හිතක පිපුන මල්

සැප්තැම්බර් 12, 2022

සමනලියන් සේ ඉගිලෙන්න එපා
 

සතුටින් සිනාසී ඉගිලෙන ගැහැනු ළමයි
රූපෙන් ලස්සනයි සමනල රෑන වගෙයි
ඇඳුමින් පැරිසියේ විගඩම් දොරට වඩියි
මවමින් සිහින ලොව සුරඟන රැඟුම් රඟයි

රුව ලස්සන දියණි ආඩම්බර වෙන්නේ
මව ගේ පියාගේ රුව දැක ගරහන්නේ
අව වාදයක් දුන්නත් නැහැ පිළිගන්නේ
නිව සේ පිපෙන මල් අකලට පර වෙන්නේ

රෙද්දයි හැට්ටෙ ඇඳි පෙම්බර මව සමග
සරමයි බැනියමයි ඇඳි පියතුම සමග
බැරිවෙයි යන්න එකමග ඒ අය සමග
සත්තයි නිරයෙ වැටෙනව නොපෙනී සුමග

මව් පිය යුවළ හැඩ වුවහොත් නව තාලේ
පව් කම් අත හරිති දියණියො බැඳ ආලේ
ගව් වක් දුර යාවි ඇතිකර ගෙන ලීලේ
කිව් වත් පුදුම නේ මව රවටන තාලේ

වියපත් මවු පියන් හට අවමන් කරමින්
පියපත් සලති සමනල ඇඳුමට බසිමින්
නැගුවත් සිනා මෙරු පහනට ලොබ බඳිමින්
වල්මත් දරු ගැනම තැවෙනව කඳුළු බොමින්

සිය සැමි නිවෙස වෙත ගොස් සුබ නැකතකට
බිය සැක නැතිව හැසිරෙයි සුපුරුදු ලෙසට
සිය නැන්දණිය පාගා අවමාන කොට
පිය සැමි කෝපයෙන් අවි ගන්නව අතට

අදරින් මේ මගේ මව යයි නොවක් සිතින්
සතුටින් පවසලා පා යුග වඳිනු බැතින්
රැඟුමන් නිමාකර සංවර පිරුණු ගතින්
සක්මන් කරනු පටලා නැන්දගෙ සුරතින්

බිව් කිරි බින්දුවල ගුණ සිහිපත් කරලා
ගවු රව ලෙසින් ඉනු සංවර ලෙස හැදිලා
මැව් සමනල රැඟුම් ඈතට විසි කරලා
ලැව් ගිනි නිවාලනු මේ ඔවදන් අසලා

 

කලාභූෂණ චන්ද්‍රා මාලිනී ද සිල්වා
අම්බලන්ගොඩ
 

----------------------------

අසමසම බුදු හිමි පිළිවෙත් මලින් පුදමි

ඇත මෙත මහා කරුණා ගුණ සුවාමි නී
සත වෙත බෙදා දුන් සදහම් අමා පැ ණී
සෙත ඇත එක මලක් පිදුවත් සැදෑයෙ නී
නෙත නෙත රස අඳුන් මගෙ බුදු පියාණ නී

තුන් ලොව එළිය කළ සදහම් කිරණ රැසින්
තුන් තල සකල දෙය දත් අත ඇඹුල ලෙසින්
තුන් ලෝ ගුරු සමිඳු දෙසු දම් මගද බසින්
තුන් තල සතට වැටහුණි සිය බසම ලෙසින්

දෙසු අම දහම සවනත මී බිඳු සේය
ඇසු ඇසු දනන් හට සඟ මොක් සැල සේය
ඇසු රක් මොහොතක ලැබුණත් සැන සේය
කුසු මක් පිදූවත් සඟ මොක් පිය සේය

ගිනි ගත් රුදුරු මරු කතරක මැදින් යන
ලොව සත් වගට මහ පොකුණක් ලෙසින් වුණ
භගවත් බුදු සමිඳු හැර තුන් ලොවින් වෙන
මට නැත් තේය පිළිසරණක් නිවන් යන

පර සතු මදාරා කඩුපුල් මලින් පුද
සුර බඹ අසුර නර නා සත් කෙරෙන් ලද
මර රුපු සනරාමර මුනි ළඟින් ඉඳ
සර ණක් පතා මා කුමකින් පුදන් නද

අනිසය දුකය තිලොවට තිලකුණු පාදා
අනතය දහම වදහල එළිකර ලෝදා
සුගතය බුදුන් වෙනුවෙන් තුන් සිත පාදා
මෙම සියපත පුදමි සිල් ගන්නෙමි පෝදා

කිවිපති කලා භූෂණ - අමුවල අමරසේන

------------------------

අහිමි පෙම

හිත රිදෙනවා ඇතී,
දුක දැනෙනවා ඇතී,
ඒත් මගේ රත්තරනේ
අපිට යන්න පුළුවන් දුර මේ වෙන්න ඇතී...

පපුව ගැහෙන වාරයක් ගානේ,
හුස්ම වැටෙන හැම මොහොතක් ගානේ,
මගේ නෙතු යුග පියවෙන තුරා
ආදරේ නුඹටමයි උපදින හැම භවය පුරා...

සිතූ කුමුදුමාලි රාජපක්ෂ
තෙල්දෙණිය - උඩිස්පත්තුව
 

----------------------

රස වින්දෙමි
 

හිතක පිපුණු මල් යායේ පිපුණු කවී
අකුරට පෙරළි ඇත්තේ මහ සෙනෙහසිනී
ගිනිගත් සිතට ඉසින සිසිල් ජලය වැනී
එය රස විඳ මාගේ සිත සනසවා ගමී

දිරිය දියණියන් අතරට යන තරුණී
හිතක පිපුණු කවි කුසුමන් වැළඳගනී
අගය කරන හිතක පිපුණු මල් තරුණී
ඔබවත් ලියන සවොමත් සත් දෙවියො රකී

කාවින්දි නවෝද්‍යා ලක්ෂානි
පැල්මඩුල්ල
 

-----------------------

අහිමිවීම
 

කොච්චර හිනා වෙලා හිටියත්
දවස පුරාවටම
විටින් විට
මතක් වෙන

අහිමි වීම...!!!

අරහෙම කළා නම් හොඳයි
මෙහෙම කළා නම් හොඳයි
තවත් කරන්න තිබුණ නම්
කියලා හිතන
ඒ...
පසුතැවිල්ල...!!!

අවසාන වෙන බව දැන දැනත්
අත හැරෙන්නට නොදී
අල්ලන් ඉන්න අපි
වෙර දැරවු
ඒ....
අවසන් හුස්ම...!

පුන පුනා අවබෝධ වෙන
ජීවිතේ අනියත
කවුරු කොහොම කිව්වත්
අත හරින්නට බැරි
ඒ...
මවකගේ වියෝව..!!!
 

කෞෂි ආරියසිංහ

------------------------

කුසුමාසන දේවිය
 


සුපසන් රුවක් කරුණාබර හදක් හිමි
උරුමය ලද කිරුළෙහි මුතු කඳුළු වුණේ
අවසන් රැජිණියයි ඇය ලක් ඉතිහාසේ
කඳුළු බිඳුව යන නාමය හිමි වූයේ

ඇය නැගු සුසුම් ඇති තවමත් ලක් දෙරණේ
ඇය හෙලූ කඳුලු බිඳු ඇති මහ සාගරයේ
ළඳක් විඳින දුක් ගින්දර නිමා නොවේ
හඟවා නික්ම ගිය කුසුමාසන දේවි

මාලතී පුංචිහේවා
ඇඹිලිපිටිය
 

----------------------

මෑණියනි!

ඔබේ දෙපා යුගල මත
මුව තබා සිඹින්නට
මාතු පාදං කියා
මවුනි ඔබ නමදින්ට
නොමැත ඔබ ලොවේ අද
එයයි හදවතට දුක
පතන්නෙමි මෑණියනි
ඔබට අම මහ නිවන් සුව..

පී. වී. ලීලාවතී
දෙවිනුවර
 

----------------------

ආදරේ සේ සුව දෙනා
 

 නොදන්නා මුත් කළ කම් දැයි
අහඹු නොසිතූ ලෙසකින්
දිවි මඟ දෙකඩ කරමින්..

සිතුවිලිකැන් මතම නොව
අදිසි බලයකි නොදන්නා මුත්
හරවන සේ හැඟෙයි නිති
රක්නා පරිද්දෙන් ජීවිතය රිසී..

සිත පුරා දිව යන
කලා රස ඔප් නංවන
සාහිත අමා රස රැඳි
පද වැලකි 'ඔබ' මනස පොපියන...

සසර මඟ නිති දැවටුණ
නිබඳ සිත් විල කලඹන
ආදරේ සේ සුව දෙන
අමා ගඟුලකි පද බැඳුම මට..

අමරා කුමාරිහාමි
වළල-මැණික්හින්න