ගෙදරදීම හිසකෙස් රකින hot oil treatment

හිසකෙස් පැළෙනවාට හොඳම සත්කාරය මෙන්න
ජූලි 3, 2023

 

උපදෙස් : ප්‍රවීණ රූපලාවණ්‍ය උපෙද්ශිකා මනාලියන් හැඩගැන්වීමේ ශිල්පිනි

ඉෂාරා කෝර⁣ළගේ

 

වියළි හිසකෙස්, කැඩී යන හිසකෙස් ඇති, අධික තාපය සහිත උපකරණ නිතිපතා භාවිත කරන, ස්ට්‍රේට්, රිබොන්ඩින් වැනි රසායනික වෙනස්කම්වලට භාජනය කරනු ලැබූ, වර්ණ ගන්වන ලද හිසකෙස් සඳහා මෙන්ම, කෙස් පැළීමට ලක් වී ඇත්නම් එවැනි හිසකෙස් සඳහා hot oil treatment  එකකින් ලැබෙන සත්කාරය ඉතාම වටී.

උණුසුම් තෙල් ප්‍රතිකාරය ස්වාභාවික හිසකෙස් මත ඉතා හොඳින් ක්‍රියා කරයි.

ඔබේ හිසකෙස් හෝ හිස්කබල තෙල් සහිත නම් ඔබට අඩු මේද තෙල් භාවිත කිරීමට සිදු වේ.

 

Hot Oil treatment  සඳහා යොදා ගන්නා තෙල් වර්ග

 

* ආමන්ඩ් තෙල්

* ජොජොබා තෙල්

* ආගන් තෙල්

* අලිගැටපේර තෙල්

* මුරුංගා තෙල්

* ඔලිව් තෙල්

*පොල් තෙල්

* තල තෙල් ආදී ශාක පදනම් වූ තෙල් වර්ග භාවිත කළ හැකියි.

ඔබේ හිසකෙස් සඳහා අවශ්‍ය දේ මත පදනම්ව තෙල් තෝරන්න.

පොල්තෙල් ඔබේ හිසකෙස් පෝෂණය කිරීමට සහ වර්ධන වේගය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. එබැවින් එය ඕනෑම හිසකෙස් වර්ගයක් සඳහා සුදුසු වේ.

 

ඔලිව් තෙල් ඔබේ හිසකෙස්වල තෙතමනය රඳවා ගැනීමට උපකාරී වන අතර, විටමින් E අඩංගු වේ. එබැවින් එය හානියට පත් හිසකෙස් සඳහා විශිෂ්ටයි.

 

ඔබේ හිසකෙස්වල නිරෝගි වර්ධනයට භාවිත කිරීම සඳහා අවශ්‍ය තෙල් වර්ගය තෝරා ගත් පසු, පහත සඳහන් පියවරයන් අනුගමනය කළ හැකියි.

 

නිවෙසේ දී තෙල් සත්කාරය කිරීම සඳහා පියවරයන් මෙසේයි

 

* පළමුව ඔබේ හිස ඉතා හොඳින් සෝදන්න. උණුසුම් තෙල්, පිරිසුදු හිසකෙස් මත ඉතා හොඳින් ක්‍රියා කරයි. මෙමඟින් තෙල්, කෙස් මූලය දක්වා ගැඹුරට විනිවිද යාමට ඉඩ සලසයි.

* තෙල් මේස හැඳි තුනේ සිට හය දක්වා ගෙන, විනාඩි දෙකක් පමණ රත් කර ගන්න. ඒ සඳහා ඔබට මයික්‍රෝවේව් එක ද භාවිත කළ හැකි නමුත් එහි අධික තාපය, තෙල්වල ගුණාත්මකභාවය අඩු කිරීමට හේතු විය හැකියි.

* දැන් ඔබ රත් කරගත් තෙල් භාවිතය සඳහා සූදානම්.

හිස් කබලේ සහ හිසකෙස් මත ආලේපයට ප්‍රථම ඔබ සකස් කරගත් තෙල්, ආලේපය සඳහා සුදුසු උණුසුමේ පවතින්නේ දැයි පරීක්ෂා කරගන්න. ඒ සඳහා ඔබේ මැණික් කටුවෙහි තෙල් කුඩා ප්‍රමාණයක් ආලේපකර උණුසුම සුදුසු තත්ත්වයේ පවතින්නේ දැයි බලන්න.

* ඔබ ඇඳ සිටින ඇඳුම් ආරක්ෂා කරගැනීම සඳහා උරහිස් මතට තුවායක් දමා ගන්න. ඔබට අවශ්‍ය නම් ස්නානය කිරීමේදී ඊට ප්‍රථම ද මෙම තෙල් ආලේපන සත්කාරය සිදුකර ගත හැකියි.

* දැන් ඔබේ හිස කෙස්, කොටස් කිහිපයකට වෙන් කර ගන්න.එය ඔබට තෙල් ආලේපනය කිරීම සඳහා පහසුවක් වනු ඇත.

* අනතුරුව ඔබේ හිසකෙස් සහ හිස් කබල පුරා ඒකාකාරීව තෙල් ආලේපකර, හිස් කබල සම්බාහනය කරන්න.

* ඔබේ හිස ෂවර් කැප් එකකින් ආවරණයකර විනාඩි 20ක් තබන්න.

* විනාඩි විස්සකට පසු ඔබේ හිසකෙස්වල තෙල් සම්පූර්ණයෙන්ම සෝදා, ඔබ භාවිත කරන කන්ඩිෂනර් සමඟ ක්‍රියාවලිය අවසන් කළ හැකියි.

මේ ආකාරයට ඔබේ කෙස්වල ස්වභාවය අනුව එය තේරුම් ගනිමින්, සුදුසු ලෙස සතියකට හෝ දින කිහිපයකට වරක් මෙම තෙල් සත්කාරය ඔබගේ කොණ්ඩය සඳහා නිවෙසේදී සිදුකරගත හැකියි.

 

සියලු හිසකෙස් වර්ග සඳහා උණුසුම් තෙල් ප්‍රතිකාරය සුදුසු ද?

 

ඔව්,සිහින් සහ සෘජු, ඝන සහ රැලි සහිත සියලුම හිසකෙස් වර්ග සඳහා හොට් ඔයිල් ප්‍රතිකාරය සුදුසු වේ.

 

Hot oil ප්‍රතිකාරය අතුරු ආබාධවලින් තොර ද? ආරක්ෂිතද?

 

උණුසුම් තෙල් ප්‍රතිකාර සඳහා ශාක පදනම් වූ ද්‍රව්‍ය භාවිත කරන බැවින් අතුරු ආබාධයක් ඇති වීමට කිසිදු හේතුවක් නොමැත. ඔබ සංවේදී සමක් ඇති, කෙනකු නම් එවැනි ප්‍රතික්‍රියාවක අවදානමක් තිබිය හැකිය. එම අවදානම අඩුකර ගැනීම සඳහා කෘත්‍රිම අමුද්‍රව්‍ය සමග මිශ්‍ර නොකර, ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිත කරන්න.

ඔබට සංවේදී සමක් තිබේ නම් ඔබේ වැලමිටේ ඇතුළත තෙල් බිංදු කිහිපයක් ආලේප කොට පැය විසිහතරක් පමණ යන තුරු අවධානයෙන් සිටින්න. ඔබට කැසීමක් ඇති නොවන්නේ

නම් තෙල් භාවිතය සඳහා සුදුසු වේ. ඔබේ සම යම් වෙනස්කමක් දක්වන්නේ නැතිනම් එය ඔබට භාවිතය සඳහා සුදුසු වේ.

 

හිසකෙස් දිගු කරගැනීම සඳහා hot oil treatment

 

හොට් ඔයිල් ප්‍රතිකාරය හිස් කබලේ රුධිර සංසරණය වැඩිදියුණු කරමින් නීරෝගී හිසකෙස් වැඩීම සඳහා ප්‍රබල උපකාරයක් සපයයි. ඒ අනුව හොට් ඔයිල් සත්කාරයේ සම්බාහනය කිරීමේ ක්‍රියාවලියේ දී, හිස් කබලෙහි යටින් ඇති ස්නායු උත්තේජනයකර, රුධිර සංසරණය වැඩිදියුණු කරයි.

මෙය හිසකෙස් වර්ධනය සඳහා උපකාරී වේ. සිහින් හෝ තුනී හිසකෙස් ඇත්නම් හෝ හිස කෙස් ගැලවී යාම පිළිබඳව කනස්සල්ලෙන් සිටින්නේ නම් මෙය ඔබට ඉතාම හොඳ ප්‍රතිකාරයක් වේ.