සොඳුරු රුවකට ඔබේ කැපවීම අත්‍යවශ්‍යයි

නින්දට පෙර මේ දේවල් කරන්න
නොවැම්බර් 7, 2022

 

 

සිරුරේ ලාලිත්‍ය නිසාම කාන්තාව හැඩකාරියකි. උපතින් හිමිවන ගැහැනුකමත් සමඟ වැඩෙන රුව වඩාත් සුන්දර වන්නේ ඔබ ඒ වෙනුවෙන් කරන කැප කිරීම මතයි. නොඑසේ නම් තිබෙන රුවත් අකාලයේ වියැකී යාමට ඔබේ ක්‍රියාකාරකම් හේතු වේවි.

 

කාර්යබහුල ජීවන රටාවකට හිමිකම් කියන නිසා බොහෝ කාන්තාවන්ට තමන්ගේ රූපලාවණ්‍යය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කාලයක් නැති තරම්. නමුත් කාන්තාවක් අනිවාර්යෙන්ම තමන්ගේ ශරීරයේ බර හා රූපලාවණ්‍යය ගැන සැලකිලිමත් වන්නට ඕනේ. සැලෝන් එකකට යන්න වෙලාවක් නැත්නම් රාත්‍රියේ නින්දට පෙර ඔබ මේ සරල දේවල් කරන්න. ඔබේ පෙනුම හැමදාමත් තරුණව තියාගන්න එමඟින් පුළුවන් වේවි.

 

මේක් - අප් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න

දවස පුරාම මුහුණ මත තවරා ගෙන සිටින මේක් - අප් හෝ වෙනත් ආලේපන වර්ග එසේම තිබෙන්නට හැර නින්දට යනවා කියන්නේ සමේ ඇතිවිය හැකි ගැටලුවලට ඔබම ආරාධනා කිරීමක්. නින්දේදී සම නැවත සකස් වීමට පටන් ගන්නා නිසා සමෙහි සිදුරු විවෘත වීමට පටන් ගනියි. එහිදී මුහුණ මත විවිධ ආලේපන වර්ග තිබීමෙන් චර්ම රෝග, කුරුලෑ, ආසාදන සහ ලප කැළැල් ඇතිවිය හැකියි. එම නිසා නින්දට පෙර මුහුණ ඉතා හොඳින් පිරිසුදු කිරීමට අමතක කරන්න එපා.

 

Toner එකක් භාවිත කරන්න

 

මුහුණ පිරිසුදු කිරීමෙන් පසුව ටෝනර් එකක් භාවිත කළ යුතුමයි. පිරිසුදු කිරීමේදී විවෘත වන සමේ සිදුරුවලින් එහි ඇතුළත ස්ථරයට කුණු, දුහුවිලි සහ විෂබීජ ඇතුළු වීම ටෝනර් එකක් ආලේප කිරීම මඟින් වළක්වනවා. ඒ වගේම සමෙහි ස්වභාවික pH අගය යථා තත්ත්වයට පත් කරන්නත් toner එකක් උපකාරී වෙනවා. මුහුණ පිරිසුදු කර තෙත මාත්තු කිරීමෙන් පසුව සමට ගැළපෙන toner එකක් ගෙන මෘදුව සම මත ආලේප කරන්න.

 

Eye cream භාවිතය

 

දවස පුරාම පරිගණක තිරයක් දෙස බලාගෙන රැකියාව කරන කෙනෙක් නම් මෙය ඔබට ඉතාම වැදගත් දෙයක්. Eye cream එකක් තෝරා ගැනීමේදී සමට ගැළපෙන, සැර රසායන ද්‍රව්‍යවලින් තොර හොඳ වෙළෙඳ නාමයක් යටතේ නිෂ්පාදනය කර ඇති නිෂ්පාදනයක් තෝරා ගන්නත් අමතක කරන්න එපා. එවැනි ක්‍රීම් වර්ගයක් ගැල්වීමෙන් පසුව වෙහෙස වූ ඇස් ලිහිල් කිරීමට ඇති අක්ෂි ව්‍යායාම කිරීමෙන් ඇස්වලින් පෙනෙන වෙහෙසකර බව, රැලි සහ සියුම් රේඛා, ඇස් යට ඇති අඳුරු ගතිය සහ අවපැහැ ගැන්වීම් ඉවත් කරගන්නට පුළුවන්.

 

Hand Cream

 

මෙය එතරම් වැදගත් දෙයක් නෙවෙයි කියලා හිතුවත් ඇත්ත වශයෙන්ම එය වැදගත් දෙයක්. විශේෂයෙන්ම මේ දිනවල පෙරටත් වඩා අත් සේදීම සිදු කරනවා නම් hand cream එකක් අනිවාර්යයෙන්ම භාවිත කරන්න. ඉවුම් පිහුම් සහ පිරිසුදු කිරීම් සඳහා විවිධ සබන් වර්ග, සේදුම් කාරක භාවිත කිරීමේදී ඔබේ අත් වියළෙනවා. ඒ වගේම සම රළු වීමක් ද සිදුවෙනවා. මෙය යථා තත්ත්වයට පත්කිරීමට නම් තෙතමනය ආරක්ෂා කරන සමට ගැළපෙන hand cream එකක් අනිවාර්යයෙන්ම රාත්‍රියේදී අත්වල ගල්වන්නට වගබලා ගන්න. කොණ්ඩය ගැට ගසා ගන්න. රාත්‍රී කාලයේ දී හිසකෙස් මුදාහැර නිදා ගන්නවා නම් හිසකෙස්වල ඇති ස්වභාවික තෙල් ගතිය, හිස්හොරි හෝ වෙනත් කුණු, දූවිලි මුහුණ මත තැවරී මුහුණේ කුරුලෑ සහ ආසාදන තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. ඊට අමතරව හිසකෙස් ගැටගැසීම ද සිදුවිය හැකියි. එම නිසා රාත්‍රී කාලයේදී කොණ්ඩය ගොතා තිබීම හෝ ගැට ගැසා තිබීම වඩාත් සුදුසුයි.

 

දෙපා

මුහුණට දක්වන සැලකිල්ල දෙපාවලටත් අනිවාර්යයෙන්ම දැක්විය යුතුයි. දෙපාවල පිරිසුදුකම පිළිබඳව කාන්තාවක් ලෙස අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු අතර දිනපතාම දෙපාවල නියපොතු හොඳින් මැද පිරිසුදු කළ යුතුය. දින 2කට වරක්වත් දෙපා මඳ උණුසුම් ජලයේ බහා තබා හොඳින් තෙත මාත්තු කර සමට ගැළපෙන මොයිස්චරයිසර් වර්ගයක් හෝ දෙපාවල තෙතමනය ආරක්ෂා කිරීමට දෙපා සඳහාම නිමවා ඇති foot cream ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

මේ ලෙහෙසි පහසු පියවරයන් හැමදාම අනුගමනය කළොත් ඔබේ තරුණ බව රැකගන්න ඔබට එතරම් වෙහෙස වෙන්න අවශ්‍ය නැහැ. මීට අමතරව

 

 

 

 

පෝෂ්‍යදායී ආහාර සහ නැවුම් එළවළු, පලතුරු ආහාරයට ගැනීම, හොඳින් ජලය පානය කිරීම සහ නිසි ලෙස ව්‍යායාම කිරීම මඟින් ද ඔබට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

 

උපදෙස්

රූපලාවණ්‍යය ශිල්පිනී

නයනා කුමාරි,

සැලෝන් NayanaArt