ඉලක්ක ජය ගැනීමට රුකුලක්වන කෙනා තෝරාගන්නේ කොහොමද?

පෙබරවාරි 14, 2022

 

සිහින ගොන්නක් පොදි බැඳගෙන සිටින තරුණ වියේ සුන්දරම සිහිනය විවාහය යි. එහෙත් වසර ගණනක් පුරා ආදරයකර විවාහ වුවත් බොහෝ දෙනකුගේ මැසිවිල්ල වන්නේ විවාහයට පෙර සිටි ආදරවන්තයා, ආදරවන්තිය විවාහයෙන් පසුව වෙනස් වී ඇති බවයි.

නමුත් ඇත්ත එය නොවේ. විවාහයට පෙර ඔබ ඔහු හෝ ඇය නිසි ලෙස තේරුම් නොගැනීමයි. මේ නිසා විවාහ වීමට පෙර ඔබ තෝරා ගත් පුද්ගලයා ඔබට කොතෙක් දුරට ගැළපේදැයි සොයා බලන්න.

එසේ සොයා බලන්නේ කෙසේදැයි ඔබට ගැටලුවක් ඇති වූවා නම් අප මේ උත්සාහ දරන්නේ ඒ සඳහා ඔබට සහාය වීමටයි. ඔබගේ සහකරු හෝ සහකාරිය අනිවාර්යයෙන් ම ඔබේ ගමනට ඔබේ ඉලක්ක ජය ගැනීමට රුකුලක් මිස බාධාවක් නොවන පුද්ගලයකු වීම වැදගත්. සිත ගිය පමණින්ම විවාහයට එළඹීමට වඩා ඔහු හෝ ඇය කොතෙක් දුරට ඔබට ගැළපේදැයි බුද්ධියෙන් විමසා බැලීම ඔබේ අනාගතය දීප්තිමත් කරවන්නකි. විවාහය සඳහා සුදුසු සහකරුවකු සහකාරියක සොයා ගත යුතු ආකාරය අප පසුගිය සතියේ දී ත් කතා කළ අතර අද තවත් කරුණු ගැන කතා කරමු.

* සහකරුගේ හෝ සහකාරියගේ ඇවතුම් පැවතුම්, ගතිගුණ, රුචි අරුචිකම්, සිතුවිලි ඔබට ගැළපෙනවාදැයි සොයා බලන්න.

යම් තරුණයෙක් තමාගේ ඉලක්කය තබාගෙන සිටින්නේ විදෙස්ගත වී සාර්ථකත්වය සොයා ගැනීමට යැයි අපි සිතමු. නමුත් ඔහු විවාහ වීමට සිටින තරුණිය වැඩි කැමැත්තක් දක්වන්නේ තමාගේ රටේම සිටිමින් තම මව්පියන්ට සලකමින් ඔවුන් සමඟ ජීවත් වීමටයි. මේ තරුණ යුවළ එක් වූ විට එතැන ගැටුමක් ඇතිවන බව ඔබට හොඳින් ම පැහැදිලියි. මේ ඝට්ටනය නිසා ඔවුන්ගේ විවාහ දිවිය අසාර්ථක විය හැකියි. නැතිනම් ඔවුන්ගේ අරමුණු, ඉලක්ක ජය ගැනීමට නොහැකිව අතෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට සිදු වේ.

මෙහිදී තරුණයා සැලසුම්කර තිබුණේ විදෙස් රටක වැඩිදුර අධ්‍යාපනය හදාරා එහි රැකියාවක් කොට මුදල් උපයා ජීවිතය ජය ගැනීමට නම් ලංකාව තුළ ජීවිතය සාර්ථක කරගන්නා ආකාරයක් ගැන ඔහු සැලසුම්කර නොතිබුණේ නම් එතැනින් එහාට මෙතැන ගැටුමක් හට ගනී. එමනිසා දුටු මතින් ඇතිවන ආකර්ෂණීය හැඟීම් මත නොව, දෙදෙනාගේ අනාගත ඉලක්ක මත සහකරු හෝ සහකාරිය තෝරා ගැනීම වැදගත්. තමාගේ අනාගත සැලසුම් පිළිබඳ අනෙක් තැනැත්තා සමඟ කතා බහ කිරීම මේ නිසා ඉතාමත් වැදගත් වන්නකි.

* ඔහුගේ හෝ ඇයගේ හැඟීම් පාලනය කිරීමේ හැකියාව පිළිබඳ අදහසක් ලබා ගැනීම.

ලෝකයේ පවුල් ජීවිතවලින් වැඩි ප්‍රමාණයක ගැටලු ඇතිවීමට හේතුව වැරැදි සන්නිවේදනය නැතිනම් සන්නිවේදනයේ දුර්වලතා ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙහිදී සිතා බැලිය යුතු දේ වන්නේ යම් ගැටලුවක් ඇති වූ විට දී සංයමයකින් තොරව නිවැරැදිව අපේ හැඟීම් පාලනය කරගෙන එකිනෙකාට ඒවා සන්නිවේදනය කිරීමේ හැකියාව නැති නම් අපි බොහෝ වටිනා දින ගණනක් අපේ ජීවිතයෙන් අහිමිකර ගනී. මෙහිදී අප ගොඩනගා ගත් ඇතැම් දේ බිඳ වැටී විනාශ වී යාමට පුළුවන්. එමනිසා ඔබ සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේ දී, යම්කිසි ගැටලුවක දී අනපේක්ෂිත සිදුවීමක දී එකිනෙකාගේ යම් නොගැළපීමක දී ඔවුන් ඒවා කොතරම් හොඳින් මධ්‍යස්ථව දරාගෙන එකිනෙකාට හානියක් නොවන ලෙස හොඳින් සන්නිවේදනය කොට විසඳා ගැනීමේ හැකියාව තිබේදැයි සොයා බලන්න.

ඇතැම් පුද්ගලයන් යම් සිදුවීමක දී ඉතාමත් ආවේගශීලී ලෙස හැසිරී ඉතාම නරක තත්ත්වයන්ට ඒවා පරිවර්තනය කරගෙන ජීවිත පවා අහිමිකර ගන්නා තත්ත්වයන් ද කොතෙකුත් අහන්නට දකින්නට ලැබේ. ඇතැම් විට ආදරය කරන අවදියේ දී මෙසේ ආවේගශීලීව හැසිරෙන පුද්ගලයන් පවසන්නේ මම ඔයාට ගොඩක් ආදරේ නිසයි එහෙම වුණේ... යන්නයි. නමුත් ආදරය නිසා ජීවිතයේ දිගින් දිගට ම විඳවනවාද නැතිනම් ජීවිතය සාර්ථක කරගෙන සතුටින් සිටිනවාද යන්න තීරණය කළ යුත්තේ ඔබමයි. එමනිසා ආවේග පාලනය, යහපත් සන්නිවේදනය, ඉවසීම වැනි ගුණාංග එකිනෙකා තුළ තිබේදැයි විවාහයට පෙර හොඳින් අවබෝධ කරගැනීම වැදගත්. නැතිනම් ඔබ ගොඩනැගීමට යන අනාගතය අසාර්ථක වන්නට පුළුවන්.

* එකිනෙකාගේ පරමාර්ථයන් සාක්ෂාත් කරගැනීම සඳහා දැක්විය හැකි දායකත්වය

තරුණයා කැමැති ව්‍යාපාරයක් කිරීමට නම් විවාහක සහකාරියට එම ව්‍යාපාරයට සහයෝගය දැක්වීමට හැකි විය යුතුයි. නැතිනම් නිවෙසේ සිට ම නිවෙසේ කටයුතු නිසිලෙස පවත්වාගෙන යමින් ඔහුට යම් පහසුවක් සැලසිය හැකියි. මෙය තරුණියගේ පැත්තෙන් ගතහොත් ඇය රැකියාවක් කිරීමට අකැමැති නිවෙසේ සිට දරුවන් රැක බලා ගනිමින් සිටීමට කැමැති බිරියක් නම් සැමියා ඇයගේ කටයුතු පහසු කිරීමට දායකත්වය ලබා දිය යුතුයි. එමෙන්ම ඇය විවාහ කරගන්නා පුද්ගලයා ඇගෙන් පවුලට මූල්‍යමය දායකත්වයක් බලාපොරොත්තු නොවිය යුතුයි.

නොගැළපෙන විවාහයක් කරගෙන ඔහේ ජීවත් වනවාට වඩා ගැළපෙන අයෙක් සමඟ විවාහ වීමෙන් අපේ ගමන වේගවත් කරගත හැකියි.

අපිට ගැළපෙන ම පුද්ගලයා සොයා ගැනීම අසීරු කාර්යයක්. එමනිසා එකිනෙකාගේ දුර්වලතා හඳුනාගෙන ඒවා ඉවසමින් එකිනෙකාට සමාව දෙමින් ඉදිරියට යාම සාර්ථක යුගදිවියකට මඟයි. මේ අනුව සාර්ථක යුගදිවියක දී අවශ්‍ය වන්නේ ලැබුණු පුද්ගලයාගේ ඇති නොගැළපීම් ගළපාගෙන හෝ ඒවා ඉවසමින් දෙදෙනාම එකතුව ඉලක්ක ජය ගැනීමයි.