වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හිතක පිපුණු මල්
පුතේ
ඉදිරියට තැබු අඩිය ආපසු නොගන් කිසිදින හිතු මතේ
ඉලක්කය වෙත් ගියොත් නිසි ලෙස ජය මිස පැරදුම නැතේ
කටු අකුල් මඩ ගොහොරු සැමවිට නුඹේ මඟ අහුරනු ඇතේ
චකිතයක් කිසි විටෙක නොමගන් මා නුඹේ ළඟමයි පුතේ
සුමිතුරන් මෙන් අරියසම එන යක්ෂයන් සැමගෙන් මිදී
හැඳිනගනු කල්‍යාණ මිතුරන් සැම විටම ඔබ ළඟ රැඳී
රන් රිදී මිල මුදල් පසුපස කිසි විටෙක නොගොසින් බැඳී
නියම මිනිසකු ලෙසින් වැජඹෙනු ලෝකයේ ඉහළම රැඳී
දිනකදී මතු කවරදා හෝ මගේ ඇතැඟිලි ගිය බිඳී
වෙර අරන් ඉදිරියට යනු මැන එයින් කිසි දින නොනැවතී
ලෝකයෙන් පැසසුම් ලබද්දී මගේ පුතු තව දිලි දිලී
බලනු මැන ආපසු ගමන් මඟ එක තැනක මා ඇත රැඳී
දුමිඳු වන්නිආරච්චි
කැස්බෑව
-------------------
මා ලද තිළිණේ..
දිවිය එකලු කළ සුන්දර තිළිණේ
සසර පුරාවට පාරමි පිරුණේ
පණට පණක් දී දස මසක් මුළුල්ලේ
පෙරුම් පිරූ පුතු මගේ තුරුල්ලේ
මෝරන කුස තුළ එදා නිදැල්ලේ
මොළකැටි අත් පා දඟ කළ අරුණැල්ලේ
නුඹ දෝතට ගත් කුළුඳුල් මොහොතේ
එසැණින් රතු ලේ කිරි වුණු අරුමේ
මෙලොවින් මා සමුගන්නා දවසේ
නුඹයි ලොවට දෙන සුන්දර තිළිණේ
සැමටම යහපත සදන්න එකසේ
සවි බල වේවා මේ කිරි බිඳුවල රැඳුණු සෙනේහේ
දිස්නා කුමාරි අල්විස්
කළුතර
--------------------------
සිරගත කළ ප්‍රේමය
පන්තියේ කොනක
පිපි
සිනාසෙන
නිල් මානෙල
උමතු කරවයි
තුරුණු මා සිත...
ශිල්ප දෙනු කෙලෙසද
අයාලේ යන සිත
ලුහුබඳිමි නිරතුරු...
සම්මතය ළඟ
අසම්මතයට
නොවේ හිමිකම...
හිතින් නොබැඳුණු
දෑඟිලි පමණක් ම
බැන්දූ
බැඳීමක
සිරගත කළ
හිතක් ළඟ
පිපෙන්නට
යුවතිය
නුඹට නැත අවසර...!
දිස්නා කුමාරි සායක්කාර
බත්තරමුල්ල
----------------------
මුදු ගුණය
මොක්පුර දකින්නට වෙහෙසෙන බොදු දනට
දිරියකි පෙරමගකි කැපවීම ද ගතට
හැමවිට මුදාහැර මුදු ගුණ සත් වගට
කරුණා අමා සිසිලස පතුරනු ලොවට
තිරිසන් සතා වුව මුදු බව ප්‍රිය කරතී
හැම හදවත ම මුදු ගුණයට සිත බඳිතී
යුද ගිනි නැගෙන තැන සැනසුම මෙහි පවතී
මෙම මහ ගුණය වඩවන තැන සිල් රැකෙතී
රත්නසේකර රූපසිංහ
කිතුල්ගල
----------------
ඔබට ලියූ කවි
ඔබ උදෙසා මා ලියූ කවි
ඔබට නීරස වුවද
මට තාම ප්‍රණීතයි..
පන්හිඳක් සිඳෙන තුරු
දුසිම් ගණන් පත් ඉරු මත
ලියැවුණා රස වදන් ආදරේ නාමයෙන්
දැන් ඉතින් මෙහෙම ඉමු ජීවිතේ ඉතිරියත්
මැරෙන්නට පෙරාතුව මා නමින් එකක්වත්
අකුරුකර එවාපන්
දයාබර නැගණියේ...
රත්නසේකර රූපසිංහ
කිතුල්ගල
---------------
යශෝධරා දේවී
සිත සිල් ගන්නවා
රූ සිරි සඟවා
නෙතු කොණ රැඳි ඒ
කඳුළැලි පිස දා
රහසේ හැඬුවා
පෙරදා සසරෙහි බැඳි පෙම් සිහිකර
පුදා සෙනේ සිත
මහ සයුරක් සේ
සදා සිසිල දෙන මඳ පවනක් වී
ආත්ම ගණනින් පෙරුමන් පුරමින්
බෝසත් ඇසුරේ ඈ සිටියා
පුංචි පුතුන් ගෙන ඈගේ තුරුලට
පියතුමගේ ඇති ගුණ ගඟ ගයමින්
රාහුල පුත් නැළවූවා හැම විට
පිංබර සිතුවිලි හද තුළ පුරවා
සිනිඳු කසී සළු හැම හැරදා
දිව්‍ය රජ බොජුන් රස නොබලා
වන ගත වූ දා සිට
හිමි සඳු විඳි ඒ දුක් කඳ වින්දා
සෙනෙහෙ සිතින් යශෝධරා දේවී...
එස්. එම්. චතුරි අරුණ කුමාරි
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
-----------------
අවනඩුව
රුප්පාවට ඉහළින්.. අක්වැහි එනකොට
මාරියාව දොඩමළු වී දඟලයි..
කෝලිත්තන් ඉඟි බිඟි පාන ගොයම් යාය
මූනිච්චාවට සුළඟෙ වැනෙයි..
දියහොල්මන හූ මිටි තියමින්
වක්කඩ ළඟ තනි රකින හැටී..
පලි සෝලි නෙමෙයි..
කියන්නෙ ඇත්තයි සාමිනේ..
මේ අවනඩුවෙන් මා මුදවන්..
නිංගිරියාවෙන් ගැලවීමක් නෑ..
වේලපත්කඩේ දොසක්ද මන්දා..
මේ අල්ලපනල්ලේ..
උඩගෙඩි කෑවේ ඈම තමයි..
තාන්තුවෙන් සිත වල්මත් වූ දා..
ආඩපාළියෙන්..
උඩගෙඩි දුන්නේ ඈට තමයි..
කියන්නෙ ඇත්තයි සාමිනේ..
මේ අවනඩුවෙන් මා මුදවන්..
කල්කිරියාවේ වරදක් ද මන්දා
පෙළවහ ඇබැද්දියක් වූ දා..
හේමලයෝ නුඹ ඇද වූ දා..
ජීවිතයම ඇදයක් වෙනවා..
කුඩප්පච්චිටත් කියන්න තිබුණා..
සන්තෑසිය නුඹ කිවුවේ නෑ...
පෝයදාක රෑ
සද්දේ බැලුවිට ඇහැ ඇරිලා...
වැව් ඉවුර ළඟ හුස්ම ගන්නා..
ගසුත් වල්මත් වී වගෙයි..
වැව් ජලේ අත්තටු ගසා..
සද්දෙ ඈතින් මතු වෙලා..
අත්තටු ගසා නුඹ.. ගිලුණු දා..
සිහිවෙනවා සාමිනේ.. මේ ඇත්තමයි...
චන්ද්‍රිකා පුෂ්පාරාණි ජයවීර