මේ කාලේ වැඩිපුර කෙස් හැලෙන්නේ ඇයි?

කෙස් හැලෙනවානම් ඔබත් කියවිය යුතුමයි.
දෙසැම්බර් 5, 2022

 

ලස්සනට ම තිබුණු කොණ්ඩයකට වුණු දෙයක් ගැන දිලුෂිට හිතා ගන්නවත් බැහැ. වෙලාවකට හරිම දුකයි. කොණ්ඩේ එකට එකතු කරලා ඇල්ලුවත් ඇති. රොද පිටින් අතට එන්නේ.

 

මොකක් හරි අසනීප තත්ත්වයක්වත් දෝ කියලා දිලුෂිගේ හිතට බයක් නොදැනුණාමත් නොවෙයි. කොණ්ඩේ අහුරු අහුරු අතට එන එකට විසඳුමක් ඇත්තෙම නැද්ද කියලත් ඇය කල්පනා කළා.

කොණ්ඩය කාන්තාවකට අතිශය වැදගත් අංගයක්. පංච කල්‍යාණයෙන් හෙබි ලාලිත්‍යයෙන් අනූන හැඩරුවක් ගෙන දෙන්නට ලස්සන කොණ්ඩයක් ඍජුවම බලපාවි.

කොණ්ඩය යෑම පිළිබඳ සිතන්නට පෙර කොණ්ඩය පිළිබඳ මූලික අවබෝධයක් තිබීම වැදගත්. සාමාන්‍යයෙන් අපේ සිරුරේ ඇති රෝම කූප ගණන අප උපදින විටම තීරණය වී හමාරයි. ඉන් පහෙන් පංගුවක් පමණ හිසෙහි තිබේ.

ඔබ දන්නවාද හිසකෙස් සඳහා ජීවන චක්‍රයක් ඇති බව. ඒ පිළිබඳ යම් අවබෝධයක් ඇති විට හිසකෙස් ගැලවී යෑම පිළිබඳත් අවබෝධයක් ලැබේවි. හිසකෙස් හි ජීවන චක්‍රයේ වර්ධනීය කාලයක් තිබේ. එහි දිග අනුව කොණ්ඩයේ දිග තීරණය වේ. මේ නිසයි මොනතරම් ආස වුණත් කෙනෙක් ගේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ කියලා හිතෙන්නේ. කෙස් ගස් වර්ධනය වන කාලය වසර දෙකක් හෝ ඉන් එහා ගණනක් වූ පසු විවේක ගන්නා කාලයට එළඹේ. එය මාස තුනක් පමණ වූ පසු කොණ්ඩය හැලෙන්නට පටන් ගනියි. එය අයෙක් බවට පත් වී, අනතුරුව එක්තැන් වී මිය යනවා හා සමාන වූවකි.

කොණ්ඩයේ ඇති මුළු හිසකෙස් ගණනින් සියයට එකක් පමණ වැටේ. එසේ නම් හිසකෙස් සියයකට වඩා ගැලවී යන්නේ නම් එය අසාමාන්‍ය තත්ත්වයකි. එහෙත් හිසකෙස් සියයක් වැනි ගණනක් බොහෝ දෙනකුගේ නොයයි. කොණ්ඩය යනවා යැයි බොහෝ පිරිස් පවසන්නේ කෙස් ගස් 30-40ක් යන විටයි. ඕනෑම වයසක කෙනකුට මෙවැනි ප්‍රමාණයක් දෛනිකව යා හැකියි. නමුත් වයසත් සමඟ හිසකෙස්වල ඝණත්වය ක්‍රමයෙන් අඩු වී යයි.

අවුරුදු 40 පමණ වන විට පිරිමින්ගේ තට්ටය පෑදෙනවා මෙන් කාන්තාවන්ගේ ද කෙස් අඩු වෙයි. වයසත් සමඟින්, හෝර්මෝන අඩු වී යෑමෙන් මෙය සිදුවේ. ගනකමින් යුතු කොණ්ඩයක් යුවතියකට ඇත්තේ මල්වරයෙන් පසු නව යොවුන් වයසත් සමඟයි. අවුරුදු විසි, තිස් ගණන්වල උදවිය කොණ්ඩය යනවා යැයි හැමවිටම මැසිවිලි නඟන්නේ මේ නිසයි. මේ වයසේදී තුනීවන කොණ්ඩය මැදි වයස වනවිට ගනත්වය තවත් අඩු වේ. හිසකෙස්වල ගනත්වය යනු සෙන්ටිමීටරයකට ඇති හිසකෙස් ගණනයි.

හිස්හොරි. හිස් කබලේ ප්‍රශ්න, විසබීජ ආසාදන නිසා කෙස් මුල් පැසවීම, බරපතළ ලෙස ඇති සමේ රෝග (psoriasis) වැනි ඇති විටත් කෙස් අඩුවන්නට පුළුවනි. ශරීර අභ්‍යන්තරයේ ගැටලු ඇති විටත් කොණ්ඩය අඩු වේ. රක්තහීනතාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු හෝ වැඩි ක්‍රියාකාරීත්වයේදී ඇතැම් ඖෂධ වර්ග (පිළිකා ඖෂධ වැනි) වලදී හිසේ හැම තැනින්ම වාගේ කොණ්ඩය අඩු වේ.

ඩෙංගු, කෝවිඩ් වැනි බරපතළ උණ සහිත රෝග සෑදී මාස 3කට පමණ පසු කොණ්ඩය යෑමට පුළුවන. මේ දිනවල බහුතරයක් යුවතියන්ට, කාන්තාවන්ට ඇති ගැටලුව බලාගෙන ඉඳිද්දී කොණ්ඩය වෙනදාට වඩා විශාල ප්‍රමාණයෙන් ගැලවී යෑමයි. තදබල මානසික ආතතියෙන් පසුවත් මෙය සිදු විය හැකියි.

කෙස්වලින් සියයට 95ක්ම ඇත්තේ වර්ධනය වන මට්ටමේ ය. කෙස් වැඩීමට විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඩෙංගු, කෝවිඩ් වැනි තත්ත්වවලදී උපරිම ශක්තිය යොදන්නේ ජීවිතය රැක ගැනීමට යි. එවිට කෙස් වර්ධනය වැනි වැඩි වැදගත්කමක් නැති ක්‍රියාවලි සඳහා ස්වාභාවිකවම ඉඩක් නොදෙයි. වැඩෙමින් තිබූ කොණ්ඩයට වැඩි ශක්තියක් නොමැති විට කෙස් යෑම වැඩියෙන් සිදුවේ. ගැබිනි මවකට තම දරුවා කුසේ සිටියදී කෙස් වැටීම අඩුවෙන් පෙන්වයි. දරු ප්‍රසූතිය ආතතියක් ගෙන දෙන්නක් නිසා කෙස් වැඩීම නවතී. ඉන්පසු දරුවා ලැබී මාස තුනකට පමණ පසු කොණ්ඩය යන්නට පටන් ගනියි. 'බබා හිනාවෙද්දි කොණ්ඩය යනවා' යැයි පවසන්නේ ඒ නිසයි. මෙහිදී පෝෂණීය කෑමවේලක් ගැනීමෙන් නැවත යථා තත්ත්වයට පත් වේවි.

අවුරුදු හතළිස් ගණන්වලදී හෝර්මෝන ගැටලු මත කොණ්ඩය හැලේ. හිස් කබල පෙනෙන මට්ටමට කොණ්ඩය යන්නේ එවිටයි. හෝර්මෝන අසමතුලිතතාව පහ කිරීම සඳහා ඖෂධ ලබා දේ. හෝර්මෝන ප්‍රතිකාර මුලදීම අරඹා නිවැරැදිව ඖෂධ ගත යුතුයි.

පිළිකාමය තත්ත්වයන්වලදී කොණ්ඩය යෑම කාන්තාවන් පුදුමාකාර අන්දමින් අපහසුතාවට පත් කරන්නක්. පිළිකාමය සෛල වේගයෙන් පැතිර යන්නේ ඒ සඳහා විශාල ශක්තියක් වැය වන නිසයි, කොණ්ඩය යෑමත් වේගයෙන් සිදු වන්නේ. පිළිකාමය තත්ත්වයකදී ආතතිය නිසාත් කොණ්ඩය යයි, කීමෝ තෙරපිවලදී එක සැරේටම බලාගෙන ඉද්දි කොණ්ඩේ යන්නේත් ඒ නිසයි.

පෝෂණ ඌනතා ඇති විට ද කොණ්ඩය යයි. බරපතළ ලෙස විටමින් ඩී අඩුවක් ඇත්නම් එවිට ද කොණ්ඩය යයි. එවැනි පෝෂණ ඌනතා ඇති අයකු හැරුණු කොට විටමින් ගත්තේ යැයි කියා කොණ්ඩය වැවෙන්නේ නැත.

තෙල් සම්බාහනය හිස් කබලේ රුධිර ගමනාගමනය දියුණු වී ඉන් ඇති වන උත්තේජනය හිසකෙස් වර්ධනයේ යම් වැඩි වීමක් පෙන්නුම් කරාවි. මෙවැනි ප්‍රතිකර්මයක ගැටලුව ඇති කෙනා මානසික තෘප්තියක් ලබාවි.

මේ සඳහා පිරිසුදු පොල්තෙල් නම් වඩාත් සුදුසුයි. ආයුර්වේද තෛල වර්ග වුවත් සුදුසුයි. නමුත් ඉවක් බවක් නොමැතිව විටමින් බීමේ නම් පලක් නැහැ. තමන්ගේ ආර්ථික මට්ටම අනුව ගත හැකි ආහාර වේලක් ගන්නේ නම් අමතර විටමින් වර්ග ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ.

හිසකෙස්වලට තමාට ආවේණික වර්ණය සාදාගත නොහැකි වූ විට ශරීරය ඇතුළත වන විවිධ රසායනික ක්‍රියාවලීන් මත කොණ්ඩය සුදු වේ.

දිනපතා හෝ දිනක් හැර දිනක් නෑම අතිශය වැදගත්. එසේ නොවූවිටත් නාද්දී වෙනදාට මෙන් නොව වැඩිපුර කොණ්ඩය යනවා නේද යැයි සිතේවි. තවත් සමහරු පීරද්දී කොණ්ඩය යනවා යන මතයේ සිට කොණ්ඩය නොපීරා සිටිති. දිනකට තුන් හතර වතාවක් සාමාන්‍යයෙන් කොණ්ඩයක් පීරිය යුතුයි. එසේ නොවුණු විට කෙස් එකට ගැට ගැසේ. පැටලී තිබුණු කොණ්ඩයක් පීරද්දි කෙස් කැඩී යෑම ඉබේම සිදුවේ.

අද වන විට තම හිසෙහි ස්වාභාවික කොණ්ඩය, ස්වාභාවික පැහැයෙන් රැකී ඇත්තේ කීයෙන් කීදෙනාගේද? රීබොන්ඩින්, කෙරටින් ට්‍රීට්මන්ට් ආදි රූපලාවණ්‍යාගාරවලට ගොස් කරනා දෑවලින් හිසකෙස්වල ඇති රසායනික ව්‍යුහය වෙනස් කරයි. එවැනි ප්‍රතිකර්ම කළ හිසකෙස් හානි කරන ලද හිසකෙස් (Damage hair) නම් වේ. මේ සඳහා ඩයි කරන කොණ්ඩය ද අයත් වේ. එහිදීත් කෙස් ගස ඇතුළට වර්ණයක් ඇතුළු කරයි. මෙවැනි දෑ කළ පසු කොණ්ඩයට වෙනම සාත්තුවක් කළ යුතුයි. පසු උපදෙස් පිළිපදින්නේ එහෙමත් කෙනෙකි. මේ නිසාම කොණ්ඩය තව තවත් දුර්වල වේ. කොණ්ඩයට විවිධ ප්‍රතිකර්ම කළාට වරදක් නැත. නමුත් පසු ප්‍රතිකර්ම කෙරෙහි ද එවැනිම අවධානයක් යොමු කළ යුතුයි. පළපුරුදු සේවයක් කරා යෑමේ වැදගත්කම එයයි.

ෂැම්පු පාවිච්චියේ වරදක් නැත. මේ ආදී ලෙස වෙළෙඳනාමයෙන් යුතු ෂැම්පු වර්ග සුදුසු යැයි කිව නොහැකියි. සබන්වල අඩංගු Ph අගය වැඩි නිසා හිස් කබල, හිසකෙස් වේළෙන්නට ඇති ඉඩකඩ වැඩියි. මේ නිසයි ෂැම්පු භාවිතය සබන් භාවිතයට වඩා සුදුසු වන්නේ. ෂැම්පු කළාට පසු කන්ඩිෂනර් කළ හැකියි. දවස ගානේ නාන අයකුට දිනපතා ෂැම්පු, කන්ඩිෂනර් භාවිත කරන්න අවශ්‍ය නැහැ. කන්ඩිෂනර් එහෙම පිටින්ම යන පරිදි සේදීමක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. එවිට ලිස්සන සුලු ස්වභාවය නැතිව ගොස් වියළේවි. ෂැම්පු මුළුමනින්ම සෝදා හැරියත් කන්ඩිෂනර් සම්පූර්ණයෙන් සෝදා හරින්නේ නැහැ.

උපදෙස් -

චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

ඉන්දිරා කහවිට