නව වසරට ගෙදරදීම දින දර්ශනයක් හදමු

දෙසැම්බර් 26, 2022

නව වසරක උදාවත් සමඟම අප සෑමදෙනාම පාහේ මේ දිනවල නිවෙස අලුත්වැඩියා කරන්නට, අලුතෙන් අංග එක් කරන්නට යුහුසුලු වෙනවා. එලෙස නිවෙසේ සෑම වසරකටම වරක් අලුත් වෙමින් පවතින අංගයක් ලෙස දින දර්ශනය නැතිනම්, කැලැන්ඩරය හැඳින්වීමට පුළුවන්. එළඹෙන නව වසරේ ඉදිරි කටයුතු පිළිබඳ මුළු ලොවෙහිම වෙසෙන්නන් සැලසුම් කරන්නේ මේ දින දර්ශනයේ දින වකවානුවලට අනුකූලවයි.

ඉතින් බොහෝ දෙනා බිත්තියේ එල්ලා තබන මේ දින දර්ශනය මේසයක තැබිය හැකි ආකාරයට නිර්මාණය කරන විදිහ කියලා දෙන්නයි අපේ මේ සූදානම.

ඉතා පහසුවෙන් සැකසිය හැකි මෙය දින දර්ශනය ඔබේ දියණියගේ හෝ පුතුගේ පොත් මේසයට සැමියාගේ කාර්යාල මේසයට වුවත් එක්කර ගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

රතු, කහ සහ කළු කාඩ්බෝඩ් 
සුදු  A4 කොළ කිහිපයක් 
ගම් 
කතුරක් 
වෙළෙඳපොළෙන් ගත් රිං දෙකක් 
ප්ලැටිග්නම් 
සැරසීමට වෙළෙඳපොළෙන් ලබා ගත හැකි පබළු, ස්විකීන්ස් වැනි විසිතුරු දේවල්

නිර්මාණය සකසා ගන්නා ආකාරය

පළමුව අඟල් 22 × අඟල් 6 ප්‍රමාණයේ රතු කාඩ් බෝඩ් කොටසක් කපා ගන්න. කපා ගත් බෝඩ් කොටස දළ රූප සටහනේ පෙන්වා දී ඇති මිමි අනුව කඩඉරිවලින් නවා ගන්න. එහි අඟල් 3 කොටස් දෙක එකතු වන සේ ළං කර අලවා ගන්න.

දැන් අඟල් 71/2 × අඟල් 51/2 ප්‍රමාණයේ කහ පැහැ බෝඩ් කොටසක් කපා අවුට්ලයින් සිටින සේ රතු පැහැ බෝඩ් කොටස ඉදිරිපස අලවන්න.

එලෙස දින දර්ශනයේ රඳවනය සකසා ගත් පසු අපිට දින දර්ශනය සකසා ගත හැකියි.

ඒ සඳහා අන්තර්ජාලය භාවිතකර 2023 දින දර්ශනය ලබා ගෙන සුදු පැහැ A4 කොළවල "5×5" ප්‍රමාණයෙන් මාස 12 ම පිටපත් කර ගන්න.

ඉන්පසු කළු පැහැ කාඩ්බෝඩ් එකක් ගෙන "51/2× 51/2" ප්‍රමාණයෙන් බෝඩ් කොටස් 12ක් කපා ගන්න. මේ බෝඩ් කොටස් 12 මත පිටපත් කපා ගත් මාස 12 අවුට්ලයින් සිටින සේ අලවා ගන්න.

දැන් දින දර්ශන රඳවනයේ ඉදිරිපස කහ පැහැ කොටසේ වම් පස ඉහළින් රූපයේ පරිදි සිදුරු දෙකක් කපා ගන්න.

සකසා ගත් මාස සහිත බෝඩ් කොටස් 12 ඉහළිනුත් සිදුරු දෙක බැගින් විද පළමු දෙසැම්බර් මාසයේ බෝඩ් කොටස දින දර්ශන රඳවනයේ රිං තුළින් රඳවා ගන්න. ඉන්පසු ඒ ආකාරයටම නොවැම්බර් සිට ජනවාරි දක්වාම රඳවා ගන්න.

දින දර්ශන රඳවනයේ දකුණු පස ඇති හිස්බව පිරවීමට ප්ලැටිග්නම් එකකින් 2023 යනුවෙන් ලියන්න. මෙය වෙළෙඳපොළෙන් මිල දී ගත් පබළු, ස්වීකින්ස් වැනි විසිතුරු දෑ වලින් අලංකාර කර ගන්න.

උපදෙස් - 
මහරගම ප්‍රාදේශීය ලේකම්  
කාර්යාලයේ බාහිර උපදේශිකා  
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී  
චූලනී ජයසිංහ