්ට වෝටර්බේස්ඩ් ක්ලෙන්සර් හෝ ෆේස්වොශ්ද සුදුසුයි. වියළි සමක් ඇති කෙනෙක්ට ක්ලෙන්සින් ඔයිල් හෝ බාම් නිෂ්පාදනයක් පාවිච්චි කරන්න පුළුවන්.

ක්ලෙන්සර් හෝ ෆේස්වොශ් භාවිතයේදී මේ ගැනත් හිතන්න

 

මුහුණ සෝදනවා කිවුවම රෙදි සෝදනවා වගේ හොඳට අතුල්ලල සෝදන්න සුදුසු දෙයක් නෙවෙයි මුහුණේ සම කියන්නෙ. ක්ලෙන්සර් හෝ ෆේස්වොශ් භාවිතයේදී ඇඟිලි තුඩුවලින් පමණක් මුහුණ කවාකාරව සිනිඳුව අතුල්ලන්න. නිය පොතුවලින් සම සූරමින් තදින් ඇතිල්ලීමෙන් සමට හානි වෙන්න පුළුවන්. නැත්නම් වොශ්ක්ලෝත් එකක් හෝ මුහුණේ සම පිරිසිදු කරන්න ගන්න ස්පොන්ජ් එකක් භාවිත කරන්නත් පුළුවන්. සම මතුපිටින් පිරිමැදීම මිසක් සමට හානි වෙන විදිහට තදින් ඇතිල්ලීම කිසිම වෙලාවක නොකළ යුතූයි.

 

මුහුණ පිස දැමීම

 

අනිවාර්යයෙන් ඔබ මුහුණ පිසදාන්න ගන්න තුවාය හොඳින් සෝදා පිරිසුදු කරගත් වියළි මෘදු එකක් වෙන්න ඕනෙ. තදින් වියළුනු සහ ඝණකම රෙදිවලින් සමට හානි වෙන්න පුළුවන්. ඒ වගේම අපිරිසුදු තුවාවලින් මුහුණ මත බැක්ටීරියා තැන්පත් වී කුරුලෑ ආසාදන ඇති වෙන්නත් පුළුවන්. මුහුණ පිසදාන තුවාය තමන් පමණක් පාවිච්චි කරන එකක් වගේම මුහුණ පිස දැමීමටම වෙන් වූ එකක් වෙන්න ඕනෙ.

 

සේදීමෙන් පසු

 

මුහුණ සේදුවට පස්සෙ ටෝනර් එකක් සහ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන එක පුරුද්දට තියාගන්න එකත් සමේ නීරෝගිකමට වගේම සුන්දරත්වයට බලපානව. ක්ලෙන්සර් එකකින් හෝ ෆේස්වොශ් එකකින් සම පිරිසුදු කළාට පස්සෙ සම මත තෙතමනය රඳවාගන්නත් සමට ආරක්ෂාව සපයන්නත් මේ නිෂ්පාදන දෙකට පුළුවන්. 

 

අවසාන වශයෙන්

 

රැකියාවක නිරත වෙන යුවතියක් නම් චූටි හරි මේකප් එකක් පාවිච්චි කරනවනෙ. ඒ මේකප් සෙට් එක නිතරම හෑන්ඩ් බෑග් එකේ තියාගන්න. මුහුණට දාඩිය දැම්මම ඒ දාඩිය මුහුණේ තියෙන්න අරින එකෙන් සමට හානි වෙනවා. ඒ නිසා දාඩිය දාන වෙලාවට කලින් කිවුව වගේ මුහුණ සාමාන්‍ය වතුරෙන් සෝදගෙන, පිහිදගෙන ආයෙ මේකප් එක ටචප් කරගන්න. දාඩිය දවස පුරාම මුහුණේ රැඳෙන්න දීමෙන් අඳුරු, පැල්ලම් සහිත සහ කුරුලෑ ඇති සමක් ඇතිවෙන්න ඉඩකඩ වැඩියි. 

ඉතින් පිරිසුදුකම කියන්නේ සුන්දරත්වයේ පළමු රහස බව මතක තබාගන්න.

උපදෙස් -

රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර