හෙළ කුල සිරිතට පතිකුලයට යන හරිම උඩරට මනාලිය

ඔක්තෝබර් 14, 2024

හෙළ කුල සිරිතට හැඩවන මනාලියගේ ඔසරිය සම්ප්‍රදායිකත්වය පිළිබිඹු කරයි. හරියට ඇය රජ බිසවක නියෝජනය කරනවා යැයි කිව්වොත් නිවැරැදියි. ඇගේ කරට දමන මාල හත සත්පත්තිනි පතිව්‍රතාව සංකේතවත් කරයි. උඩරට මනාලියකගේ ආභරණ කට්ටලය පරම්පරාවෙන් පරම්පරාවට ලැබුණු දායාදයක් හැටියට පැරැන්නන් සලකනු ලැබීය.

ඇගේ හිස මත පලඳවන තැල්ල පත්තිනි තැල්ල හැටියටත් හඳුන්වයි. හිසේ දකුණ සහ වම්පස තිබෙන ඉර හඳ දෙක මඟින් හිරු සහ සඳු තිබෙනා තුරු සිය ආදරය හිස් මුදුනින් පිළිගන්නා බව සංකේතවත් කරයි. බෝලයක් මෙන් සකස් කරනු ලබන කොණ්ඩය මහමේරු පර්වතය සංකේතවත් කරයි. එයින් කියැවෙන්නේ ඕනෑම බරක් හිස තබාගෙන ජීවත්වීමේ ආත්ම ශක්තියක් තමාට ඇති බවයි. හැට්ටයේ අත් දෙක බෝරිච්චි කිරීමෙන් කියැවෙන්නේ පිරුණු උරමඬලක හෙවත් පවුල් ජීවිතයේ හැම බරක්ම දරාගත හැකි පූර්ණත්වයක් ඇය තුළ සංකේතවත් වන බවයි.

ඔසරිය එදා රජ මාලිගාවේ රාජාභිෂේකය සඳහා භාවිත කළ රජ බිසවගේ ලාලිත්‍යය මතු කළ අයුරින් හැඩ ගැන්වීම කළ යුතුය. නැතහොත් උඩරට මනාලිය තුළින් දිස්වන තේජස් බව හා ගාම්භීරත්වය යටපත් වී යා හැකියි. එදා මෙදාතුර ඔසරියට මේ ලැබුණු ගාම්භීරත්වය විවාහ මංගල්‍යය දිනයේ සතුට හා විශ්වාසය තවදුරටත් සනාථ කරන සංකේතයක් ලෙස ප්‍රකටය. උඩරට මනාලියගේ වස්ත්‍රාභරණ කට්ටලය ආගමික හා සාමාජීය පසුබිමක් මත නිර්මාණය වූවකි. මෙම වස්ත්‍රාභරණ කට්ටලය පැලැඳීම තුළ කාන්තාව පතිනියක ලෙස සමාජයේ ප්‍රශංසා ලබන බවත් සෑම ආභරණ අංගයක්ම ඔත්තේ සංඛ්‍යා මත නිර්මාණය වීම හා අර්ථයක් සහිතව පැලඳීම තුළ කාන්තාවට සුබපල ගෙන එන බවත් කියැවේ.

 

01. නළල් පටිය

 

නළල් පටිය මනාලියගේ මව විසින් මනාලියට පැලඳවීම සිරිතයි. මෙම අවස්ථාවේදී පිරිත් කීම සිදු කරනු ලබනවා. නළල් පටියේ දකුණු පැත්තෙන් මනාලයාවත්, වම් පැත්තෙන් මනාලියවත් සංකේතවත් කරයි.

 

02. ඉර හඳ ආභරණය

 

මනාලියගේ හිසේ දකුණු පැත්තේ හිරු සහ වම් පැත්තේ සඳු පලඳවනවා. හිරුගේ ගතිගුණ මනාලයාගේ ගතිගුණවලටත්, සඳුගේ ගතිගුණ මනාලියගේ ගතිගුණවලටත් සමාන කරනවා. ඒ වගේම ඉර හඳ පවතින තුරු මනාල යුවළගේ බැඳීම පවතිනවා කියලා සංකේතවත් කරනවා. මීට අමතරව මේ ආභරණය පැලඳීම නිසා, මනාලියට තමාගේ පතිව්‍රතාව ආරක්ෂා කර ගැනීමට ශක්තිය ලැබෙනවා කියලත් කියනවා.

 

03. කොණ්ඩා කූරු

 

කොණ්ඩා කූරු පලඳවන්නේ හිසේ පිටුපසටයි. මේවා පැලඳීමෙන් මනාලියට සෞභාග්‍යය ලැබෙන බව සංකේතවත් කරනවා.

 

04. කරාබු

 

උඩරට මනාලිය පලඳින කරාබු වර්ගය හඳුන්වන්නේ “කඩුක්කන්” කියලා. විශේෂම කාරණාව තමයි මේවා පැලඳීමෙනුත් මනාලියට සෞභාග්‍යය ලැබෙන බව සංකේතවත් කරනවා.

 

05. වළලු

 

උඩරට මනාලියගේ වළලු හඳුන්වන්නේ අගස්ති වළලු සහ සැලි වළලු කියලා.

 

06. මුදු

 

උඩරට මනාලිය ඇඟිලි පහටම මුදු පලඳිනවා. මේ මුදුවලින් මනාලියට නීරෝගි සම්පත්තිය හිමි වන බව සංකේතවත් කරනවා.

 

07. හවඩිය

 

හවඩිය පලඳින්නේ මනාලියගේ ඉණේ හැඩය ටිකක් වැඩියෙන් ලස්සනට පෙන්වන්න.

 

08. මංගල මාල කට්ටලය

 

උඩරට මනාලිය සම්ප්‍රදායික ඔසරිය සමඟ පලඳිනු ලබන මේ සුවිශේෂී මාල කට්ටලය පත්තිනි දේවියගේ ආභරණ කට්ටලය කියලා තමයි විශ්වාස කරන්නේ. එයින් සංකේතවත් කෙරෙන්නේ මනාලිය පතිවත රකින, එයට ගරු කරන යුවතියක් බවයි. මේ මාල ගොඩක් දිගයි. ඒකේ තේරුම තමයි මනාලියට මුහුණ පෑමට සිදුවන විවිධ සෞඛ්‍ය ගැටලු මාලය දිගේ පොළොව වෙත ඇදී යනවා කියන එක. එමඟින් මනාලියට නීරෝගි සම්පත්තිය හිමිවන බව විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි මනාලිය පලඳින මාල හත මඟින් ඉදිරි පරම්පරා හතක් නියෝජනය කරනවා කියලත් මතයක් තියෙනවා.

 

හංස පූට්ටු මාලය

 

හංස පූට්ටු මාලයේ හංසයන් නිර්මාණය කර ඇත්තේ එකට පූට්ටු වී සිටින ලෙසයි. මෙයින් සංකේතවත් කරන්නේ විවාහක යුවළ වෙන් නොවී, සදාකාලයටම බැඳී සිටින බවයි.

 

හංස පූට්ටු තැල්ල

 

මෙය රැඳ‍ෙවන්නේ මනාලියගේ පපුව මතයි. මෙයින් සංකේතවත් කරන්නේ මනාලිය තම කිරෙන් දරුවන් පෝෂණය කරන බවයි.

 

පදක්කම් මාලය

 

පදක්කම් මාලය පැලඳීමෙන් සංකේතවත් කරන ලද්දේ පියාගේ ගෞරවය ආරක්ෂා කළා සේම තම ස්වාමියාගේ ගෞරවය ද ආරක්ෂා කරන බවයි.

 

මකර මාලය

 

මකර මාලය පැලඳීම නිසා මනාලියගේ නවග්‍රහ අපල, වස් දොස් දුරු වන බව සංකේතවත් කරනවා.

 

කිරි මාලය

 

කිරි මාලය රඳවන්නේ මනාලියගේ පපුවට පහළිනුයි. එයින් සංකේතවත් කරන්නේ මනාලියව අනාගතයේදී ඇගේ දරුවන් විසින් වැලඳගෙන සිටින බවයි.

 

අගස්ති මාලය

 

අගස්ති මනාලියකගේ සිරුරේ ගැටීමෙන් ඇයගේ සියලු අපල දුරුවන බව විශ්වාස කරනවා. මනාලියගේ ජීවිතයේ ඇති අවාසනාව දුරු කර සෞභාග්‍ය උදා කරන්නට මේ අගස්ති මාලය සමත්වන බව විශ්වාස කරනවා.

 

ධාන්‍ය මාලය

 

ධාන්‍ය මාලයෙන් මනාලියගේ යහපත් සෞඛ්‍යය සංකේතවත් කරනු ලබනවා.

 

පෙති මාලය

 

මේ පෙති මාලයෙන් මනාලියගේ පවිත්‍රතාව සංකේතවත් කරනවා.

 

කර මාලය

 

විශේෂ මාල හතට අමතරව මනාලයා විසින් මනාලියට පලඳවන මාලය කර මාලය ලෙස හඳුන්වයි. එය සංස්කෘතික සිරිතකි.

 

මේ දේවල් තමයි උඩරට මනාලියගේ අාභරණ වෙන්නේ. ගොඩක් වෙලාවට මොඩර්න් කැන්ඩියන් අඳින කෙනෙක් නම් මේ සියලු ආභරණ පලඳින්නේ නැහැ. හරියටම සංස්කෘතියට අනුව උඩරට ඔසරිය අඳිනවා නම් මේ ආභරණ අනිවාර්යයෙන් පැලඳිය යුතුයි.

 

ඡායාරූප - අනුරාධ උදයංග

 

උපදෙස්:-

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

මංජුල හඳපාන්ගොඩ