අරුණැල්ල

නොවැම්බර් 7, 2022

 

අනාගත පරපුරේ නිර්මාණශීලී ලේඛන හැකියාව ඔපලනු වස් තරුණී පුවත්පතේ පත් ඉරුවක් මත තැනෙන අසිරිමත් වේදිකාවයි මේ...

 

ඔබේ පද්‍ය නිර්මාණ 0773149013 අංකයට වට්ස්ඇප් කරන්න. තෝරාගන්නා හොඳම පද්‍ය නිර්මාණ තරුණී පුවත්පතේ "අරුණැල්ල" පිටුවේ පළ වේ. සතියේ අරුණැල්ල කවි පිටුව ඔබේ පාසලේ දූ පුතුන්ගේ පන්හිඳක අසිරිය වෙනුවෙන්ම වෙන් කරවා ගැනීමට ද අවස්ථාව ඇත.

 

සංස්කාරිකා

ප්‍රසන්නි ගී තරංගමා

ලිපිනය - අරුණැල්ල, තරුණී, ලේක්හවුස්, කොළඹ 10

 

 

තාරකා පිරිවරා

සඳ දිලෙයි රෑ පුරා
කළුවලා රෑ පුරා
මවති නෙක රූ රටා
හන්තාන කඳුපුරා
සීත සුළං පැතිරුණා
රාත්‍රිය ගෙන එනා
ඒ කතා තේරුණා

හෙමි හෙමින් ලොව පුරා
ඝන අඳුර පැතිරුණා
තරු දිලී බැබළුණා
සිහින ලොව එළැඹුණා

සීත සුළඟක් හමා
දස දිගත පැතිරුණා
ඒ සුළං රැලි පුරා
තනිකමක් මතු වුණා

රාත්‍රිය දිගු වුණා
නෙත් කෙමෙන් පියවුණා
නව දිනක පැතුම් මැද
හිරු යළිත් හිනැහුණා

උපේක්ෂා සංදිපනී සිල්වා
13 ශ්‍රේණිය - කලා
බප/පිළි/ප්‍රෙස්බිටීරියන් බාලිකා
ජාතික පාසල, දෙහිවල.

------------------

අම්මේ සඳක් ඔබ

දුටු දා එළිය මේ දෑසින් ඔබ දුටුව...
හැඬුවා දැක්කා සතුටෙහි කඳුළැලි සමඟ...
බිහි කර එයම පමණක් නොව කිරි පෙව්ව...
අම්මේ ඔබයි මාගේ ලොව සඳ කිරණ...

හදලා වඩලා ඔය දෑතින් මගෙ ගතම...
සුරතල් වදන් මුසු කොට දිවි සරු කෙරුව...
පපුවේ පිච්චෙනා ගිනි දලු දකින්නට...
නොහැකි නොවේ මගෙ අම්මේ ඔබෙ දිවිය...

පාසල් යන්න පෙර කැවු බත් කටේ පෙම...
අරගෙන ගියා පාසල් දොරටුව වෙතට...
පාසල හැරුණ විටදී නැවතත් එතැන...
සිටියා රංගනේ යෙදෙමින් නැත වෙහෙස...

කෙතරම් වැඩෙහි යෙදුනත් ඔබේ පෙම නිතර...
දිළුනා ඉරක් මෙන් නැත එහි අඩුව මට...
හිමිදිරි අවදි වී උයනා බත් පතට...
ඇතිදෝ අම්මේ ඔය දෑතට සවිය තව...

වරදක් කරන විට තරවටු සිදු කරන...
නැවතත් පැමිණ හිස අත ගා හිත සදන...
පාඩම් වැඩෙහි යොදවන්නට වෙහෙස වුණ...
අම්මේ සඳක් ඔබ මට පෑයූ රැයක...

සෙනෙහා ධීනු
10B
නාලන්දා බාලිකා ම.ම.වි
මිනුවන්ගොඩ

------------------------

පියකුගේ මැසිවිල්ල

අඳුරු වූ වලා ගැබ යට
පියමං කළෙමි තනිවම
සිතන්නට බෝ දේය
ඇරැඹුමක් නිමාවක් නැති

හිත අස්සේ රිදුම්දෙන
පැන කවුරු විසඳද්ද
දූගේ සුදු ගවුම දැන්
දුඹුරු පැහැ වී නේද?

පුතුගේ සෙනෙහෙබර මුවඟ
සනසවයි මොහොතකට සිත
ලබන සතියේ පටන්
ඔහුත් පාසල් ගමනේ නේද?

දූට සුදු ගවුමක්
පුතුට පොත් මිටියක්
ඇගේ මුවට සිනහවක්
ගන්න කෝ වත්කමක්...

ඉසුරුනී අත්තනායක
මො/යශෝධරා බාලිකා විද්‍යාලය,
බිබිල.

---------------------

ඉගෙනීම

අමාවක දින අඳුරේදී
තාරකාවෝ ද දොම්නස්ය
නමුදු ඔබ නැත
හැර දමා ගොස් මා
රැඳේ මා ළඟ
සඳක් විලසින්...

පාළු කතරක පිය නඟන විට
පිපාසෙට නැත ජල බිඳක්
කෙසේමුත් නුඹ
දිය බිඳක් විය
නිවා සනසන
මගෙ පිපාසය....

නිමක් නොපෙනෙන
ජීවිතය තුළ
දුක නිවාලන
සතුට සොම්නස
සොයා යන මඟ
වෙනත් කවුරුද ඉගෙනීම මිස....?

උදානි සඳුනිකා කුමාරි
12 ශ්‍රේණිය කලා
ධර්මපාල මහා විද්‍යාලය, තම්බියාව

---------------------

වසන්තය ඒවි දවසක

නුඹේ ඔය ඇස් තාම
මගේ නමින් හඬනවද?
නුඹේ නමට මගේ ඇස්
තෙත් වුණා දුටුවාද?

කවුළු බැමි වසාලු
අමාවක මතකයිද?
සොඳුර නුඹ මගේ වග
දිවුරුවා හැමදාම

අහස් ගැඹ දෙදරන්ට
අකුණු පතිතව හිසට
කළු වලාවේ තිබූ
රිදී ඉර දුටුවාද?

ඉඳින් මම නුඹේ වී
කිරුළු පලඳා තුටින
වසන්තය ළඟ ළඟයි
නුඹේ සුවඳේ එතෙන

ඉමාෂා සත්සරණි
සංඝබෝධි ජාතික පාසල නිට්ටඹුව
10 ශ්‍රේණිය

----------------------

කොහිද සුරපුර

අවාරේ පිපි
පැතුම් ගැබ්බර
එළිය නොදැකම
මියෙයි බිහිදොර…….

අදත් දිදුලයි
ඉරේ උණුහුම
කොහිද පෙරදා
මැවුණු සුරපුර…….

ඔමේෂ් ශෙහාන් දහනායක
වෛද්‍ය පීඨය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

---------------------

ඉල්ලන්නම් එක වරමක්..

සිප ගන්නට එක හාදුවක්
දෙතොල් මුමුණා කියූ කතාවේ
අළුයට සේදුණු කමිස කැබැල්ලක
නොදිරෙන නුඹෙ නම මැකී නොයේ
මාරගස් පෙළ වෙනදා වාගේ ම
පෙර දිනයක අත් පැටලූයේ
මා එහි යන විට නෝක්කාඩු සිත
හැළී මැකී යයි හොර රහසේ
ඉල්ලන්නම් එක වරමක් නුඹගෙන්
කිම්දැයි නොඅසනු යළි පෙර සේ
සිතත් අකීකරු මාත් නොමැති මා
සඟවනු මේ තුරු හිස් අතරේ

ඉෂාරා තරංගනී අමරසිංහ
කැලණිය විශ්වවිද්‍යාලය.

----------------------

සිංහබාහුගේ අඬහැරය
 

මම ඔහු නොහැඳිනුවෙමි
රජකුගේ වගකීම කරට ගෙන
මම ඔහු ලුහුබැන්දෙමි
මාගේ හීය ඔහුගේ ළය තුළට
එල්ල කළෙමි....

මම ඔහු නොහැඳිනුවෙමි
ගම් දනව් විනාශ කරමින්
ඔහු සොයා ආවේ මා ද,
මම අභියස හීලෑ වූ ඔහු

මම මරා දැමුවෙමි...
අවසන් හුස්ම පොද යන තෙක්ම සිට
මම ඒ වන සතුරා දෙසට ගියෙමි
පොළොවටත් නො උරා ගලා ගිය
රුධිර කඳ දෙස බැලීමි...

මම ඔහු නොහැඳිනුවෙමි
අහෝ...! සුපුරුදු ලෙයකි
ළය දෙබෑ වූයේ
හී තුඩින් නොවන බව දනිමි...

ඔහු මරා දැමූ රජකමෙන්
ඇති ඵලය කිම?
මගේ හුරුපුරුදු ලෙන සොයා එමි
දෛවයට සමාවනු
මම ඔහු නොහැඳිනුවෙමි...


සෙව්මිණී නවෝද්‍යා
මධ්‍ය විද්‍යාලය - අනුරාධපුරය