කහ ගැන අප නොදත් දේ කොතරම් ද?

මොනවද මේ කහවල අඩංගු කර්කියුමින්
පෙබරවාරි 10, 2021

මුළුතැන්ගෙයි ස්වාභාවික වර්ණ කාරකය වූ කහ අපට නැතිවම බැරි කුළුබඩුවකි. දේශීයව මෙන්ම විදේශීයව ද මේ රසකාරකය භාවිත කරන අතර කහ පිළිබඳ අප දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය. එබැවින් අද අපි කහ පිළිබඳ දැනුවත් වෙමු.

නිජබිම

ඉන්දියාව, ගිනිකොන දිග හා දකුණු ආසියානු කලාපය නිජබිම කරගත් කහ සපුෂ්ප ශාකයකි. අද වනවිට නිවර්තන කලාපයේ ද කහ බහුලව වගා කරන අතර විවිධ රටවල විවිධ නම්වලින් මෙය හඳුන්වනු ලැබේ.

‘හරිද්රා’ යන සංස්කෘත වචනයෙන් උපුටාගත් ‘හල්ඩි’ යන නමින් උතුරු ඉන්දියාවේ දී හඳුන්වන කහ දකුණු ඉන්දියාවේ දී ‘මංජල්’ නම් වේ. බොහෝ සංස්කෘතීන්වල කහ යන නමට පදනම් වී ඇත්තේ ‘කර්කුමා’ යන ලතින් වචනයයි. ඊට අමතරව සංස්කෘත භාෂාවෙන් මේ කහ සඳහා නම් 53 ක් පමණ භාවිත වේ. ‘භද්‍රා, ගෞරි, ජයන්ති, ලක්ෂ්මි, මංගල්යා, නිශා, නිෂාවා, පවිත්‍රා, රංජානි, රත්රමානිකා, සර්වනා, තමසිනි’ වැනි නම් ඒ අතර වේ.

ගුණාත්මකබව

කහවල ගුණාත්මකබව මනින ප්‍රධාන සාධකය වන්නේ එහි පවත්නා කර්කියුමින් ප්‍රතිශතයයි. ඊට අමතරව පලිබෝධ නාශක ප්‍රමාණය සහ නිෂ්පාදනයේ පවතින බැර ලෝහ ප්‍රමාණය පිළිබඳ ද මූලිකව සැලකිලිමත් වේ.

ලෝකයේ වෙනත් රටවල වගාකරන කහවලට වඩා ශ්‍රී ලංකාවේ වැවෙන කහ ගුණාත්මක බවින් ඉහළය. එයට හේතුව වන්නේ අනෙක් රටවල කහවලට සාපේක්ෂව මෙරට කහවල අඩංගු ඉහළ කර්කියුමින් ප්‍රතිශතයයි. එපමණක් නොව අනෙකුත් බොහෝ රටවල මේ වගාවේ දී රෝග සහ පලිබෝධ පාලනය සඳහා රසායනික පලිබෝධ නාශක විශාල වශයෙන් භාවිත කරයි. නමුත් ලංකාවේ කහ වගාවේ දී එවැනි පලිබෝධ හානි අඩු බැවින් රසායනික මර්ධන ක්‍රම භාවිතය ද අඩුය.

එමෙන්ම වෙනත් රටවල් විශාල වශයෙන් රසායනික පොහොර භාවිත කළද මෙරට ගොවීන් ඒකාබද්ධ පාංශු පෝෂක සැපයීමේ ක්‍රමයට අනුගතව සිටින නිසා අස්වැන්නේ පවත්නා ලෙඩ්, ආසනික්, කැඩ්මියම් වැනි බැර ලෝහ ප්‍රමාණය ප්‍රමිති නිර්දේශයන්ට අනුකුල වේ. එබැවින් විදෙස් රටවලින් ආනයනික කහ භාවිතයට ගන්නවා වෙනුවට මෙරට නිෂ්පාදිත කහ භාවිතය සෞඛ්‍යයට වඩාත් හිතකරය.

සාමාන්‍යයෙන් සාමාජිකයන් පස්දෙනෙකු සිටිනා පවුලකට වාර්ෂික කහ කුඩු අවශ්‍යතාව කිලෝ ග්‍රෑම් 1.5 සිට 2 දක්වා පමණ වේ. එනම් අමු කහ කිලෝ ග්‍රෑම් 12 ක් පමණය. එබැවින් මේ ප්‍රමාණය බොහෝ පිරිසකට ඉතාමත් පහසුවෙන් තම ගෙවත්තෙන්ම සපයා ගත හැකි වේ.

ශ්‍රී ලංකාවේ බොහෝ දේශගුණික කලාපවල පවත්නා පරිසර තත්ත්ව යටතේ කහ භෝගය හොඳින් වගා කළ හැකි වේ. නමුත් පසුගිය වර්ෂවල මෙරට පරිභෝජන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා දේශීය නිෂ්පාදන ප්‍රමාණවත් නොවීය. එබැවින් ඉන්දියාව වැනි රටවලින් කහ ආනයනය කරන ලද අතර ඒවායේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ ගැටලු සහිත විය.විශේෂයෙන්ම කහවල වර්ණය සහ ප්‍රමාණය වැඩි කරගැනීම පිණිස විවිධ ආදේශක සහ අහිතකර රසායනික සංයෝග මිශ්‍ර කළ ආනයනික කහ මෙරට වෙළෙඳපොළ තුළ දක්නට ලැබිණි.

ලංකාවේ වගාකරන කහ අල වියළීමෙන් පසුව ප්‍රමාණයෙන් කුඩා වේ. එනමුත් සැමවිටම මේ කහ ගුණාත්මක බවින් ඉහළ සේම කර්කියුමින් ප්‍රතිශතය ද ඉහළය. මන්ද දේශීය කහ බොහෝ විට තැඹිලි පැහැයක් ගන්නා අතර කහ පැහැයට වඩා තැඹිලි පැහැයේ කර්කියුමින් අගය වැඩිය.

කර්කියුමින්වල වැදගත්කම

කර්කියුමීන් යනු ස්වාභාවික ප්‍රතිඔක්සිකාරකයකි. එබැවින් එය වයස්ගතවීම මන්දගාමී කිරීමට මෙන්ම ඇල්සයිමර් රෝගය සහ මානසික අවපීඩනය වළකාලයි. මොළයේ රෝග, හෘද රෝග, පිළිකා ආදියේ අවදානම අඩුකරන අතර ආතරයිටිස් රෝගීන් කර්කියුමින් ආහාර සඳහා ඉතා හොඳින් ප්‍රතිචාර දක්වති.

එමෙන්ම ළදරු ආහාර සඳහා මේ කර්කියුමීන් එකතු කිරීමෙන් ඔවුන්ගේ බුද්ධි වර්ධනයට උපකාරි වේ. කෙනකු වයසට යාමේදී ඇතිවන නිදන්ගත රෝග සමඟ හොඳින් සටන් කරන්නට ද මේ කර්කියමින් උදවුවන අතර වයස්ගතවීම වළකාලන අතිරේක ආහාරයක් ලෙසද ජනප්‍රියයි.

ඖෂධීය ගුණය

මුළුතැන්ගෙයි බොහෝ කුළුබඩු සේම කහ ද දේශීය වෙදකම සඳහා බෙහෙවින් අත්‍යවශ්‍ය වේ. එමෙන්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ විවිධ නිෂ්පාදන සඳහා ද කහ යොදා ගැනෙන අතර කහ යනු ඉහළ විසබීජ නාශකයකි. එබැවින් අතීතයේ පටන්ම විසබීජ විනාශ කිරීම සඳහා කහ යොදා ගත් අතර මේ වසංගත රෝග පැතිරෙන සමයේ කහ වැඩි වශයෙන් භාවිත කරන්නට ද අපේ උදවිය පෙළඹුණහ.

කහ ආහාරවලට එකතු කිරීමේ දී එය ශරීරයට උරාගන්නා ආකාරයට සකසා ගැනීම කාන්තා ඔබේ වගකීමකි. මන්ද කහ හෝ කර්කියුමින් තනිව ලබාගත්විට රුධිරයට හොඳින් අවශෝෂණය නොවන බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත. එබැවින් අප කහ භාවිත කළ යුත්තේ වෙනත් ආහාරයක් සමඟිනි.උදාහරණයක් ලෙස කහ භාවිත කරන ඕනෑම වෙලාවක ගම්මිරිස් එකතු කිරීමෙන් කහ සිරුරට උරා ගැනීමේ හැකියාව වැඩිකරගත හැකිය. එමෙන්ම මේද සහිත ආහාර සමඟ ගැනීමෙන් ද කහ සිරුරට උරා ගැනීමේ හැකියාව වැඩි කරගත හැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික මුළුතැන්ගෙය තුළ ආහාර සඳහා ගම්මිරිස් සහ පොල්කිරි යහමින් භාවිතවන බැවින් අපේ සිරුරට උරාගැනීමේ ගැටලුවක් ඇති නොවේ.

මෙවැනි සුවිශාල ගුණාත්මක බවක් කැටි වූ කහ පඳුරක් දෙකක් හෝ ඔබේ ගෙමිදුලටත් එකතුකර අතීතයේ දී මෙන් ආහාරවේලට ගැළපෙන ලෙස කහ ටික ඔබටම සකසා ගතහැකි නම් එය මොනතරම් අපූරුද?

 

 

උපදෙස් - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ,

පසු අස්වනු තාක්ෂණ අංශයේ

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)

අංශ ප්‍රධාන තුෂාරි ලියනගේ