නීරෝගි කෙස් කලඹකට Hair Mask

ඔක්තෝබර් 17, 2022

 

සුන්දර කෙස් කලඹක් කාන්තාවට ආශිර්වාදයක්. ඒත් බොහෝ දෙනකුට කෙස් කලඹට සාත්තු සප්පායම් කිරීමට වෙලාවක් නැහැ. ඒ වගේම වියදම් දරාගෙන සැලොන් වෙත යන්නත් මේ කාලෙ අපහසුයි. නිවෙසේ සිටම තමන්ගේ කෙස්වල ආරක්ෂාව, ලස්සන පවත්වා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවෙයි.

 

හිසකෙස්වලට මනා පෝෂණයක් ලබා දෙන hair mask එකක් නිවෙසේදී ඉතා පහසුවෙන් සකසා ගත හැකියි. කෙස් කලඹේ නීරෝගි බව වගේම අලංකාරය ගැනත් සැලකිලිමත් වෙන ඔබ hair masks ගැන ඇතැම් විට තවමත් නොදන්නවා විය හැකියි. හිසකෙස්වල වියළි බව, ගැට ගැසුණු ස්වරූපය සහ හානිවීම් පිළිසකර කරවා දිදුලන බවක් ලබාදෙන hair mask එකකින් හිස් කබලටත් මනා පෝෂණයක් ලබාදෙනවා. Hair mask භාවිත කරන කොට එය තමන්ගේ හිසකෙස්වල ස්වභාවයට ගැළපෙන ආකාරයට තෝරා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. හිසකෙස්වලට ගැළපෙන විදියේ ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කරලා හදාගන්න පුළුවන් hair masks වර්ග කිහිපයක් ගැන තමයි මේ ලිපියෙන් කියලා දෙන්නේ.

 

වියළි හිසකෙස්වලට

පොඩි කරගත් ඉදුණු කෙසෙල් ගෙඩි 2ක්, යෝගට් මේස හැඳි 2ක් සහ මී පැණි මේස හැන්දක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර මෘදු ආලේපනයක් සාදා ගන්න. හිසකෙස් සම්පූර්ණයෙන් ම ගෑවෙන පරිදි ඉහළ සිට පහළට ආලේප කර shower cap එකකින් ආවරණය කර මිනිත්තු 30ක් තබන්න. සාමන්‍ය පරිදි shampoo සහ conditioner භාවිත කර සෝදා හරින්න.

 

තෙල් සහිත හිසකෙස්වලට

කෝමාරිකා මදය මේස හැන්දක්, දෙහි යුෂ මේස හැන්දක් සහ මී පැණි මේස හැන්දක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර මෘදු ආලේපනයක් සාදා ගන්න. හිසකෙස්වල ඉහළ සිට පහළට ආලේප කර shower cap එකකින් ආවරණය කර මිනිත්තු 20 ක් තියන්න. සාමන්‍ය පරිදි shampoo, conditioner දමා සෝදා හරින්න. ඇපල් සයිඩර් විනාකිරි (Apple cider vinegar) කෝප්පයකට මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර spray bottle එකකට දමාගන්න. මේ මිශ්‍රණය හිසකෙස්වලට spray කර විනාඩි 10ක් තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

හානි වූ හිසකෙස්වලට

පොඩි කරගත් ඉදුණු කෙසෙල් ගෙඩියක්, පොල් තෙල් මේස හැඳි 4ක්, ග්ලිසරීන් මේස හැඳි 1ක් සහ මී පැණි මේස හැඳි 2ක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර මෘදු ආලේපනයක් සාදා ගන්න. සෑම කෙස් ගසකම ගෑවෙන පරිදි ආලේප කර shower cap එකකින් ආවරණය කර මිනිත්තු 30ක් තබන්න. සාමාන්‍ය පරිදි shampoo, conditioner යොදා සෝදා හරින්න.

 

Dull hair සඳහා

ඉදුණු අලිගැටපේර ගෙඩි 1ක්, olive oil මේස හැඳි 1ක්, මී පැණි මේස හැඳි 1ක්, උකු පොල් කිරි මේස හැඳි 3ක් මේ සඳහා අවශ්‍ය වෙනවා. මේ අමුද්‍රව්‍ය සියල්ලම හොඳින් මිශ්‍ර කර මෘදු ආලේපනයක් සකස් කරගෙන සෑම කෙස් ගසකම ගෑවෙන පරිදි ඉහළ සිට පහළටම ආලේප කරන්න. Shower cap එකකින් ආවරණය කර මිනිත්තු 30ක් තබා සාමාන්‍ය පරිදි shampoo, conditioner යොදා සෝදා හරින්න.

 

හිසකෙස් වර්ධනයට

ලොකු ලූනු ගෙඩියක යුෂ, පොල්තෙල් මේස හැඳි 2ක්, දෙහි යුෂ මේස හැඳි ½ක්, මී පැණි මේස හැන්දක් ගෙන බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. හිස්කබලේ ද ගෑවෙන ආකාරයට හිසකෙස්වල ආලේප කර shower cap එකකින් ආවරණය කර මිනිත්තු 30ක් තියන්න. සාමාන්‍ය ආකාරයට shampoo, conditioner යොදා සෝදා හරින්න.

 

හිසකෙස් ගැලවීම අවම කිරීමට

බිත්තර කහමදය සහ green tea මේස හැඳි 2ක් ගෙන බඳුනකට දමා මෘදු ආලේපයක් වනතුරු හොඳින් මිශ්‍ර කරන්න. හිසකෙස් සහ හිස් කබලේ ආලේප කර මිනිත්තු 15- 20 පසු shampoo යොදා සෝදා හැර conditioner යොදන්න. Fresh milk සහ මී පැණි මිශ්‍ර mask එකක් යෙදීම මඟින් ද හිසකෙස් ගැලවීම පාලනය වෙනවා.

 

වියළි හිස් කබලට

තල තෙල් මේස හැන්දක් සහ ඉඟුරු යුෂ තේ හැඳි 2ක් හොඳින් මිශ්‍ර කරන්න. මෙය හිස් කබලේ ආලේප කර මිනිත්තු 10ක් පමණ හොඳින් massage කර, තවත් මිනිත්තු 10ක් පමණ උණුසුම් තුවායකින් ආවරණය කර තබන්න. සාමාන්‍ය පරිදි shampoo, conditioner යොදා සෝදා හරින්න.

 

Bleached hair සඳහා

Olive oil මේස හැඳි 3ක් සහ මී පැණි මේස හැන්දක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය ගැල්වීමට පෙර shampoo යොදා හිස්කබල සෝදා හරින්න. ආලේපනය හිසකෙස්වල ගල්වා, shower cap එකකින් ආවරණය කර මිනිත්තු 30ක් තබන්න. ඉන්පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

වර්ණ ගැන් වූ හිසකෙස්වලට

Full- fat mayonnaise sauce මේස හැඳි දෙකක් ගෙන හිසකෙස්වල මුල සිට අගටම ගල්වා shower cap එකකින් වසා මිනිත්තු 20ක් තියන්න. ඉන්පසු සාමාන්‍ය පරිදි shampoo සහ conditioner යොදා සෝදා හරින්න. මෙය frizzy hair සඳහා ද සුදුසු ප්‍රතිකර්මයකි.

 

අගිස්ස පැළුණු හිසකෙස් සඳහා

අලිගැටපේර ගෙඩි බාගයක් සහ olive oil කෝප්ප බාගයක් හොඳින් මිශ්‍ර කර හිසකෙස්වල පැළුණු අගිස්සේ ආලේප කරන්න. විනාඩි 30ක් තබා සාමාන්‍ය පරිදි සෝදා හරින්න.

 

හිස්හොරි සහිත හිසකෙස්වලට

දුඹුරු සීනි මේස හැඳි 2ක් සහ පොල්තෙල් මේස හැන්දක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. Shampoo යොදා සෝදාගත් හිසට මේ මිශ්‍රණය යොදා මිනිත්තු 10–15ක් පමණ තියන්න. ඉන් පසු හොඳින් සෝදා හැර conditioner යොදන්න.

මේ විදිහට ඔබේ හිස කෙස්වල ස්වභාවයට අනූව hair mask එකක් භාවිත කර අලංකාර දිදුලන කෙස් කලඹක් ලබා ගත හැකියි.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර